Sunday, August 4, 2024

භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය දිවි හිමියෙන් රකින්නෝ කවරහුද?

සම්බුද්ධ ශාසනය වනාහී සකල ලෝක වාසී සකල සත්ව වර්ගයා උදෙසාම ⁣විවර වූවකි. ශාසනික ලාභය ලැබීමට හේතු සම්පත්ති සහිත වූ ඕනෑම සත්වයකුට එහි අග්‍ර පල නෙලා ගැනීමට කිසිදු බාධාවක් නොමැත.

එනමුත් සියලු සත්වයෝ එකී ශාසනය ස්වකීය උරුමය කොට රකින්නෝ නොවෙති. එසේ රකින්නෝ සිටිත් නම් ශාසනය අතුරුදන් නොවනු ඇත.

එනමුත් "අත්ථි ලොකෙ දන්ධා බහූ නො පණ්ඩිතා" යැයි කී නයින් අඥානයෝ බහුල බැවින් කැනහිලුන්ගෙන් සිංහ තේජස් නොලැබෙන්නා සේ මෝඩයන්ගෙන් ශාසනය රැකීමක් කෙසේ ලබමුද?

කුමක් කෙසේ කවදා සිදු වූවත්, ශාසනාලයැති ශ්‍රද්ධාවන්ත සත්පුරුෂයන්ගේ ආධ්‍යාස මස්ථකප්‍රාප්ත කරමින් සුගත තථාගත සර්වඥ රාජොත්තමයාණන් වහන්සේ, ශාසන චිරස්ථිතිය පිනිස දිවි හිමියෙන් කැපවන්නෝ කවරහුදැයි පෙන්වා වදාළ සේක. එපමණක් නොව එහිලා විනය පැනවීමක්ද පනවා වදාළමින් අවශ්‍ය නීතිමය රැකවරණය ද සලසා දුන් සේක.

කවරෙක් නම් එසේ දිවි හිමියෙන් ශාසනය රකින්නේ ද යන්න මෙසේ දත යුතුය.

"සචෙ, භික්ඛවෙ, ජාතියා සාකියො අඤ්ඤතිත්ථියපුබ්බො ආගච්ඡති, සො ආගතො උපසම්පාදෙතබ්බො, න තස්ස පරිවාසො දාතබ්බො. ඉමාහං, භික්ඛවෙ, ඤාතීනං ආවෙණිකං පරිහාරං දම්මී." (මහාවග්ගපාළි, මහාඛන්ධකො, අඤ්ඤතිත්ථියපුබ්බකථා)

ඉදින් මහණෙනි ජාතියෙන් ශාක්‍ය වී අන්‍යතීර්ථක වූවකු බුද්ධ ශාසනයෙහි පැවිදි උපසම්දාව ලැබීමට පැමිණෙන්නේ වෙයි. ඒ පැමිණි ඔහු උපසම්පදා කල යුතුය. පරිවාසය නොදිය යුතුය. මහණෙනි මම ඤාතීන්ට (සාක්‍යයන්ට) මේ ආවේණික පරිහාරිය දෙමි.

භාග්‍යවතුන් වහන්සේ එසේ පැනවීමට හේතුව කුමක් ද යත්,

"ඉමාහං භික්ඛවෙ ඤාතීනං ආවෙණිකං පරිහාරං දම්මීති ඉමං අහං තෙසං පාටෙක්කං ඔදිස්සකං පරිහාරං දදාමි. කස්මා එවමාහ? තෙ හි තිත්ථායතනෙ පබ්බජිතාපි සාසනස්ස අවණ්ණකාමා න හොන්ති, අම්හාකං ඤාතිසෙට්ඨස්ස සාසනන්ති වණ්ණවාදිනොව හොන්ති, තස්මා එවමාහාති."

මහණෙනි මම ඤාතීන්ට (සාක්‍යයන්ට) මේ ආවේණික පරිහාරිය දෙමියි යනු මම ඔවුන්ට විශේෂයෙන් වෙන්කොට දෙනු ලබන පරිහාරියක් දෙමි. කවරක් හෙයින් මෙසේ පැවසී ද ? ඔවුන් තීර්ථක ආයතනයක පැවිදි වූ නමුත් ශාසනයෙහි නුගුණ කියනු කැමැත්තෝ නොවෙත්. අපගේ ඤාති ශ්‍රේෂ්ඨයාගේ ශාසනය යැයි වර්ණනා කරන්නෝම වෙති. එසේ හෙයින් මෙසේ පවසන ලදි.

මෙසේ පනවා වදාළ පරිදි ජාතියෙන් ශාක්‍ය වූ භාග්‍යවතුන් වහන්සේගේ ලේ ඤාතීත්වය ඇත්තෝ ස්වකීය ඤාතීත්වය කරණකොට ගෙන ශාසනය රකින්නෝ වෙති. 

එබැවින් දිවි හිමියෙන් ශාසනය රැකීමක් යම් සේ යමෙකුගෙන් බලාපොරොත්තු වන්නේ ද, එසේ ශාසනය රකින්නෝ සාක්‍ය වංශිකයෝ හැර අන් කවරහුද?




No comments:

Post a Comment