Sunday, August 4, 2024

භද්‍රක සූත්‍රය හා අධර්ම විවරණ

භද්‍රක සූත්‍රය යනු දුක හටගන්නේ අනිත්‍යතාවය නිසා නොවේය යනුවෙන් පවසන පුද්ගලයින් උදාහරණයට ගන්නා ප්‍රසිද්ධ සූත්‍රයකි. එකී සූත්‍රය තුල දුකට හේතුව ලෙස දක්වා ඇති අර්ථකථනය භාවිතා කොට ස්වකීය මතය සාධනය කරගැනීමට එම පිරිස කටයුතු සිදු කරයි. එනමුත් සූත්‍රය පරිදිම ඔවුන්ගේ මතය ගැන ඇති ඡන්ද රාගය නිසාවෙන් ඔවූහූ දුකට පත් වී ඇත.

පළමුකොටම භද්‍රකසූත්‍රය තුල භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන කාරණාව වටහාගෙන සිටිය යුතුය. නොමැත්තේ නම් අමාර්ග පිළිපන් වීමට ඇති අවකාශය නතර කල නොහැක.

භද්‍රක සූත්‍රය තුල භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරණ සේක.

“අපිචාහං ගාමණි ඉධෙව නිසින‍්නො එත්‍ථෙ ව තෙ නිසින‍්නස‍්ස දුක‍්ඛස‍්ස සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච දෙසිස‍්සාමි. තං සුණොහි, සාධුකං මනසි කරොහි, භාසිස‍්සාමීති.”

“එනමුදු ගාමිණී, මම මෙහි ම හිඳිමින් මෙහි ම හුන් තොපට දුකෙහි හට ගැනීමත් අත්ථංගමයත් දෙසන්නෙමි. එය අසවු. මැනවින් මෙනෙහි කරවු. දේශනා කරන්නෙමි.”

එයින්ම පැහැදිලිවන්නේ භද්‍රක ගාමිණී හට දුක්ඛ සමුදය හා නිරෝධය දේශනා කරන බවයි. එනම් දුක්ඛ සමුදය ආර්ය සත්‍යය හා දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය දේශනා කරන බවයි.

ඒ අනුව දුක්ඛ සමුදය ලෙස දේශනා කරන්නා වූ ඡන්දරාගය යනු දුක්ඛ සමුදය ආර්ය සත්‍යය හෙවත් තෘෂ්ණාවයි.

ඒ බව මෙසේ දත යුතුය.

“ඉමිනා ත්‍වං ගාමණි ධම‍්මෙන දිට‍්ඨෙන විදිතෙන අකාලිකෙන පත‍්තෙන පරියොගාළ‍්හෙන අතීතානාගතෙ නයං නෙහි, යං ඛො කිඤ‍්චි අතීතමද‍්ධානං දුක‍්ඛං උප‍්පජ‍්ජමානං උප‍්පජ‍්ජති, සබ‍්බන‍්තං ඡන්‍දමූලකං ඡන්‍දනිදානං. ඡන්‍දො හි මූලං දුක‍්ඛස‍්ස. යං හි කිඤ‍්චි අනාගතමද‍්ධානං දුක‍්ඛං උප‍්පජ‍්ජමානං උප‍්පජ‍්ජිස‍්සති, සබ‍්බන‍්තං ඡන්‍දමූලකං ඡන්‍දනිදානං. ඡන්‍දො හි මූලං දුක‍්ඛස‍්සාති.”

එනම්,

“ගාමිණී, දකින ලද, වටහා ගත්, අකාලික වූ, පැමිණි, බැසගත්, මේ දහමෙන් තොප අතීතානාගත දෙකෙහි න්‍යාය පමුණුවවු. අතීතයෙහි යම් කිසි උපදින්නාවූ දුකක් උපදී ද, ඒ සියල්ල ආසාව මුල් කොට ඇත්තේ ය. ආසාව නිදාන කොට ඇත්තේ ය. දුකට ආසාව ම මූලය යි. අනාගතයෙහි යම් කිසි උපදින්නාවූ දුකක් උපදින්නේ ද ඒ සියල්ල ආසාව මුල් කොට ඇත්තේ ය. ආසාව නිදාන කොට ඇත්තේ ය. දුකට ආසාව ම මූලය යි.”

ඒ අනුව අතීත අනාගත මෙන්ම වර්තමානයේ හටගන්නා වූ ද සියලු දුක්ඛයන්ගේ මූලය හෙවත් සමුදය යනු ඡන්දරාගය හෙවත් තණ්හාවයි.

එසේ නම් මෙකී සුත්‍රය තුල “යමක් අනිත්‍ය නම් එය දුකකි” යන බුදු වදන ප්‍රතික්ෂේප කෙරේද?

කිසිසේත් නැත.

“දුක්ඛ සමුදය ආර්ය සත්‍යය” හා “අනිත්‍ය නිසා දුකයි” යනු වෙනම කතා දෙකකි. එකී කතා දෙක පටලවාගෙන, බාගෙට අර්ථ විමසන ලද නිසාවෙන් “අනිත්‍ය නිසා දුක හට නොගනී. කැමැත්තෙන් බැඳුන නිසා දුක හටගනී” යන දෘෂ්ඨියට වැටේ.

යමක් අනිත්‍ය වීම නිසා දුක හටගැනීමත්, දුක්ඛ සමුදයත් යනු වෙන වෙනම වටහාගත යුතු කාරනා දෙකකි. ඒ බව මෙසේ දත යුතුය.

දුක්ඛ සමුදය යනු සංසාරික වශයෙන් දුක නැවත නැවත හටගැනීමේ හේතුව දේශනා කිරීමයි. 

"යමක් අනිත්‍යයි නම් එය දුකයි" යනු විපරිනාම අඤ්ඤතාභාවය හේතුවෙන් පීඩාවට පත් වීමයි. පෙලීමයි. විඳවීමයි. දුක් වීමයි. දුක් විඳීමයි.

එනම් දුක්ඛ සමුදය හේතුවෙන් භවයෙන් භවයට යන දුක්ඛස්කන්ධය, එක් භවයක ප්‍රතිසන්ධියේ පටන් චුතිය දක්වා ජරා මරණාදී පීඩාවන්ට පත් වීමක් සිදු වේ ද, එය අනිත්‍යතාවය නිසාම සිදු වන්නකි.

ප්‍රිය වස්තු නිසා දුක හටගන්නේ ද එකී ප්‍රිය වූ වස්තු අනිත්‍ය නිසාවෙනි. ප්‍රිය වූ යමක් වේ ද, එය අනිත්‍ය නොවේ නම් කෙසේ නම් දුක හටගනීද? අනිත්‍ය නිසාම ප්‍රිය වස්තු කරණ කොට දුක හට ගනී.

එකී අනිත්‍ය වූ වස්තු කෙරෙහි උපාදාන ගොඩනගා ගෙන ඒ හේතුවෙන් සංස්කාර රැස් කරගන්නේ ද, අනිත්‍යතාවය හමුවේ අකම්පිත නොවන හෙයිනි. 

එබැවින් තෘෂ්ණාව හෙවත් දුක්ඛ සමුදය හේතුවෙන් දුක නැවත නැවත හටගන්නේ ද අනිත්‍යතාවය මූලික කරගනෙමය.

උපාදානය හෙවත් ඡන්ද රාගය ද වෙනස් නොවේ නම් තල තිස් එකක් තුල වෙනස් උප්පත්තීන් නොලැබී ඒකාකාරවම පවතින්නේ වෙයි.

එබැවින් තෘෂ්ණාව ද අනිත්‍ය නිසාවෙන් දුක්ඛස්කන්ධය ද වෙනස් වීම පහල වෙයි.

එබැවින් දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පවතින්නේ ද අනිත්‍යතාවය පදනම් කරගෙන බව දත යුතුය.




No comments:

Post a Comment