Sunday, August 4, 2024

ගිහියා හා සංඝරත්නය 02

සෝභේති යනු “එයට අයත් වේ” යන අර්ථය දෙන පදයක් ද?

මගපල ලාභී ගිහියා සංඝරත්නයට අයත් වන්නේ යැයි මතුව පවතින තර්කය සම්බන්ධයෙන් ලිපියක් පසුගිය දිනෙක පල කලෙමි. එහි දෙවන කොටස වශයෙන් සුපටිපන්න ගාථාව විස්තර කිරීමට බලාපොරොත්තු වුන නමුත්, සෝභේති යන පදයෙන් “අයත් වේ” යන අර්ථය ගෙන දෙන බවට තර්කයක් මතුව ආ නිසා ඒ පිළිබඳව මෙසේ අර්ථ විවරණය සිදු කරමි. නුවණින් විමසත්වා.

සෝභේති යනු හොබවයි, බබලවයි යන අර්ථ ගෙන දෙන බව මීට පෙර පෙන්වා දුන්නෙමි. සරලව පවසනවා නම් ලස්සන කරයි යන අර්ථයයි.

නමුත් යමක් එසේ ලස්සන කිරීමට නම් එයට අයත් විය යුතුය යන තර්කය කිහිප තැනකම මතුවී තිබුණි. එහි එක් උදාහරණයක් මෙසේය.

.........................................................................................................................................

//මගේ දැනුමේ හැටියට.. භාසාවෙන්..අරුත් ගැන්වෙන විදිය කිව්වොත්.. 

- රනිල් වික්රමසිංහ මහත්මා, වත්මන් ශ්රී ලංකාවේ ජනපති ධූරය හොබවයි -කිව්වම ඔහු ජනාධිපති නිසා තමයි ඒ ධුරය හොබවන්නේ.. එහෙම නැතුව ඔහු ජනාධිපති නොවී.. ඒ පදවිය හොබවන බවක් ඒකෙන් කියැවෙන්නේ නෑ.. එහෙම කරන්නත් බෑ.. කරන්න පුළුවන් ක්රමයක් තිබේද ?

යම් ස්ත්රීයක් මව් පදවිය හොබවයි.. ඔව් ඇය මවක් නිසා තමයි මව් පදවිය හොබවන්නේ..

"අසවල් ස්වාමීන් වහන්සේ - නම නොදනිමි " වත්මන් ශ්රී ලංකාවේ මල්වතු මහානායක ධුරය හොබවයි.. උන් වහන්සේ ඒ ධුරය හොබවන්නේ, උන්වහන්සේ මල්වතු මහානායක නිසයි..

බුදුන් වහන්සේ බුද්ධත්වය හොබවයි.. ඔව් උන් වහන්සේ බුදුවෙලා නිසා බුද්ධත්වය හොබවනවා.. අපිට බෑ.. මොකද අපි බුදුවෙලා නෑ නේ.. බුදු නොවී බුද්ධත්වය හොබවන්න පුළුවං කෙනෙක්, එහෙමත් නැත්තං ඒ තනතුරේ වැඩ බාරගන්න සුදුසු ( බුදු නොවුණු කෙනෙක් ) සිටිය හැකිද ? අඩුම තරමේ බුදුන් වහන්සේවත් සිද්ධාර්ථ කාලයේ බුද්ධත්වය හොබවලා නෑ.. ඒකාලයේ උන්වහන්සේ හොබවා ඇත්තේ බෝධිසත්ව පදවියයි..

සංඝයා නොවී කොහොමද සංඝයා හොබවන්නේ ?//

.........................................................................................................................................

යමක් ලස්සන කිරීමට එයට අයත් විය යුතුම නැත. ඒ හා සම්බන්ධතාවයක් පැවතීම ප්‍රමාණවත් වේ. එයට උදාහරණයක් නම් සඳේ බැබලීමයි.

සඳ එළිය යනු සඳේ බැබලීම වන නමුත්, සඳට තමාගේම ආලෝකයක් නැත. සඳේ එළිය යනු සූර්යයාගේ එළිය වන අතර සඳ විසින් පරාවර්තනය පමණක් සිදු කරයි. 

එබැවින් යමක් බැබලවීමට, ලස්සන කිරීමට එයට අයත් වීම අත්‍යාවශ්‍ය නැත. ඒ සම්මුති උදාහරණයකි.

බුද්ධ දේශනාව අනුව මෙසේ විමසා බැලිය යුතුය.

‘‘පඤ්‌චහි, භික්‌ඛවෙ, ධම්‌මෙහි සමන්‌නාගතො ආවාසිකො භික්‌ඛු ආවාසං සොභෙති 

කතමෙහි පඤ්‌චහි? 

සීලවා හොති, පාතිමොක්‌ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්‌පන්‌නො අණුමත්‌තෙසු වජ්‌ජෙසු භයදස්‌සාවී, සමාදාය සික්‌ඛති සික්‌ඛාපදෙසු; 

බහුස්‌සුතො හොති සුතධරො සුතසන්‌නිචයො, යෙ තෙ ධම්‌මා ආදිකල්‍යාණා මජ්‌ඣෙකල්‍යාණා පරියොසානකල්‍යාණා සාත්‌ථං සබ්‍යඤ්‌ජනං කෙවලපරිපුණ්‌ණං පරිසුද්‌ධං බ්‍රහ්‌මචරියං අභිවදන්‌ති, තථාරූපාස්‌ස ධම්‌මා බහුස්‌සුතා හොන්‌ති ධාතා වචසා පරිචිතා මනසානුපෙක්‌ඛිතා දිට්‌ඨියා සුප්‌පටිවිද්‌ධා; 

කල්‍යාණවාචො හොති කල්‍යාණවාක්‌කරණො පොරියා වාචාය සමන්‌නාගතො විස්‌සට්‌ඨාය අනෙලගලාය අත්‌ථස්‌ස විඤ්‌ඤාපනියා 

පටිබලො හොති උපසඞ්‌කමන්‌තෙ ධම්‌මියා කථාය සන්‌දස්‌සෙතුං සමාදපෙතුං සමුත්‌තෙජෙතුං සම්‌පහංසෙතුං;

චතුන්‌නං ඣානානං ආභිචෙතසිකානං දිට්‌ඨධම්‌මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්‌ඡලාභී අකසිරලාභී. 

ඉමෙහි ඛො, භික්‌ඛවෙ, පඤ්‌චහි ධම්‌මෙහි සමන්‌නාගතො ආවාසිකො භික්‌ඛු ආවාසං සොභෙතී’’ති. (අංගුත්තර නිකාය, පඤ්චක නිපාත)”

ධර්ම පසකින් යුතු ආවාසික භික්ෂුව ආවාසය හොබවයි යනු එහි කෙටිම අර්ථයයි.

එහිලා ආවාසික භික්ෂුව සතුව, සීලය, බහුශෘත බව, කල්‍යාණ වචන භාවිතය, ධාර්මික කතාවෙහි හැකියාව, ධ්‍යාන ලාභී බව යන මේ අංග පැවතිය යුතුය.

එකී සූත්‍රය අනුව, ඉහත ගුණධාරී භික්ෂූන් වහන්සේ, ආවාසය හොබවන බව අර්ථ දැක්වේ. එනම් එකී භික්ෂුව ආවාසය ලස්සන කෙරේ.

භික්ෂූන් වහන්සේ යනු ආවාසය නොවේය. ආවාසයේ බිම, බිත්ති, වහල, ආවාසික භාණ්ඩ ආදිය ද නොවේය. වාසය කරනවා පමණි. එසේම කිසිදු පුද්ගලික අයිතිවාසිකමක් ද නැත. ආවාස ආදිය සාංඝික බැවිනි.

එසේ තිබියදී ආවාසය ලස්සන කරන්නේ තමාගේ ගුණයෙන් හා හැසිරීමෙන් මිසෙක, තමා ආවාසය වීමෙන් හෝ ආවාසය තමා අයත් වීමෙන් හෝ නොවේය.

එබැවින්ම ඉහත සේ // ජනාධිපති නිසා තමයි ඒ ධුරය හොබවන්නේ, මවක් නිසා තමයි මව් පදවිය හොබවන්නේ, බුදුන් වහන්සේ බුද්ධත්වය හොබවයි..// යන මේ තර්කය, සංඝයා හොබවයි නම් සංඝයා විය යුතුය යන තර්කයට අදාළ නොවේ.

ඉහත සූත්‍රය අනුව, ආවාසය නොවී ආවාසය හොබවිය හැකි නම්, සංඝයා නොවී සංඝයා හොබවිය හැක.

ඒ අනුව,

‘‘චත්‌තාරොමෙ, භික්‌ඛවෙ, වියත්‌තා විනීතා විසාරදා බහුස්‌සුතා ධම්‌මධරා ධම්‌මානුධම්‌මප්‌පටිපන්‌නා සඞ්‌ඝං සොභෙන්‌ති. කතමෙ චත්‌තාරො? 

භික්‌ඛු,-පෙ- භික්‌ඛුනී, -පෙ- උපාසකො,-පෙ- උපාසිකා, භික්‌ඛවෙ, වියත්‌තා විනීතා විසාරදා බහුස්‌සුතා ධම්‌මධරා ධම්‌මානුධම්‌මප්‌පටිපන්‌නා සඞ්‌ඝං සොභෙති.”

යන සූත්‍රය තුල සංඝයා හොබවයි යන්නෙහි “සංඝයාට අයත්” හෝ “සංඝයා වේ” යන අර්ථ කිසිවක් විද්‍යාමාන වන්නේ නැත.

විද්‍යාමාන වන අර්ථය නම් “සංඝයා ලස්සන කෙරේ” යන අර්ථයයි. ඒ කෙසේද යත්,

සංඝරත්නය ඇසුරු කරන්නාවූ, අනුව පිළිපදින්නා වූ යමෙක් වේද, ඔහු සීලවන්ත ගුණවන්ත වන කල්හි, සත්පුරුෂ වන කල්හි, එහි ගෞරවය හිමි වන්නේ සංඝරත්නයටයි. එමගින් සංඝයා වේ යන අර්ථ නොදෙන බව ඉඳුරාම දත යුතුය.

තෙරුවන් සරණයි...!!!

පෙර ලිපිය:-

පළමු ලිපිය




No comments:

Post a Comment