Sunday, August 4, 2024

ගිහියා හා සංඝරත්නය 03

මගපල ලාභී ගිහියා සංඝරත්නයට අයත් වන්නේ යැයි මතුව ඇති තර්කය සම්බන්ධව ලිපි දෙකක් පල කලෙමු. එහි පළමුවැන්නෙන් ගිහියා සංඝරත්නයට අයත් නොවන බව සකාරණව පෙන්වා දුන් අතර දෙවැන්නෙන් සෝභේති යනු “එයට අයත් වේ” යන අර්ථය ලබා නොදෙන බව පෙන්වීමු.

ඉන් අනතුරුව දැන් ඇත්තේ සුපටිපන්න ගාථාවේ අර්ථ විස්තර කොට ගිහියා සංඝරත්නයට අයත් නොවේ යන්න ස්ථීර කිරීමයි. නුවණින් පමණක් විමසත්වා.

බුද්ධ දේශනාව තුල, සංඝරත්නයේ ගුණ පැවසීම් වශයෙන් //සුප්‌පටිපන්‌නො භගවතො සාවකසඞ්‌ඝො, උජුප්‌පටිපන්‌නො භගවතො සාවකසඞ්‌ඝො, ඤායප්‌පටිපන්‌නො භගවතො සාවකසඞ්‌ඝො, සාමීචිප්‌පටිපන්‌නො භගවතො සාවකසඞ්‌ඝො යදිදං චත්‌තාරි පුරිසයුගානි අට්‌ඨ පුරිසපුග්‌ගලා, එස භගවතො සාවකසඞ්‌ඝො ආහුනෙය්‍යො පාහුනෙය්‍යො දක්‌ඛිණෙය්‍යො අඤ්‌ජලිකරණීයො අනුත්‌තරං පුඤ්‌ඤක්‌ඛෙත්‌තං ලොකස්‌සා’ති.// යනුවෙන් දේශනා කර ඇත.

ඒ තුල දැක්වෙන ගුණයන්හි සරල අර්ථ මෙසේ විමසා සිටිමු.

එහි සුපටිපන්න යනු මනාසේ පිළිපදින්නේය යන අදහසයි. ආර්ය මාර්ගය තුල මනාසේ පිළිපදින හෙයින් සුපටිපන්න නම් වන සේක.

අන්ත දෙකෙන් බැහැර වූ සෘජු වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුල පිළිපදින හෙයින් ද, සෘජු බව පිණිස පිළිපදින හෙයින් ද, උජුපටිපන්න නම් වන සේක.

ඤාය නම් වූ නිවන පිණිස පිළිපදින හෙයින් ඤායපටිපන්න නම් වන සේක.

අභිවාදන, පච්චුපට්ඨාන ආදී සාමීචියට සුදුසු සේ පිළිපදින හෙයින් සාමීචිපටිපන්න නම් වන සේක.

ගෙනැවිත් පූජා කිරීමට සුදුසු හෙයින් ආහුනෙය්‍ය නම් වන සේක. දුර සිට ද ගෙනැවිත් පූජා කිරීමට සුදුසුය යන අර්ථයි.

ප්‍රිය මනාප වූ ඤාති මිත්‍රාදීන් උදෙසා සකසන ලද ආගන්තුක ආදී දානයන්, ඔවුනට නොදී සංඝයාට දීමට තරම් ගුණ ඇති හෙයින් පාහුනෙය්‍ය නම් වන සේක. සැමටම වඩා ගුණයෙන් උත්තම වේ යන අර්ථයි.

පරලෝක වශයෙන් ආනිසංස පතා දන් දීමට සුදුසු හෙයින් දක්‌ඛිණෙය්‍ය නම් වන සේක. පරලෝක ආනිසංස පතා දෙන දානය පිළිගැනීමට සංඝරත්නය සුදුසු වේ යන අර්ථයි.

දෑත් එක්කොට හිස මුදුනේ තබා සිදු කරන්නා වූ වන්දනා පිළිගැනීමට සුදුසු හෙයින් අඤ්‌ජලිකරණීය නම් වන සේක. බුදු රජාණන්වහන්සේගෙන් පසු අන් සැමටම වඩා වන්දනීය වේ යන අර්ථයි.

සකල ලෝක වාසී සකල සත්වයාට අනුත්තර වූ පුණ්‍යක්ෂේත්‍රයක් වන හෙයින් අනුත්‌තරං පුඤ්‌ඤක්‌ඛෙත්‌තං ලෝකස්‌ස නම් වන සේක. සංඝරත්නය නිසා අනේක අප්‍රමාණ ආනිසංස දායක කුසල් පුරවාගත හැක යන අර්ථයි.

මේ ආකාරයෙන් යුගල හතරක් වූ පුද්ගලයින් අටක් වූ ශ්‍රාවක සංඝයාගේ ගුණ විද්‍යාමාන වේ.

මෙසේ ගුණ ඇති සංඝරත්නයට ගිහියා අයත් ද නැතිද යන ගැටළුව විසඳා ගැනීම සඳහා එකී ශ්‍රාවක සංඝයා පිලිබඳ අර්ථකථනය විමසා සිටිය යුතුය. ඒ උදෙසා පහත උදාහරණ විමසා සිටිමු.

බුද්ධ දේශනාව තුල සාවක, සාවිකා යනුවෙන් භික්ෂු, භික්ෂුනී, උපාසක, උපාසිකාවන් යන සිව්වනක් පිරිසම වෙන වෙනම හඳුන්වා ඇත. එබැවින් සාවක සාවිකා යන පදය ගිහි පැවිදි බේදයක් නැති පදයකි. එනමුත් බේදයකින් තොරව හඳුන්වන තැන්වලදී විශේෂයෙන් සඳහන් කරමින් සාවක සාවිකා පදය භාවිතා කර ඇත. 

විශේෂයකින් තොරව සාවක පදය භාවිතා කර ඇත්නම් එහිදී හඳුන්වා ඇත්තේ සංඝරත්නයයි. පහත උදාහරණය විමසන්න.

//යං මයා සාවකානං සික්‌ඛාපදං පඤ්‌ඤත්‌තං තං මම සාවකා ජීවිතහෙතුපි නාතික්‌කමන්‌ති. (පහාරාද සූත්‍රය)

මවිසින් ශ්‍රාවකයන්ට යම් ශික්ෂා පදයක් පනවන ලද්දේ ද, එය මාගේ ශ්‍රාවකයෝ ජීවිත හේතුවෙන් ද නොඉක්මවත්.//

භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා හා භික්ෂුනී සංඝයා කෙරෙහි පමණක් ශික්ෂා පද පනවා ඇත. එබැවින් සාවක පදය විශේෂයකින් තොරව භාවිතා කර ඇත්තේ නම් ඒ ගිහියන් සඳහා නොව පැවිද්දන් සඳහාය.

ඉන් අනතුරුව සංඝ පදය යෙදෙන විශේෂ අවස්ථා කිහිපයක් විමසා බලමු.

//න තාව, සාරිපුත්ත, සත්ථා සාවකානං සික්ඛාපදං පඤ්ඤපෙති උද්දිසති  පාතිමොක්ඛං යාව න ඉධෙකච්චෙ ආසවට්ඨානීයා ධම්මා සඞ්ඝෙ පාතුභවන්ති. යතො ච ඛො, සාරිපුත්ත, ඉධෙකච්චෙ ආසවට්ඨානීයා ධම්මා සඞ්ඝෙ පාතුභවන්ති, අථ සත්ථා සාවකානං සික්ඛාපදං පඤ්ඤපෙති උද්දිස්සති පාතිමොක්ඛං තෙසංයෙව ආසවට්ඨානීයානං ධම්මානං පටිඝාතාය. (වේරඤ්ජාඛණ්ඩං)

“ශාරීපුත්‍රයෙනි, යම් තාක් මේ ශාසනයෙහි ආස්‍රවයන් ඉපද සිටීමට ආධාර වූ ඇතැම් ධර්‍මයෝ සඞ්ඝයා කෙරෙහි නො පහළ වෙද්ද, ඒ තාක් ශාස්තෘ තෙමේ ශ්‍රාවකයන්ට සිකපද නොපණවයි, පාමොක් නො උදෙසයි. ශාරීපුත්‍රයෙනි, යම් කලෙක වනාහි මේ ශාසනයෙහි ඇතැම් ආස්‍රවස්ථානීයධර්‍මයෝ සඞ්ඝයා කෙරෙහි පහළ වෙද්ද, එකල්හි ශාස්තෘ තෙමේ එම ආස්‍රවස්ථානීය ධර්‍මයන් නැසීම පිණිස ශ්‍රාවකයන්ට සිකපද පණවයි, පාමොක් උදෙසයි.”//

මෙහි බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ සංඝයාගේ ආසවට්ඨානීය ධර්ම පහල වූ පසුව ශ්‍රාවකයන්ට ශික්ෂා පද පනවන බවයි. මෙහි ද සාවක පදය විශේෂනයකින් තොරව භාවිතා කර ඇත. එයින් ද පැවිද්දන් පමණක් අරමුණු කෙරේ.

එකල්හි භික්ෂූන් වහන්සේලා පමණක් වැඩ සිටි අතර භික්ෂුනීන් වහන්සේලා වැඩ නොසිටි සේක. එබැවින් එහි සංඝ යනුවෙන් හඳුන්වා ඇත්තේ භික්ෂූන් වහන්සේලා පමණි. එසේම සංඝයාගේ වර්ග පිළිබඳව මෙසේ විස්තර කර ඇත.

//පඤ්ච සඞ්ඝා – චතුවග්ගො භික්ඛුසඞ්ඝො, පඤ්චවග්ගො භික්ඛුසඞ්ඝො, දසවග්ගො භික්ඛුසඞ්ඝො, වීසතිවග්ගො භික්ඛුසඞ්ඝො, අතිරෙකවීසතිවග්ගො භික්ඛුසඞ්ඝො. (චම්පෙය්‍යක්ඛන්ධකං)

චතුවග්ගභික්ඛුසඞ්ඝයා ය, පංචවග්ගභික්ඛුසඞ්ඝයා ය, දසවග්ගභික්ඛුසඞ්ඝයා ය, වීසතිවග්ගභික්ඛුසඞ්ඝයා ය, අතිරේකවීසතිවග්ගභික්ඛුසඞ්ඝයා ය යි සඞ්ඝ කොටස් පසෙක් වේ.//

මෙහි ද හඳුන්වා ඇත්තේ භික්ෂූන් වහන්සේලා පිළිබඳව පමණි.

//සචෙ භගවා භික්ඛුසඞ්ඝස්ස අනුජානිස්සති අහම්පි පරිභුඤ්ජිස්සාමි; නො චෙ භගවා භික්ඛුසඞ්ඝස්ස අනුජානිස්සති, අහම්පි න පරිභුඤ්ජිස්සාමී”ති. (චම්මක්ඛන්ධකං)

ඉදින් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයාහට අනුදන්නා සේක් නම්, මමත් පරිභොග කරන්නෙමි. ඉදින් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සඞ්ඝයාහට නො අනුදන්නා සේක් නම්, මමත් පරිභොග නො කරන්නෙමි” යි//

මෙහි ද දක්වා ඇත්තේ භික්ෂූන් වහන්සේලා පිළිබඳව පමණි.

//භික්ඛුනිසඞ්ඝො, අය්‍ය, භික්ඛුසඞ්ඝස්ස පාදෙ වන්දති, ඔවාදූපසඞ්කමනඤ්ච යාචති; ලභතු කිර, අය්‍ය, භික්ඛුනිසඞ්ඝො ඔවාදූපසඞ්කමන’න්ති. (භික්ඛුනීඛන්ධකං)

ආර්‍ය්‍යන් වහන්ස, භික්‍ෂූණි සංඝ තෙම භික්‍ෂූ සංඝයාගේ පා වඳී. අවවාද ලබනුවට එළැඹීම ද යදී. ආර්‍ය්‍යයන් වහන්ස, භික්ෂුණි සංඝ තෙම අවවාද ලබනු සඳහා එළැඹීම ලබාවා.//

මෙහි දී භික්ෂු සංඝයා හා භික්ෂුනී සංඝයා යනුවෙන් දෙකොටසක් දක්වා තිබේ.

ඉහත අවස්ථාවන්හි භික්ඛු සංඝ හා භික්ඛුනී සංඝ යනුවෙන් අවස්ථා දෙකක් පැහැදිලිව වෙන් කොට දක්වා තිබේ. එනමුදු ත්‍රිපිටකයේ කිසිදු තැනක උපාසක සංඝ, උපාසිකා සංඝ යනාදී පද කිසිවක් සඳහන් වන්නේ නැත. එසේම ගිහි මගපල ලාභී උතුමන් හඳුන්වා ඇත්තේ හුදෙක් නාමයෙනි. 

//එකමන්‌තං නිසින්‌නො ඛො රාජා මාගධො සෙනියො බිම්‌බිසාරො ආයස්‌මන්‌තං ධනියං කුම්‌භකාරපුත්‌තං එතදවොච..... 

තෙන ඛො පන සමයෙන අනාථපිණ්‌ඩිකො ගහපති ආබාධිකො හොති දුක්‌ඛිතො බාළ්‌හගිලානො........

අථ ඛො විසාඛා මිගාරමාතා තදහුපොසථෙ යෙන භගවා තෙනුපසඞ්‌කමි..... //

බුද්ධ ශාසනයේ විශේෂ වූ උපාසක උපාසිකාවන් කෙරෙහිත් සංඝ යන නාමය නොයොදා තිබීමෙන් පැහැදිලි වන්නේ, ගිහියා සංඝරත්නයට අයත් නොවන බවයි. භික්ෂුවම සංඝ වන බවයි. (භික්ෂුනී සංඝයා භික්ෂු සංඝයා යටතේ සිටින පිරිසකි)

එබැවින් ගිහියා සංඝරත්නයට අයත් වන්නේ යැයි හිස් තර්ක ගෙන ඒම පල රහිත බව මගපල ආරූඩකයන් වටහා ගත යුතුය. වටහාගෙන සංඝ වීමට අවශ්‍ය නම් පැවිදි විය යුතුය. 

තෙරුවන් සරණයි...!!!

පෙර ලිපි :-


01 ලිපිය 

පළමු ලිපිය


02 ලිපිය 

දෙවන ලිපිය




No comments:

Post a Comment