Sunday, August 4, 2024

අනිච්ච යනු කුමක්ද?

අනිච්ච යන පාලි වචනය අනිත්‍ය ලෙස අර්ථ දැක්වීම සාවද්‍ය බව පවසමින්, ත්‍රිපිටක බුද්ධ වචනයට නව අර්ථකථන ඉදිරිපත් කිරීම සමාජගත වී බොහෝ කාලයක් ගතවී තිබේ. ඒ කාලය තුල අනිච්ච සහ අනිත්‍ය යන පද හා ඒවා අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පිලිබඳ බොහෝ ලිපි ලියවී තිබෙන නමුත්, එකී අර්ථ ප්‍රකාශන ධර්ම විකෘති වලට බලපෑම් කිරීමට තරම් සාර්ථකව ඉදිරිපත් නොවීය. ඒ හේතුවෙන් ධර්ම විකෘතීන් නිදහසේ සමාජය තුල විසිරී පැතිරී ගියේය.

ඒ පිළිබඳව නැවතත් අධ්‍යයනය කිරීමේදී වැටහී ගිය කාරණාවක් වන්නේ අනිච්ච අර්ථ විකෘතිය සිදුව ඇත්තේ හුදු ලෞකික අර්ථයෙන් පමණක් දුක්ඛ ආර්ය සත්‍යය දෙස බැලීම නිසාවෙන් බවයි. එනම් චතුරාර්ය සත්‍යය පිළිබඳව පරමාර්ථ වශයෙන් විමසීමට හැකියාව නොමැතිව, තම තමන්ගේ පටු ලෞකික අදහස් අනුව ධර්මය විමසීමට යාම හේතුවෙන් ආර්ය සත්‍ය පිලිබඳ ගාම්භීර අර්ථ ගිලිහී ගොස් තිබේ.

තවදුරටත් සරලව පවසනවා නම් දුක්ඛ ආර්ය සත්‍යය යනු දුක්ඛ වේදනාව පිලිබඳ විග්‍රහයක් ලෙස එකී ධර්ම විකෘතික පිරිස් හඳුන්වා දී තිබේ. සැබවින්ම එය එසේ වටහාගත හැක්කක් නොවන බව ඉඳුරාම වටහා ගත යුතුය.

අනිච්ච අර්ථ විකෘති කල ඇතැමෙක් පවසන්නේ අනිච්ච යනු අනිත්‍ය නොවන බවයි. ඒ පිළිබඳව වහරක මතධාරියකු පවසා සිටියේ පහත පරිදිය.

..........................................................

//සමුදය යනු අනිච්චයි. නිරෝධය/අත්ථගමය යනු නිච්චයි.//

..........................................................

අනිච්ච යනු සමුදය යැයි පැවසීමට හේතු කොටගෙන ඇත්තේ අනිච්චසඤ්ඤා සහ සමාධිභාවනා සූත්‍ර අර්ථ වරදවා වටහා ගැනීමයි. ඒ සූත්‍ර මෙසේයි.

..........................................................

//‘‘අනිච්‌චසඤ්‌ඤා, භික්‌ඛවෙ, භාවිතා බහුලීකතා සබ්‌බං කාමරාගං පරියාදියති, සබ්‌බං රූපරාගං පරියාදියති, සබ්‌බං භවරාගං පරියාදියති, සබ්‌බං අවිජ්‌ජං පරියාදියති, සබ්‌බං අස්‌මිමානං සමූහනති’’.

‘‘සෙය්‍යථාපි, භික්‌ඛවෙ, සරදසමයෙ කස්‌සකො මහානඞ්‌ගලෙන කසන්‌තො සබ්‌බානි මූලසන්‌තානකානි සම්‌පදාලෙන්‌තො කසති; එවමෙව ඛො, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා භාවිතා බහුලීකතා සබ්‌බං කාමරාගං පරියාදියති, සබ්‌බං රූපරාගං පරියාදියති, සබ්‌බං භවරාගං පරියාදියති, සබ්‌බං අවිජ්‌ජං පරියාදියති, සබ්‌බං අස්‌මිමානං සමූහනති.

‘‘සෙය්‍යථාපි, භික්‌ඛවෙ, පබ්‌බජලායකො පබ්‌බජං ලායිත්‌වා අග්‌ගෙ ගහෙත්‌වා ඔධුනාති නිද්‌ධුනාති නිච්‌ඡොටෙති; එවමෙව ඛො, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා භාවිතා බහුලීකතා සබ්‌බං කාමරාගං පරියාදියති…පෙ.… සබ්‌බං අස්‌මිමානං සමූහනති.

‘‘සෙය්‍යථාපි, භික්‌ඛවෙ, අම්‌බපිණ්‌ඩියා වණ්‌ටච්‌ඡින්‌නාය යානි තත්‌ථ අම්‌බානි වණ්‌ටපටිබන්‌ධානි සබ්‌බානි තානි තදන්‌වයානි භවන්‌ති; එවමෙව ඛො, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා භාවිතා…පෙ.… සබ්‌බං අස්‌මිමානං සමූහනති.

‘‘සෙය්‍යථාපි, භික්‌ඛවෙ, කූටාගාරස්‌ස යා කාචි ගොපානසියො සබ්‌බා තා කූටඞ්‌ගමා කූටනින්‌නා කූටසමොසරණා, කූටං තාසං අග්‌ගමක්‌ඛායති; එවමෙව ඛො, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා භාවිතා…පෙ.… සබ්‌බං අස්‌මිමානං සමූහනති.

‘‘සෙය්‍යථාපි, භික්‌ඛවෙ, යෙ කෙචි මූලගන්‌ධා කාළානුසාරිගන්‌ධො තෙසං අග්‌ගමක්‌ඛායති; එවමෙව ඛො, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා…පෙ.… සබ්‌බං අස්‌මිමානං සමූහනති.

‘‘සෙය්‍යථාපි, භික්‌ඛවෙ, යෙ කෙචි සාරගන්‌ධා, ලොහිතචන්‌දනං තෙසං අග්‌ගමක්‌ඛායති; එවමෙව ඛො, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා…පෙ.… සබ්‌බං අස්‌මිමානං සමූහනති.

‘‘සෙය්‍යථාපි, භික්‌ඛවෙ, යෙ කෙචි පුප්‌ඵගන්‌ධා, වස්‌සිකං තෙසං අග්‌ගමක්‌ඛායති; එවමෙව ඛො, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා…පෙ.… සබ්‌බං අස්‌මිමානං සමූහනති.

‘‘සෙය්‍යථාපි, භික්‌ඛවෙ, යෙ කෙචි කුඩ්‌ඩරාජානො, සබ්‌බෙතෙ රඤ්‌ඤො චක්‌කවත්‌තිස්‌ස අනුයන්‌තා භවන්‌ති, රාජා තෙසං චක්‌කවත්‌ති අග්‌ගමක්‌ඛායති; එවමෙව ඛො, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා…පෙ.… සබ්‌බං අස්‌මිමානං සමූහනති.

‘‘සෙය්‍යථාපි, භික්‌ඛවෙ, යා කාචි තාරකරූපානං පභා, සබ්‌බා තා චන්‌දිමප්‌පභාය කලං නාග්‌ඝන්‌ති සොළසිං, චන්‌දප්‌පභා තාසං අග්‌ගමක්‌ඛායති; එවමෙව ඛො, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා…පෙ.… සබ්‌බං අස්‌මිමානං සමූහනති.

‘‘සෙය්‍යථාපි, භික්‌ඛවෙ, සරදසමයෙ විද්‌ධෙ විගතවලාහකෙ දෙවෙ ආදිච්‌චො නතං අබ්‌භුස්‌සක්‌කමානො, සබ්‌බං ආකාසගතං තමගතං අභිවිහච්‌ච භාසතෙ ච තපතෙ ච විරොචතෙ ච; එවමෙව ඛො, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා භාවිතා බහුලීකතා සබ්‌බං කාමරාගං පරියාදියති, සබ්‌බං රූපරාගං පරියාදියති, සබ්‌බං භවරාගං පරියාදියති, සබ්‌බං අවිජ්‌ජං පරියාදියති, සබ්‌බං අස්‌මිමානං සමූහනති.

‘‘කථං භාවිතා ච, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා කථං බහුලීකතා සබ්‌බං කාමරාගං පරියාදියති…පෙ.… සබ්‌බං අස්‌මිමානං සමූහනති? ‘ඉති රූපං, ඉති රූපස්‌ස සමුදයො, ඉති රූපස්‌ස අත්‌ථඞ්‌ගමො; ඉති වෙදනා… ඉති සඤ්‌ඤා… ඉති සඞ්‌ඛාරා… ඉති විඤ්‌ඤාණං, ඉති විඤ්‌ඤාණස්‌ස සමුදයො, ඉති විඤ්‌ඤාණස්‌ස අත්‌ථඞ්‌ගමො’ති – එවං භාවිතා ඛො, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා එවං බහුලීකතා සබ්‌බං කාමරාගං පරියාදියති, සබ්‌බං රූපරාගං පරියාදියති, සබ්‌බං භවරාගං පරියාදියති, සබ්‌බං අවිජ්‌ජං පරියාදියති, සබ්‌බං අස්‌මිමානං සමූහනතී’’ති. (අනිච්චසඤ්ඤාසූත්‍රය) //

// ‘‘චතස්‌සො ඉමා, භික්‌ඛවෙ, සමාධිභාවනා. කතමා චතස්‌සො? අත්‌ථි, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා දිට්‌ඨධම්‌මසුඛවිහාරාය සංවත්‌තති; අත්‌ථි, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ඤාණදස්‌සනප්‌පටිලාභාය සංවත්‌තති; අත්‌ථි, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා සතිසම්‌පජඤ්‌ඤාය සංවත්‌තති; අත්‌ථි, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත්‌තති.

‘‘කතමා ච, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා දිට්‌ඨධම්‌මසුඛවිහාරාය සංවත්‌තති? ඉධ, භික්‌ඛවෙ, භික්‌ඛු විවිච්‌චෙව කාමෙහි… චතුත්‌ථං ඣානං උපසම්‌පජ්‌ජ විහරති. අයං, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා දිට්‌ඨධම්‌මසුඛවිහාරාය සංවත්‌තති.

‘‘කතමා ච, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ඤාණදස්‌සනප්‌පටිලාභාය සංවත්‌තති? ඉධ, භික්‌ඛවෙ, භික්‌ඛු ආලොකසඤ්‌ඤං මනසි කරොති, දිවාසඤ්‌ඤං අධිට්‌ඨාති – යථා දිවා තථා රත්‌තිං, යථා රත්‌තිං තථා දිවා. ඉති විවටෙන චෙතසා අපරියොනද්‌ධෙන සප්‌පභාසං චිත්‌තං භාවෙති. අයං, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ඤාණදස්‌සනප්‌පටිලාභාය සංවත්‌තති.

‘‘කතමා ච, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා සතිසම්‌පජඤ්‌ඤාය සංවත්‌තති? 

ඉධ, භික්‌ඛවෙ, භික්‌ඛුනො විදිතා වෙදනා උප්‌පජ්‌ජන්‌ති, විදිතා උපට්‌ඨහන්‌ති, විදිතා අබ්‌භත්‌ථං ගච්‌ඡන්‌ති; විදිතා සඤ්‌ඤා…පෙ.… විදිතා විතක්‌කා උප්‌පජ්‌ජන්‌ති, විදිතා උපට්‌ඨහන්‌ති, විදිතා අබ්‌භත්‌ථං ගච්‌ඡන්‌ති. අයං, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා සතිසම්‌පජඤ්‌ඤාය සංවත්‌තති.

‘‘කතමා ච, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත්‌තති? 

ඉධ, භික්‌ඛවෙ, භික්‌ඛු පඤ්‌චසු උපාදානක්‌ඛන්‌ධෙසු උදයබ්‌බයානුපස්‌සී විහරති – ‘ඉති රූපං, ඉති රූපස්‌ස සමුදයො, ඉති රූපස්‌ස අත්‌ථඞ්‌ගමො; ඉති වෙදනා, ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්‌ථඞ්‌ගමො; ඉති සඤ්‌ඤා, ඉති සඤ්‌ඤාය සමුදයො, ඉති සඤ්‌ඤාය අත්‌ථඞ්‌ගමො; ඉති සඞ්‌ඛාරා, ඉති සඞ්‌ඛාරානං සමුදයො, ඉති සඞ්‌ඛාරානං අත්‌ථඞ්‌ගමො; ඉති විඤ්‌ඤාණං, ඉති විඤ්‌ඤාණස්‌ස සමුදයො, ඉති විඤ්‌ඤාණස්‌ස අත්‌ථඞ්‌ගමො’ති. අයං, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත්‌තති. ඉමා ඛො, භික්‌ඛවෙ, චතස්‌සො සමාධිභාවනා. 

ඉදඤ්‌ච පන මෙතං, භික්‌ඛවෙ, සන්‌ධාය භාසිතං පාරායනෙ පුණ්‌ණකපඤ්‌හෙ –

‘‘සඞ්‌ඛාය ලොකස්‌මිං පරොපරානි,

යස්‌සිඤ්‌ජිතං නත්‌ථි කුහිඤ්‌චි ලොකෙ;

සන්‌තො විධූමො අනීඝො නිරාසො,

අතාරි සො ජාතිජරන්‌ති බ්‍රූමී’’ති (සමාධිභාවනා සූත්‍රය)//

..........................................................

එකී සූත්‍ර දෙකෙහි දැක්වෙන උදයබ්බය හෙවත් සමුදය අත්‌ථඞ්‌ගමය යන පද දෙකෙහි අර්ථ විපරීත කරගැනීම හේතුවෙන් //සමුදය යනු අනිච්චයි. නිරෝධය/අත්ථගමය යනු නිච්චයි// යන දුර්මතය ඇතිවී තිබේ. එකී දුර්මතය දුර්මතයක් වනේ කෙසේද යන්න පහත සේ දත යුතුය.

අනිච්චසඤ්ඤා සූත්‍රයෙහි අනිච්චසඤ්ඤාව වඩන ආකාරය මෙසේ විස්තර කර තිබේ. 

//‘‘කථං භාවිතා ච, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා කථං බහුලීකතා සබ්‌බං කාමරාගං පරියාදියති…පෙ.… සබ්‌බං අස්‌මිමානං සමූහනති? 

‘ඉති රූපං, ඉති රූපස්‌ස සමුදයො, ඉති රූපස්‌ස අත්‌ථඞ්‌ගමො; 

ඉති වෙදනා… ඉති සඤ්‌ඤා… ඉති සඞ්‌ඛාරා… 

ඉති විඤ්‌ඤාණං, ඉති විඤ්‌ඤාණස්‌ස සමුදයො, ඉති විඤ්‌ඤාණස්‌ස අත්‌ථඞ්‌ගමො’ති – 

එවං භාවිතා ඛො, භික්‌ඛවෙ, අනිච්‌චසඤ්‌ඤා එවං බහුලීකතා සබ්‌බං කාමරාගං පරියාදියති, සබ්‌බං රූපරාගං පරියාදියති, සබ්‌බං භවරාගං පරියාදියති, සබ්‌බං අවිජ්‌ජං පරියාදියති, සබ්‌බං අස්‌මිමානං සමූහනතී’’ති.//

රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධය යනු කුමක්දැයි දැන ඒ එක් එක් ස්කන්ධයෙහි සමුදය හා අත්‌ථඞ්‌ගමය මෙසේ වන්නේ යැයි දැකීම, අනිච්ච සඤ්ඤාව වේ. ඒ ස්කන්ධයන් පිලිබඳ සමුදය හා අත්‌ථඞ්‌ගමය නැවත නැවත මෙනෙහි කිරීම අනිච්චසඤ්ඤාව වැඩීම නම් වේ.

එබැවින් පැහැදිලිවම දත යුත්තේ, පංච උපාදානස්කන්ධයෙහි සමුදය හා අත්‌ථඞ්‌ගමය මෙසේ වන්නේ යැයි දැකීම අනිච්චසඤ්ඤාව වනවා මිසක, “සමුදය යනු අනිච්චයි. නිරෝධය/අත්ථගමය යනු නිච්චයි” යන කතාව එකී සූත්‍රයෙන් විස්තර නොකෙරේ.

නැවත ද පවසන්නේ අනිච්චසඤ්ඤාව යනු සමුදය හා අත්‌ථඞ්‌ගමය යන දෙකම දැකීමයි.

ඉන් අනතුරුව සමාධිභාවනා සූත්‍රයෙහි විස්තරය විමසා සිටිමු. 

//‘‘කතමා ච, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත්‌තති? 

ඉධ, භික්‌ඛවෙ, භික්‌ඛු පඤ්‌චසු උපාදානක්‌ඛන්‌ධෙසු උදයබ්‌බයානුපස්‌සී විහරති – ‘

ඉති රූපං, ඉති රූපස්‌ස සමුදයො, ඉති රූපස්‌ස අත්‌ථඞ්‌ගමො; 

ඉති වෙදනා, ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්‌ථඞ්‌ගමො; 

ඉති සඤ්‌ඤා, ඉති සඤ්‌ඤාය සමුදයො, ඉති සඤ්‌ඤාය අත්‌ථඞ්‌ගමො; 

ඉති සඞ්‌ඛාරා, ඉති සඞ්‌ඛාරානං සමුදයො, ඉති සඞ්‌ඛාරානං අත්‌ථඞ්‌ගමො; 

ඉති විඤ්‌ඤාණං, ඉති විඤ්‌ඤාණස්‌ස සමුදයො, ඉති විඤ්‌ඤාණස්‌ස අත්‌ථඞ්‌ගමො’ති. 

අයං, භික්‌ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත්‌තති//

ඉහත අනිච්චසඤ්ඤා සූත්‍රයෙහි සමුදය හා අත්‌ථඞ්‌ගමය දැකීම ලෙස විස්තර කරන ලද්ද සමාධි භාවනා සූත්‍රය තුල උදයබ්‌බයානුපස්‌සනාව ලෙස විස්තර කෙරේ. එබැවින් උදයබ්‌බයානුපස්‌සනාව යනු අනිච්චසඤ්ඤාවම වන අතර එය පංච උපාදානස්කන්ධයෙහි සමුදය හා අත්‌ථඞ්‌ගමය දැකීම වේ. ඒ විනා //සමුදය යනු අනිච්චයි. නිරෝධය/අත්ථගමය යනු නිච්චයි// යන හිස් තර්කය මින් පිළිබිඹු නොකෙරේ.

ඉහත සූත්‍ර අර්ථ දෙස බලන කල පැහැදිලිවම පෙනෙන කාරණාවක් වන්නේ අනිච්ච යනු අනිත්‍ය නොවන්නේයැයි පවසනා පුද්ගලයින් යනු සූත්‍රයක් හෝ කියවා අර්ථ ගැනීමට නොහැකි තරම් දුර්වල පිරිසක් බවයි.

ඉන් අනතුරුව “අනිච්ච” යන්නෙන් “සමුදය” යන අර්ථය හා “නිච්ච” යන්නෙන් “නිරෝධය/අත්ථගමය” යන අර්ථය ලැබෙන්නේද යන්න විමසා සිටිමු.

//“තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති? 

අනිච්චං, භන්තෙ. 

යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති?

දුක්ඛං, භන්තෙ.

යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං – එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තාති? 

නො හෙතං, භන්තෙ. 

වෙදනා..., සඤ්ඤා..., සඞ්ඛාරා..., විඤ්ඤාණං... -පෙ- "//

මෙහි “රූපං නිච්චං වා අනිච්චං වා” (රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ) යන පාඨයෙහි “රූපං නිච්චං” ලෙස හෝ “රූපං අනිච්චං” ලෙස ගත් විට එය නපුංසක ලිංග ලෙස වරනැගේ. එබැවින් “රූපං” ලෙස යෙදේ. එහි සිංහල අර්ථය නම් රූපය යන්නයි.

..........................................................

එකී රූපං යන පදය අනිච්චං සමග යෙදෙන විට, අනිච්ච යනු සමුදය යන අර්ථය නම්, 

රූපං අනිච්චං = රූපය සමුදය වේ යන අර්ථයයි.

වෙදනා ආදිය සමග යෙදෙන විට,

වේදනා සමුදය වේ, සඤ්ඤා සමුදය වේ, සංඛාර සමුදය වේ, විඤ්ඤාණය සමුදය වේ යනුවෙන් යෙදිය යුතුය. එහිලා අර්ථය කුමක් ද?

..........................................................

ඉදින් අනිච්ච යනු අනිත්‍ය යන අර්ථය නම්,

රූපං අනිච්චං = රූපය අනිත්‍ය වේ යන අර්ථයි.

වෙදනා ආදිය සමග යෙදෙන විට,

වේදනා අනිත්‍ය වේ, සඤ්ඤා අනිත්‍ය වේ, සංඛාර අනිත්‍ය වේ, විඤ්ඤාණය අනිත්‍ය වේ යනුවෙන් යෙදිය යුතුය. එහිලා අර්ථය සුගමය.

..........................................................

ඉදින් නිච්ච යනු නිරෝධය/අත්ථගමය යන අර්ථය නම්,

රූපං නිච්චං = රූපය නිරෝධය/අත්ථගමය වේ යන අර්ථයි. 

වෙදනා ආදිය සමග යෙදෙන විට,

වේදනා නිරෝධය/අත්ථගමය වේ, සඤ්ඤා නිරෝධය/අත්ථගමය වේ, සංඛාර නිරෝධය/අත්ථගමය වේ, විඤ්ඤාණය නිරෝධය/අත්ථගමය වේ යනුවෙන් යෙදිය යුතුය. එහිලා අර්ථයක් නැත.

..........................................................

ඉදින් නිච්ච යනු නිත්‍ය යන අර්ථය නම්,

රූපං නිච්චං = රූපය නිත්‍ය  වේ යන අර්ථයි. 

වෙදනා ආදිය සමග යෙදෙන විට,

වේදනා නිත්‍ය  වේ, සඤ්ඤා නිත්‍ය  වේ, සංඛාර නිත්‍ය  වේ, විඤ්ඤාණය නිත්‍ය  වේ යනුවෙන් යෙදිය යුතුය. එය ව්‍යාකරණානුකූල වේ. නමුත් සිදු නොවේ.

..........................................................

ඉහත උදාහරණ දෙස බැලීමේදී සමුදය යනාදී පද යෙදූ විට සූත්‍ර අර්ථය විකෘති වේ. රූපස්ස සමුදයො මිස රූපං සමුදයො ආදී ලෙස නොයෙදේ. එබැවින් අනිච්ච යනු සමුදය යැයි ගැනීම විකෘතියකි.

තවද උදාහරණයක් සලකා බලන්නේ නම්,

"තස්මා හි යාගුං අලමෙව දාතුං - නිච්චං මනුස්සෙන සුඛත්ථිකෙන

දිබ්බානි වා පත්ථයතා සුඛානි - මනුස්සසොභග්‍යතමිච්ඡතා වාති."

(භෙසජ්ජක්ඛන්ධකය)

මනුෂ්‍ය හෝ දිව්‍ය සැප කැමැත්තහු විසින් කැඳ දානය නිරතුරු දිය යුතු බව එකී ගාථාවෙන් කියැවේ. එහි නිරතුරු යන අර්ථය ගෙන දෙන්නේ නිච්ච යන පදයෙනි. නිරතුරු යනු නිත්‍ය යන අර්ථය මිසෙක නිරෝධය/අත්ථගමය යන අර්ථය නොදේ. එබැවින් නිච්ච යනු නිත්‍ය යන අර්ථය දෙන පදයක් බව බුද්ධ දේශනාව අනුව දත යුතුය.

තවද,

"ඵලානමිව පක්කානං - නිච්චං පතනතො භයං

එවං ජාතාන මච්චානං - නිච්චං මරණතො භයං." 

(මූගපක්ඛ ජාතකය)

ඉදුණු ගෙඩි වැටෙන්නේය යන බිය නිරතුරු පවතින්නා සේ, උපන්නා වූ මනුෂ්‍යයාට මරණයෙන් බිය නිරතුරු පවතින්නේය. 

එහිදී ද නිච්ච යන්නෙන් නිරතුරු යන අර්ථය මිසෙක නිරෝධය/අත්ථගමය යන අර්ථය නොදේ. එබැවින් නිච්ච යනු නිත්‍ය බව දත යුතුය.

මේ අනුව නිච්ච යනු නිත්‍ය යන අර්ථය ද, අනිච්ච යනු අනිත්‍ය යන අර්ථය ද ගෙන දෙන පද දෙකක් මිසෙක, කිසදු විටක //සමුදය යනු අනිච්චයි. නිරෝධය/අත්ථගමය යනු නිච්චයි// යන විපරීත අර්ථය ගෙන නොදෙන බව ඉඳුරාම දත යුතුය.

සියලු සත්වයෝ නිවනින් සැනසේවා...!!!




No comments:

Post a Comment