Saturday, August 6, 2016

දුක්ඛාර්ය සත්‍යය.







 


බුද්ධ දේශිත දුක්ඛාර්ය සත්‍යය තුල ප්‍රධාන ආකාර තුනක් විග්‍රහ වේ. ඒවා නම්

1.       දුක්ඛ දුක.
2.       විපරිනාම දුක.
3.       සංඛාර දුක.
යන ඒවා වේ. 

එහි දුක්ඛ දුක යනු කායික දුක හා මානසික (චෛතසික) දුක වේ. එනම් දුක්ඛ වේදනාවයි.

විපරිනාම යනු චිත්ත චෛතසික රූප ධර්මයෝ විපරිනාම අඤ්ඤතාභාවයට පත්වන කල්හි ඇතිවන පීඩාවයි.

සංඛාර දුක යනු ස්කන්ධ පරම්පරාවේ පැවතීම නොහොත් සසර පැවැත්ම නම් වූ පීඩාවයි. නොහොත් සංස්කාරයන් නිසා පෙලීමට ලක් වීමයි.

මෙසේ දුක් ත්‍රිත්වයක් එක් කොට දක්වන්නේ සියලුම දුක් එකම ප්‍රභවයකින් හට නොගන්නා බැවිනි. යම් යම් දුක් හටගැනීමේ හේතුව ඒ ඒ දුකට අනුරූප පරිදි වෙනස් වේ. උදාහරණයකට කායික දුක හටගැනීමේ හේතුව මානසික දුක හටගැනීමේ හේතුව නොවන්නේය. කිමද යත් කායික දුක භූතරූප ප්‍රත්‍ය කර පවතින අතර මානසික දුක ප්‍රියවස්තු ප්‍රත්‍ය කර පවතින බැවිනි.

මෙසේ ඒ ඒ දුක හටගැනීමේ හේතුව ඒ ඒ ආකාර වන බැවින් දුක්ඛාර්ය සත්‍යය ප්‍රධාන කොටස් තුනක එකතුවකින් දක්වයි.

එහි දුක්ඛ දුක යටතේ ඇති සෝකපරිදේව දෝමනස්ස උපායාස හුදෙක් ප්‍රිය වස්තු නිසාවෙන්ම හටගනී. අනෙකකින් හට නොගනී. කායික දුක්ඛය ප්‍රිය වස්තු නිසාද අනෙකක් නිසාද හටගන්නේ වෙයි.
විපරිනාම දුක විපරිනාමය නිසා හටගන්නේ වෙයි. විපරිනාමය යනු චිත්ත චෛතසික රූප ධර්මයෝ අනිත්‍යතාවයට ලක් වීමයි. ස්ථිරව නොපැවතීමයි. වෙනස් වීමයි. 

මෙසේ චිත්ත චෛතසික රූප ධර්මයෝ විපරිනාම අඤ්ඤතාභාවයට පත්වන බැවින්ම සියලු දුක් හටගනී. ජාති ජරා ව්‍යාධි මරණ දුක් සේම සෝක පරිදේවදුක්ඛ දෝමනස්සඋපායාස යන සියලුම දුක්ඛයෝ අනිත්‍යතාවය නිසා හටගනී. අනිත්‍ය නොවන්නේ නම් දුකක් නොමැත. ඒ මෙසේයි.

ජාතිය යනු මරණය ප්‍රත්‍ය කොට පවතින්නකි. මරණයක නොමැත්තේ නම් ජාතියක් නොමැත. මරණය සිදුවන්නේ අනිත්‍ය බැවිනි. ඒ අනිත්‍යතාවය හේතුවෙන් ජාතිය හටගනී. ජාතිය අනිත්‍ය බැවින් මරණය ඇහැට ගනී. ජාතිය අනිත්‍ය නොවුනේ නම් මරණයක් නොමැත. එසේම නාම රූප ධර්මයෝ අනිත්‍ය බැවින් ජරා ව්‍යාධි ධර්මතවයෝ හට ගනී. මෙසේ ඒ දුක් අනිත්‍යතාවය නිසාම හටගනී. අනිත්‍ය නොවන්නේ නම් නිත්‍ය වන්නේ නම් ජාති ජරා ව්‍යාධි මරණ හට නොගනී.

එකී දුක් නියතවේ. එනමුත් සෝකපරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස නියත නොවේ. අනියත වේ.
කිමද යත් සෝකපරිදේවයෝ හටගන්නේ ප්‍රිය වස්තු නිසාවෙනි. ප්‍රිය වස්තු නොමැත්තේ නම් සෝකපරිදේව නොමැත. චතුර්ථ ධ්‍යාන ලාභී උතුමනට මෙනි. චතුර්ථ ධ්‍යාන ලාභී උතුමනට ඇත්තේ උපේක්ෂාව පමණකි. එබැවින් ප්‍රිය වස්තු නොමැත. ප්‍රිය වස්තු නොමැති බැවින් දුක් දොම්නස් නොමැත.

මෙහිදී වටහාගත යුතු විශේෂ කරුණක් ඇත. එනම් කැමති සේ නොපවතින බැවින් දුකයි යනුවෙන් මිත්‍යා මත පතුරවන්නවුන් පටලවාගත් කරුණ මෙය වේ. ඔවුන් සිතන්නේ දුක්ඛාර්ය සත්‍යයෙහි දක්වන්නේ දුක් දොම්නස් පමණක් බවයි. සෙසු විපරිනාම සංඛාර දුක් පිලිබඳ ඔවුනට වැටහීමක් නොමැත. ඒ නොදැනුවත් කම පිලිබඳ අනුකම්පා කරමු. එනමුත් වරද වරදමය. 

ඒ ඔවුන් දුක්ඛාර්ය සත්‍ය යනු දුක් දොම්නස්ය. දුක් දොම්නස් හටගන්නේ ප්‍රිය වස්තු නිසාවෙන්ය. එබැවින් දුක්ඛාර්ය සත්‍යය හටගන්නේ ප්‍රිය වස්තු නිසාය යැයි මුලාවක වැටී ලෝකයාද මුලා කරමින් සිටියි. එනමුත් ඔවුනට නොවැටහෙන කරුණ නම් ප්‍රිය වස්තු වලින් දුක හටගන්නේද ඒවා අනිත්‍ය බැවින් යන සරල අර්ථයයි. ප්‍රිය වස්තුද නිත්‍ය වන්නේ නම් එයින් දුකක් හටගන්නේ කෙසේද? නොවන්නේමය. ඒ සරලාර්ථය වටහාගැනීමට නුවණක් නැත්තෝ දුක්ඛාර්ය සත්‍යය අර්ථ දක්වනවා යන්න හාස්‍යයට කරුණක් පමණකි.
එසේම දත යුතු අනෙක් කරුණ නම් සංඛාර දුකයි. සංඛාර දුක යනු සංස්කාර හෙවත් පංච උපාදානස්කන්ධය පැවතීම නිසා පවතින දුකයි. 

සියලු සංස්කාරයෝ අනිත්‍ය බැවින් දුක හට ගනී. එසේම අනිත්‍යතාවයට පත්වන සංස්ඛාර පැවතීම යනු සියලු දුක්වල මූලයයි. සංස්ඛාර නොමැති නම් අනිත්‍ය වන්නේ නැත. අනිත්‍ය නොවන්නේ නම් දුක නොමැත. එබැවින් දුක පවතින්නේ සංස්ඛාර පවතින බැවිනි. එයම “සංඛිත්තේන පංචුපාදානක්ඛන්ධා දුක්ඛා” යනුවෙන් දේශනා කර ඇත.

එබැවින් නුවණ මෙහෙයවා විමසා බලන කල වැටහෙන කරුණ නම් සියලු දුක් හටගන්නේ සංඛාර පවතින බැවින් හා ඒවා අනිත්‍ය වන බැවිනි. ඒ අනිත්‍ය වන ධර්මයන් කෙරෙහි ප්‍රිය භාවය ඇතිකර ගන්නේ නම් සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාස හටගනී. ප්‍රිය භාවය නොමැති නම් දුක්  දොම්නස් නොමැත. එයම වර්ධනය කරගැනීමෙන් ස්කන්ධ පරම්පරාව සිඳී සංඛාර අහෝසි වීම නිර්වාණයයි. සීලය තුල පිහිටා ස්වකීය නාම රූප සංඛ්‍යාත පංචඋපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනත්ත යන ත්‍රිලක්ෂණයෙහි බහා බැලීම නම් වූ විදර්ශනාව නිවනට මයි. එහිලා සියලු සත්වයෝ අප්‍රමාදී වෙත්වා...!!!

No comments:

Post a Comment