Sunday, August 4, 2024

දුක්ඛ ආර්ය සත්යයෙහි දුක්ඛය යනු දුක්ඛ වේදනාව පමණද ?

වර්තමාන සමාජයේ ඇතැම් පිරිස් විසින් සමාජගත කරන ලද විකෘති ධර්ම කාරණාවක් වන්නේ, "කැමති සේ නොපවතින නිසා" දුක ඇතිවන බවයි. ඒ ඔවුන් එතුලින් ගම්‍ය කරවන්නේ, දුක්ඛ ආර්ය සත්යයෙහි දුක්ඛය යනු, දුක්ඛ වේදනාව බවයි. එනම් දුක්ඛ ආර්ය සත්‍යය තුල දක්වන්නේ සිතේ හටගන්නා දුකත්, කය ඇසුරු කල දුකත් බවයි. 

එය වනාහී අන්ධ බාල අව්‍යක්ත බව හේතුවෙන් අයෝනිසෝමනසිකාරයෙන් යුතුව නිර්මාණය කරගත් ලාමක සංකල්පයකි. කිමද යත්, 

දුක්ඛ ආර්ය සත්‍යයෙහි දුක්ඛය යනු, හුදෙක් දුක්ඛ වේදනාව නොවේ. දුක්ඛ වේදනාව ද අන්තර්ගත, වේදනාව නොවන පීඩාකාරී ස්වභාවයකි. විඳින්නා වූ ද, නොවිඳින්නා වූ ද, පීඩාවන් සියල්ල සංගෘහිත කොට, දුක්ඛ ආර්ය සත්‍යය දේශනා කර ඇත. ඒ කෙසේද යන්න පහත අටුවා පාඨයෙන් වටහාගත යුතුය. 

//අනෙකානි හි දුක්ඛානි. සෙය්යථිදං, දුක්ඛදුක්ඛං, විපරිණාමදුක්ඛං, සඞ්ඛාරදුක්ඛං, පටිච්ඡන්නදුක්ඛං, අප්පටිච්ඡන්නදුක්ඛං, පරියායදුක්ඛං, නිප්පරියායදුක්ඛන්ති.// 

අනේකවිධ දුක්ඛයෝ ඇත. කෙසේද යත්, දුක්ඛ දුක්ඛය විපරිණාම දුක්ඛය, සඞ්ඛාර දුක්ඛය, පටිච්ඡන්න දුක්ඛය, අප්පටිච්ඡන්න දුක්ඛය, පරියාය දුක්ඛය, නිප්පරියාය දුක්ඛය යන මේවාය. 

//තත්ථ කායිකචෙතසිකා දුක්ඛවෙදනා සභාවතො ච නාමතො ච දුක්ඛත්තා “දුක්ඛදුක්ඛ”න්ති වුච්චති.// 

එහි කායික චේතසික දුක් වේදනා ස්වභාවයෙන් ද නාමයෙන් ද දුක බැවින් "දුක්ඛ දුක්ඛය" යැයි කියනු ලැබේ. 

//සුඛවෙදනා විපරිණාමෙන දුක්ඛුප්පත්තිහෙතුතො විපරිණාමදුක්ඛං.// 

සුඛ වේදනා විපරිණාමයෙන් දුක් ඉපදීමට හේතුවන හෙයින් විපරිණාම දුක්ඛය වේ. 

//උපෙක්ඛාවෙදනා චෙව අවසෙසා ච තෙභූමකා සඞ්ඛාරා උදයබ්බයපීළිතත්තා සඞ්ඛාරදුක්ඛං.// 

උපෙක්ෂා වේදනාව ද අවශේෂ ⁣ත්රෛයිභූමික සසංඛාරයන් ද උදයබ්බයෙන් පීඩාවට පත්වන හෙයින් සංඛාර දුක්ඛය වේ. 

//කණ්ණසූලදන්තසූලරාගජපරිළාහදොසමොහජපරිළාහාදි කායිකචෙතසිකො ආබාධො පුච්ඡිත්වා ජානිතබ්බතො උපක්කමස්ස ච අපාකටභාවතො පටිච්ඡන්නදුක්ඛං. අපාකටදුක්ඛන්තිපි වුච්චති.// 

කන් කැක්කුම්, දත් කැක්කුම්, රාගයෙන් හටගත් පරිළාහ, දෝසයෙන් මෝහයෙන් හටගත් පරිළාහාදී කායික චෙතසික ආබාධයෝ විමසා දතයුතු බැවින්, උපක්රමයේ අප්රකට බව හේතුවෙන් පටිච්ඡන්න දුක්ඛය යැයි කියනු ලැබේ. අප්රකට දුක යැයි ද කියනු ලැබේ. 

//ද්වත්තිංසකම්මකාරණාදිසමුට්ඨානො ආබාධො අපුච්ඡිත්වාව ජානිතබ්බතො උපක්කමස්ස ච පාකටභාවතො අප්පටිච්ඡන්නදුක්ඛං. පාකටදුක්ඛන්තිපි වුච්චති.// 

දෙතිස් වධය ආදියෙන් හටගත් ආබාධයෝ නොවිමසාම දැනගතයුතු බැවින්, උපක්රමයේ ප්රකට බව හේතුවෙන් ද අප්පටිච්ඡන්න දුක්ඛය යැයි කියනු ලැබේ. ප්රකට දුක යැයි ද කියනු ලැබේ. 

//ඨපෙත්වා දුක්ඛදුක්ඛං සෙසං දුක්ඛසච්චවිභඞ්ගෙ ආගතං ජාතිආදි සබ්බම්පි තස්ස තස්ස දුක්ඛස්ස වත්ථුභාවතො පරියායදුක්ඛං.// 

දුක්ඛ දුක්ඛය හැර සෙසු දුක්ඛ සත්‍ය විභංගයෙහි පැමිණි ජාති ආදී සියල්ලම ඒ ඒ දුක්ඛයට වස්තු වන හෙයින් පරියාය දුක්ඛය වේ. 

//දුක්ඛදුක්ඛං පන නිප්පරියායදුක්ඛන්ති වුච්චති.// 

දුක්ඛ දුක්ඛය වනාහී නිශ්පර්යාය දුක්ඛය යැයි කියනු ලැබේ. 

දක්වන ලද පරිදි දුක්ඛ ආර්ය සත්‍යයෙහි දැක්වෙන දුක්ඛය යනු හුදෙක් දුක්ඛ වේදනාව නොවන්නේය. නොඑසේ නම්, දුක්ඛ ආර්ය සත්‍යයය තුල දක්වන්නේ සිතේ හා ගතේ ඇතිවන දුක නොවේය. ආර්ය සත්‍යයෙහි දුක්ඛ අර්ථය වනාහී, අර්ථ රාශියක එකතුවකි. සර්වාකාර පීඩාවන්ගේ අර්ථ විවරණයකි. ආදීනව ස්කන්ධයකි. 

එබැවින් දුක්ඛ ආර්ය සත්‍යය යනු විඳිය හැකි දුකක් යැයි නොගත යුතුය. ඉන් එහාට විමසිය යුතුය. කෙසේද යත්,

ජාති දුක්ඛය හෙවත් ඉපදීමේ දුක්ඛය අනේකාකාරය. අණ්ඩජ, ජලාබුජ, ඕපපාතික, සංසේදජ යන සතර ආකාරයෙන් සිදුවන උප්පත්තිය හමුවේ, අණ්ඩජ හා ජලාබුජ යන ද්වයාකාරය තුල දැකිය හැකි පීඩාවෝ, ඕපපාතික උප්පත්තිය තුල හට නොගන්නේ වෙයි. තවද ඕපපාතික උප්පත්තිය තුල, කායික හෝ මානසික දුක්ඛයක් නැත. ඇත්තේ ඉපදීමෙන් අනතුරුව හටගන්නා සෙසු දුක්ඛයන්ය. 

එසේ තිබියදී, දුක්ඛය යනු කායික මානසික දුක යැයි පවසයි නම්, ඕපපාතික සත්වයන්ට ජාති දුක්ඛයක් නැත. එසේ වුවහොත් බුද්ධ දේශනාව එක් කොටසකට පමණක් නිවැරදි වේ.

නමුත්, ජාතිය යනු ස්කන්ධයන්ගේ පහළවීම, ආයතනයන්ගේ හටගැනීම යැයි දක්වන තැනදී, (‘‘කතමා ච, භික්‌ඛවෙ, ජාති? යා තෙසං තෙසං සත්‌තානං තම්‌හි තම්‌හි සත්‌තනිකායෙ ජාති, සඤ්‌ජාති, ඔක්‌කන්‌ති, අභිනිබ්‌බත්‌ති, ඛන්‌ධානං පාතුභාවො, ආයතනානං පටිලාභො, අයං වුච්‌චති, භික්‌ඛවෙ, ජාති.) //මහා සතිපට්ඨාන සුත්‍රය// 

ඉහත තර්කය බිඳ වැටේ. එනම්,

දුක්ඛය යනු විඳින දුක නොවේ. විඳීමද සහිත පෙළෙන ස්වභාවයකි. ඒ බව සංඛාර දුක්ඛය යන්නෙන් වටහාගත යුතුය. 

නොඑසේ නම්, හුදෙක් උපාදාන සහිත සංඛත ධර්මයක් පවතීද, එහි පැවතීම යනු පීඩාවක් බව දත යුතුය. එකී පැවැත්ම යනු විඳීමක් නොවන අතර, විඳීමට එහා ගිය පෙළෙන ස්වභාවයකි. එකී පෙළෙන ස්වභාවය තුලින් දුක්ඛ ආර්ය සත්‍යය දැකිය යුතුය. වටහාගත යුතය. එසේ නොවන්නේ නම්, තමාට නිර්වාණය අහිමි වනු නියතය. එබැවින් වහ වහා සම්‍යක් දෘෂ්ඨියට එළඹිය යුතුය. සසරින් මිදිය යුතුය.ඒ සඳහා උත්සාහවත් වන සේක්වා...!!!




No comments:

Post a Comment