Sunday, August 4, 2024

භාග්‍යවතුන් වහන්සේ සැප ප්‍රතික්ෂේප නොකළ සේක.

සුගත තථාගත දසබලධාරී සර්වඥ රාජෝත්තම සම්මා සම්බුදු රජාණන්වහන්සේ සකල ලෝක වාසී සකල සත්ව වර්ගයා කෙරෙහි පතලා වූ මහා කරුණාවෙන් යුතුව උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කර වදාළ සේක. එයින් දුක්ඛ ආර්ය සත්‍යය තුල දුක්ඛය වෙන් වෙන් වශයෙන් පෙන්වා දුන් සේක. එනමුත් ඒ භාග්‍යවතුන් වහන්සේ දුක පෙන්වා, ඒ දුකින් මිදීම ද පෙන්වා දුන්නා මිසක දුක තුල වාසයට මග පෙන්වීමක් සිදු නොකළ සේක.

නමුත් වර්තමාන සමාජයේ ඇතැමෙක් දක්වන ආකාරයට බුදුරජාණන් වහන්සේගේ මග පෙන්වීම හේතුවෙන් මිනිසා දුක තුල සිරවී ඇත.

එය සාවද්‍ය කතාවකි.

බුදුරජාණන්වහන්සේ දුක පමණක් නොව දුකට හේතුව ද, දුකින් මිදීම ද, දුකින් මිදීමට මාර්ගය ද පෙන්වා දුන් සේක. එය පෙන්වා දුන්නා පමණක් නොව අනුගමනය කර දුකින් මිදුණු ශ්‍රාවක පිරිස් ද ගොඩනැංවූ සේක. 

එසේ සදාකාලිකව දුකින් මිදීම පෙන්වා දුන් භාග්‍යවතුන් වහන්සේ කිසි ලෙසක සැප විඳීම ප්‍රතික්ෂේප නොකළ සේක. ගිහි වුව ද, පැවිදි වුව ද, දුකින් මිදීම සුවසේ සිදු කරනා ආකාරයම පෙන්වා වදාළ සේක. එසේම ලෞකික ලෝකෝත්තර දෙයාකාරයෙන්ම සැපවත් වීම ද පෙන්වා වදාළ සේක.

එනමුත් භාග්‍යවතුන් වහන්සේ මූලිකත්වය දුන්නේ ලෝකෝත්තර සැපයටයි. 

එය බව මෙසේ දත යුතුය.

‘‘ද්‌වෙමානි, භික්‌ඛවෙ, සුඛානි. කතමානි ද්‌වෙ? උපධිසුඛඤ්‌ච නිරුපධිසුඛඤ්‌ච. ඉමානි ඛො, භික්‌ඛවෙ, ද්‌වෙ සුඛානි. එතදග්‌ගං, භික්‌ඛවෙ, ඉමෙසං ද්‌වින්‌නං සුඛානං යදිදං නිරුපධිසුඛ’’න්‌ති. (අ.නි, දුක නිපාත, සුඛ වග්ගය)

මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (ත්‍රෛභූමකසුඛ සඞ්ඛ්‍යාත) උපධි සුඛය හා (ලෝකෝත්තරසුඛ සඞ්ඛ්‍යාත) නිරුපධිසුඛය හා යන දෙකයි. මහණෙනි, මේ සුව දෙකය. මහණෙනි, මේ සුඛ දෙක අතුරෙන් යම් නිරුපධිසුඛයෙක් වේ නම්, එය අග්‍ර වේ.

ඒ ලෝකෝත්තර සැපයට පැමිණෙන මාර්ගය නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. 

ලෝකෝත්තර සැපයට යන මාර්ගය දේශනා කල භාග්‍යවතුන් වහන්සේ ලෞකික සැපයට පැමිණෙන මාර්ගයද දේශනා කල සේක. එනම් පුණ්‍යක්‍රියාවයි.

“පුඤ්‌ඤඤ්‌චෙ පුරිසො කයිරා - කයිරාථෙතං පුනප්‌පුනං

තම්‌හි ඡන්‌දං කයිරාථ - සුඛො පුඤ්‌ඤස්‌ස උච්‌චයො.” (ධම්මපදය)

ඉදින් පුරුෂ තෙම පුණ්‍ය කර්‍මයක් කෙළේ වී නම් එය නැවත නැවැත කරන්නේ ය. ඒ පිනෙහි ඡන්දය ඇති කරන්නේ යි.  පිනෙහි එකතුව සැපයයි.

එඅවින් භාග්‍යවතුන් වහන්සේ දුක පමණක් පෙන්වා වදාළේය යන මතය සාවද්‍ය වන අතරම නිවනට මග පමණක් පෙන්වා වදාළේය යන්න ද වැරදි මතයකි. 

භාග්‍යවතුන් වහන්සේ ලෞකික ලෝකෝත්තර උභයාර්ථ සාධනය කරන මාර්ගය පෙන්වා වදාළ ශ්‍රේෂ්ඨ ශාස්තෘන් වහන්සේ නමකි.




No comments:

Post a Comment