Sunday, August 4, 2024

ගිහියා හා සංඝරත්නය 01

මගපල ලාභී ගිහියා සංඝරත්නයට අයත් වන්නේ යැයි තර්කයක් මතුව පවතී. ඒ පිළිබඳව කොතෙක් ධර්ම කාරණා ඉදිරිපත් කරන නමුත් විසඳුමක් ලබා ගන්නේ නැති බව ද පෙනේ. එබැවින් ඒ පිළිබඳව සකාරණව කරුණු ගෙනහැර දක්වන්නෙමු. ප්‍රඥාවෙන් විමසත්වා.

පළමුව සංඝයා යනු කවරෙක් දැයි මූලිකව වටහා ගත යුතය. ඒ උදෙසා බුද්ධ දේශනාව තුල සංඝයා පිළිබඳව විස්තර කෙරෙන ආකාරය විමසා බැලිය යුතුය.

එය මෙසේය.

සංඝ යනුවෙන් ආමන්ත්‍රණය බුදුරජාණන්වහන්සේ විසින් භාවිතා කර ඇත්තේ භික්ෂු සංඝයා ආමන්ත්‍රණය කිරීම පිණිසය. ඒ බව පහත විනය කාරණා වලින් පැහැදිලි වේ.

“සඞ්‌ඝාදිසෙසොති සඞ්‌ඝොව තස්‌සා ආපත්‌තියා පරිවාසං දෙති, මූලාය පටිකස්‌සති, මානත්‌තං දෙති, අබ්‌භෙති....”

සංඝාධිශේෂ යනු සංඝයාම ඒ ආපත්තියට පරිවාසය දෙයි, මූලාය පටිකස්සනය කරයි, මානත දෙයි, අබ්භානය කරයි....

සංඝාධිශේෂ ආපත්ති වලට පිළියම් කිරීමේදී සංඝයාම සියලු තීන්දු තීරණ ගනී. එකී තීන්දු තීරණ ගන්නේ උපසම්පදා භික්ෂූන් වහන්සේලා සතර නමගෙන් එහාට භික්ෂූන් වහන්සේලාගේ එකතුවෙනි. එහි කිසිසේත්ම භික්ෂුනීන් වහන්සේලා හෝ, සාමණේර ආදීන් හෝ, උපාසක උපාසිකා ආදීන් නැත්තේමය. එහිලා සංඝ යනු පිරිසිදු උපසපන් භික්ෂූන් වහන්සේලාමය.

තවද එකී විනය කර්ම සිදු කරන කල්හි භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරන්නේ “සුණාතු මේ භන්තේ සඞ්ඝෝ,.....” යනාදී වශයෙනි. එනම් පිරිසිදු උපසම්පදාව සහිත භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කර ඇත්තේ සංඝ යනුවෙනි.

තවද වෙහෙර විහාර සඟසතු කොට පූජා කිරීමේදී ඒවා පූජා කරන්නේ භික්ෂූන් වහන්සේලා උදෙසාය. භික්ෂුනීන් වහන්සේලා වාසය කරන්නේ භික්ෂූන් වහන්සේලා යටතේය. සඟ සතු පූජාවන්ට උදාහරණයක් පහත දැක්වේ.

‘‘යො ඛො, බ්‍රාහ්‌මණ, චාතුද්‌දිසං සඞ්‌ඝං උද්‌දිස්‌ස විහාරං කරොති, අයං ඛො, බ්‍රාහ්‌මණ, යඤ්‌ඤො ඉමාය ච තිවිධාය යඤ්‌ඤසම්‌පදාය සොළසපරික්‌ඛාරාය ඉමිනා ච නිච්‌චදානෙන අනුකුලයඤ්‌ඤෙන අප්‌පට්‌ඨතරො ච අප්‌පසමාරම්‌භතරො ච මහප්‌ඵලතරො ච මහානිසංසතරො චා’’ති (කූටදන්ත සූත්‍රය)

බ්‍රාහ්මණය, යමෙක්, සතරදිගින් වඩින සංඝයා උදෙසා විහාරයක් කරයි ද, බ්‍රාහ්මණය මේ පූජාව, ඉහත සොළොස් පිරිකරක් ඇති තුන් වැදෑරුම් යාගසම්පත් ඇති, මේ කුලපරපුරෙහි දෙන නිති දනටත් වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ උත්සාහයෙකින් සිදු කට හැකි, එහෙත් මේ හැමට වඩා මහත් පලත් මහත් අනුසසුත් ඇති අන් (පූජාවකි)යඥයෙකි.

මෙහි මහා සංඝරත්නය වෙනුවෙන් විහාරයක් කරවීම මහත් පල මහානිසංස බව දක්වා ඇත. ඒ සංඝයා උදෙසා සිදු කරන ආරාම පූජාව පොදුවේ භික්ෂුන් වහන්සේලා උදෙසා පරිහරණයට කැප නමුත් ගිහියන් ආදීන්ට සාංඝික සේනාසන පරිහරණය අකැප බව විනය තුල විස්තර කෙරේ. 

එසේම ආරාම, ආරාමවත්ථු, විහාර, විහාර වත්ථු සහ අනෙකුත් ගරු භාණ්ඩ ආදිය කිසි සේත් පුද්ගලයන් අතර බෙදිය නොහැකි බව දක්වා තිබේ.

තවද සංඝයා උදෙසා පූජා කල ධාන්‍ය ආදිය මෙන්ම සේනාසනයේ ඇති මල් පල ආදිය ද ගිහියන් ආදීන්ට දීමෙන් ආපත්ති වලට පත්වන බව විනය තුල දක්වා ඇත.

මෙවැනි කාරණා තුලින් ඉතා හොඳින් පැහැදිලි වන්නේ ගිහියා කිසිසේත් සංඝරත්නයට අයත් නොවන බවයි.

එසේම සංඝ බේදය සිදු කිරීමේදී එය කිසිසේත් උපසම්පදා භික්ෂූන් වහන්සේ නමකගෙන් බැහැර අයකුට කල නොහැකි බව ද විනය තුල විස්තර කෙරේ. එමගින් ද ගිහියා සංඝරත්නයට අයත් නොවන බව විස්තර කෙරේ.

“න ඛො, උපාලි, භික්‌ඛුනී සඞ්‌ඝං භින්‌දති, අපි ච භෙදාය පරක්‌කමති, න සික්‌ඛමානා සඞ්‌ඝං භින්‌දති…පෙ.… 

න සාමණෙරො සඞ්‌ඝං භින්‌දති, 

න සාමණෙරී සඞ්‌ඝං භින්‌දති, 

න උපාසකො සඞ්‌ඝං භින්‌දති, 

න උපාසිකා සඞ්‌ඝං භින්‌දති, අපි ච භෙදාය පරක්‌කමති. 

භික්‌ඛු ඛො, උපාලි, පකතත්‌තො, සමානසංවාසකො, සමානසීමායං ඨිතො, සඞ්‌ඝං භින්‌දතී’’ති.”

මෙසේ ගිහියා සංඝයාට අයත් නොවන බව බුද්ධ දේශනාව තුලින් මනාව පැහැදිලිව පෙනෙද්දී, කුමක් නිසා ගිහියා සංඝයාට අයත් වන්නේ යැයි තර්ක කරන්නේද යන්න විමසා සිටිය යුතුය.

එහිලා වරදවා ගත් එක් කාරණාවක් නම් සෝභේති සූත්‍රයයි. අනෙක් කාරණාව නම් සුපටිපන්න ගාථාවයි.

එහි සෝභේති සූත්‍රය පහත පරිදිය.

‘‘චත්‌තාරොමෙ, භික්‌ඛවෙ, වියත්‌තා විනීතා විසාරදා බහුස්‌සුතා ධම්‌මධරා ධම්‌මානුධම්‌මප්‌පටිපන්‌නා සඞ්‌ඝං සොභෙන්‌ති. කතමෙ චත්‌තාරො? 

භික්‌ඛු, භික්‌ඛවෙ, වියත්‌තො විනීතො විසාරදො බහුස්‌සුතො ධම්‌මධරො ධම්‌මානුධම්‌මප්‌පටිපන්‌නො සඞ්‌ඝං සොභෙති. 

භික්‌ඛුනී, භික්‌ඛවෙ, වියත්‌තා විනීතා විසාරදා බහුස්‌සුතා ධම්‌මධරා ධම්‌මානුධම්‌මප්‌පටිපන්‌නා සඞ්‌ඝං සොභෙති. 

උපාසකො, භික්‌ඛවෙ, වියත්‌තො විනීතො විසාරදො බහුස්‌සුතො ධම්‌මධරො ධම්‌මානුධම්‌මප්‌පටිපන්‌නො සඞ්‌ඝං සොභෙති. 

උපාසිකා, භික්‌ඛවෙ, වියත්‌තා විනීතා විසාරදා බහුස්‌සුතා ධම්‌මධරා ධම්‌මානුධම්‌මප්‌පටිපන්‌නා සඞ්‌ඝං සොභෙති. 

ඉමෙ ඛො, භික්‌ඛවෙ, චත්‌තාරො වියත්‌තා විනීතා විසාරදා බහුස්‌සුතා ධම්‌මධරා ධම්‌මානුධම්‌මප්‌පටිපන්‌නා සඞ්‌ඝං සොභෙන්‌තී’’ති.”(අංගුත්තර නිකාය)

මෙකී සූත්‍රය උපුටා දක්වමින් භික්ෂු භික්ෂුනී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසම සංඝයාට අයත් වන්නේ යැයි පෙර කී මතවාදය දරන පිරිස තර්ක කරනු ලබයි. එහිලා පළමුව ඔවුන් කෙරෙහි කණගාටුව පළකර සිටිමි. දෙවනුව පිළිතුරු තබමි.

සෝභේති යන පදය හොබවයි, බබලවයි යන අර්ථ මිසෙක අයිතියි යන අර්ථය කිසි සේත් ලබා නොදෙන පදයකි. ලස්සන කරයි යන සරල අර්ථය ඉන් ප්‍රකාශ කෙරේ.

එසේම "සංඝං සොභෙති" යනු සංඝයාව බබලවයි යන අර්ථය මිසෙක සංඝයාට අයත් යන අර්ථ ගෙන නොදේ.

“සංඝං” යනු දුතියා විභක්ති පදයකි. එයින් කර්මය ගෙනහැර දැක්වේ. එනම් සොභෙති යන කර්මයට සංඝයා ලක්ව තිබේ. සංඝයා එහි අනුක්තයයි. සිව්වනක් පිරිස උක්තයයි. සිව්වනක් පිරිසේ සෝභනය කිරීමේ ක්‍රියාවට සංඝයා ලක්ව සිටිනවා මිසෙක කිසිසේත් අයිතිය හැඟවීමක් එහි අර්ථ නොදැක්වේ.

අයිතිය හැඟවෙන්නේ නම් සංඝාය හෝ සංඝස්ස යනාදී චතුර්ථ විභක්ති පදයක් යෙදිය යුතුය. නොමැත්තේ නම් සාංඝික වැනි තද්ධිත පදයක් හෝ යෙදිය යුතුය. කිසිසේත් සූත්‍රය තුල එවැනි පද නොමැති හෙයින් සිව්වනක් පිරිස සංඝයාට අයත් යන අර්ථයක් එකී සූත්‍රයෙන් නොලැබේ.

(පාලි නොදැන නිවන් දකින්න බැහැ කියන්නේ ආවට ගියාට නොවන බව අවධාරණය කරමි.)

ඉන් අනතුරුව ඔවුන්ගේ තර්කය වන සුපටිපන්න ගාථාව විමසිය යුතුය. එය දීර්ඝ වන බැවින් වෙනමම අර්ථකථනය කිරීමට බලාපොරොත්තුවෙන් මෙයින් මේ ලිපිය මතු සම්බන්ධ කරමි.

සියලු දෙනා නිවනින්ම සැනසේවා...!!!




No comments:

Post a Comment