ලෝකයේ ආගම් 4000 පමණ ඇත. එයින් ප්‍රධාන වශයෙන් පවතින ආගම් කිහිපයක් පවතී. ඒ ප්‍රධාන වූ ද, ප්‍රධාන නොවූ ද සියලු ආගම් අතරින්, බුදු දහම සුවිශේෂී දර්ශනයක් වේ. එසේ වන්නේ බුදු දහම තුලින් පරමාර්ථ සත්‍යයම දේශනා කරන නිසාවෙනි.
එබැවින්ම,
//ඉධේව භික්ඛවෙ පඨමො සමණෝ, ඉධ දුතියෝ සමණෝ, ඉධ තතියෝ සමණෝ, ඉධ චතුත්ථෝ සමණෝ, සුඤ්ඤා පරප්පවාදා සමණේහි අඤ්ඤේ"
මහණෙනි, පළමු ශ්‍රමණයන් වහන්සේ මෙහිමය, දෙවන ශ්‍රමණයන් වහන්සේ මෙහිය, තෙවන ශ්‍රමණයන් වහන්සේ මෙහිය, සිව්වන ශ්‍රමණයන් වහන්සේ මෙහිය, පරප්‍රවාදයෝ ශ්‍රමණයන්ගෙන් ශුන්‍යය.//
යනුවෙන් තථාගතයාණන් වහන්සේ විසින්ම දේශනා කරන ලදි.
ඒ වූ බුදුරජාණන් වහන්සේ කෙබඳු ධර්මයක් දේශනා කල සේක් ද යන වග නුවණින් විමසා සිටීම කල යුතුමය. නොමැත්තේ නම් ධර්මය වරදවා ගැනීම හේතුවෙන් අකුසල් රැස් කරගෙන දුගති ගාමී වීමට හේතු යෙදෙන්නේ වෙයි. එබැවින් මෙසේ විමසා සිටිමු. නුවණින්ම විමසත්වා.
වරක් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ සම්මුඛ වූ භික්ෂූන් වහන්සේලා පිරිසක් හමුවේ, උන්වහන්සේ මෙසේ දේශනා කල සේක. කෙසේද යත්,
නා නා කුල, නා නා ගෝත්‍ර සහිත වූ පාණ්ඩිත්‍ය පුද්ගලයෝ පැමිණ තථාගතයන් වහන්සේගේ දේශනාව කුමක් දැයි විමසන කල, අප ශාස්තෘ වූ දසබලධාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ "ඡන්දරාගය දුරු කිරීම" දේශනා කරන බව පවසන ලෙසටයි.
එනම් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධය පිළිබඳව ඇති ඡන්දරාගය දුරු කල යුතු බවයි. කෙසේද යත්,
අප ශාස්තෘ වූ සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ, පාරමී පුරන සමයෙහි, සත්වයා කෙරෙහි පතලා වූ මහා කරුණාවෙන් යුතුව සසරට බැස, දාන, සීල, නෙක්ඛම්ම, ප්‍රඥා, වීර්යය, ක්ෂාන්ති, සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා යන පාරමිතාවෝ, පාරමී, උප පාරමී, පරමත්ථ පාරමී යන තුන් ආකාරයෙන් යුතුව, සමතිස් පාරමිතා සපුරා, අවබෝධ කරගත් ධර්මය, ලෝ වැසි සත්වයා කෙරෙහි දේශනා කරන කල, සත්වයා සසරෙහි වාසය කිරීමේ හේතුව දුරුවන සේ, මනාකොට ධර්මය දේශනා කල සේක.
ඒ භාග්‍යවතුන් වහන්සේ, සත්වයා සසරෙහි වාසය කිරීමේ ප්‍රධාන හේතුව නම්, පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇති ඡන්ද රාගය බව මොනවට පසක් කොට, එකී රාගය දුරු කරනු පිණිස මනාව මග පෙන්වූ සේක.
කෙසේද යත්,
රූපය කෙරෙහි දුරු නොකළ රාගය ඇත්තහුට, එනම්, රූපය දැක, එය ආශ්වාදය කිරීමේ ආසාව ඇත්තහුට, එකී රූපය වෙනස්වන කල, විකෘති වන කල, වයසට යන කල, දුර්වල වන කල, සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ඇතිවන්නේය. එපමණක් නොව,
වේදනා, සඤ්ඤා, සංඛාර කෙරෙහි අවිගත රාග ඇත්තහුට, ආශ්වාදය කිරීමේ කැමැත්ත ඇත්තහුට, එකී වේදනා, සඤ්ඤා, සංඛාර වෙනස් වන කල, විකෘති වන කල, විපරිණාම වන කල, සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ඇතිවන්නේය.
විඤ්ඤාණය නොහොත් සිත පිලිබඳ රාගය දුරු නොකලහුට, සිත වෙනස්වන කල, විකෘති වන කල, දුර්වල වන කල, සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ඇතිවන්නේය.
එකී ආදීනව මොනවට දැන, එකී ආදීනවයන්ගෙන් මිදෙනු වස්, රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ කෙරෙහි ඡන්ද රාගය දුරු කරනු පිණිස ධර්මය දේශනා කල සේක.
එපමණක් මතු නොව, රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ කෙරෙහි රාගය දුරුකළ තැනැත්තහුට, එකී රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ වෙනස් වන කල, විකෘති වන කල, දුර්වල වන කල, සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ඇතිනොවන බවද මනාව දන ඒ බව පෙන්වා දුන් සේක.
ඒ භාග්‍යවතුන් වහන්සේ, අකුසලයෙහි සමාදන්ව වාසය කිරීමෙන් දුකට පත්වන බව පෙන්වා දී, කුසලයෙහි සමාදන්ව වාසය කිරීමෙන් සුඛයට පැමිණෙන බව ද පෙන්වා දුන් සේක. එපමණක් ද නොව සියලු අකුසලයෙන් මිදී, සියලු කුසල් දියුණු කොට, නිවනට පැමිණිය යුතු බව ද සෘජුවම පෙන්වා දුන් සේක.
ඒ බව නොදත් ලාමක ජනයා අකුසලහිම සමාදන්ව දුගති ගාමී වීම, ඒ ඒ පුද්ගලයන්ගේ අභාග්‍ය සම්පන්න බවකි. එහිලා මග පෙන්වන කල, එය ලබා නොගන්නේ නම්, උපේක්ෂා සහගතව ස්වකීය නිවන් මාර්ගය දියුණු කිරීමට සුදීහු උත්සුක විය යුත්තාහුය.
එසේම ශාසන චිරස්ථිතිය කෙරෙහි ද මනස වෙහෙසීම නිවනටම මහෝපකාරී බව දැන කටයුතු කරන්නේ නම්, සුඛා පටිපදා ඛිප්පාභිඥ්ඥාවෙන් නිවන ශාක්ෂාත් කොට සුවයෙන් වාසය කිරීමට පහසුව සැලසෙනු ඇත.
ඒ පිළිබඳව සිත් යොමා කටයුතු කරත්වා...!!!
තෙරුවන් සරණයි...!!!
No comments:
Post a Comment