සර්වඥ බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් යුතුව තමන් වහන්සේ අවබෝධ කල ධර්මයෙන් ඉතා ස්වල්ප කොටසක් නිවන පිණිස දේශනා කල සේක. නිවනට උපකාර නොවන ඇති බහුතරය දේශනා නොකළ සේක.
ඒ බුදුරජාණන්වහන්සේ දුක්ඛය, සමුදය, නිරෝධය, මාර්ගය යන ක්‍රම හතර මූලික කරගෙන ධර්ම විනය, දේශනා කර, පනවා වදාළ සේක. ඒ ඔස්සේ සිතා විමසා දුකින් එතෙර වන ලෙස මග පෙන්වූ සේක. සසරට මග නොපෙන්වූ සේක.
බුදුරජාණන්වහන්සේ විසින් තමන් වහන්සේගේ සරණ ගිය ශ්‍රාවකයන්ට කටයුතු කල යුතු අකාරය විවිධ තැන්වල විවිධ ආකාරයෙන් පෙන්වා ඇත. එහි ප්‍රධාන අනුශාසනාව නම්,
//සො ‘ඉදං දුක්‌ඛ’න්‌ති යොනිසො මනසි කරොති, ‘අයං දුක්‌ඛසමුදයො’ති යොනිසො මනසි කරොති, ‘අයං දුක්‌ඛනිරොධො’ති යොනිසො මනසි කරොති, ‘අයං දුක්‌ඛනිරොධගාමිනී පටිපදා’ති යොනිසො මනසි කරොති. තස්‌ස එවං යොනිසො මනසිකරොතො තීණි සංයොජනානි පහීයන්‌ති – සක්‌කායදිට්‌ඨි, විචිකිච්‌ඡා, සීලබ්‌බතපරාමාසො. ඉමෙ වුච්‌චන්‌ති, භික්‌ඛවෙ, ආසවා දස්‌සනා පහාතබ්‌බා.//
යන ආකාරයට සබ්බාසව සූත්‍රය තුල දේශනා කල පරිදි චතුරාර්ය සත්‍ය අනුව මෙනෙහි කිරීමයි.
එසේ දේශනා කර තිබියදී යම් යම් පුද්ගලයින් හා යම් යම් පිරිස් විසින් ධර්මය පිළිබඳව තමාට හිතෙන දේ පවසනු දක්නට ලැබේ. සැබැවින්ම එය නිසි පරිදි තෙරුවන් සරණ නොගිය පුද්ගලයන්ගේ ස්වභාවයකි. නිසි පරිදි සරණ ගියේ නම්,
//සත්‌ථා මෙ, භන්‌තෙ, භගවා, සාවකොහමස්‌මි// යනාදී වශයෙන් ශාස්තෘන් වහන්සේම ගරුකොට කටයුතු කරන සේක.
එසේම,
//භගවංමූලකා නො, භන්‌තෙ, ධම්‌මා, භගවංනෙත්‌තිකා, භගවංපටිසරණා. සාධු වත, භන්‌තෙ, භගවන්‌තඤ්‌ඤෙව පටිභාතු එතස්‌ස භාසිතස්‌ස අත්‌ථො; භගවතො සුත්‌වා භික්‌ඛූ ධාරෙස්‌සන්‌තී’’ති//
යනාදී ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේ පිහිට පිළිසරණ කොට කටයුතු කරන්නේය.
එබැවින් බුද්ධ දේශනාව පිලිබඳ යම් ගැටලුවක් ඇති අවස්ථාවක දී, එකී ගැටලුව පිලිබඳ අර්ථ විමසිය යුත්තේ බුදුරජාණන්වහන්සේ මූලික කොට ගෙන මිසෙක කුමන හෝ ආකාරයක පුද්ගලයෙක් හෝ පුද්ගල පිරිසක් දරන මතය අනුව නොවේය.
එවැනි තැන්වල දී කටයුතු කල යුතු ආකාරය සතර මහාපදේස තුලදේ බුදුරජාණන්වහන්සේ මනාව පෙන්වා වදාළ සේක. ඒ සතර මහා පදේස පහත සේ දත යුතුය.
//ඉධ, භික්‌ඛවෙ, භික්‌ඛු එවං වදෙය්‍ය – ‘සම්‌මුඛා මෙතං, ආවුසො, භගවතො සුතං සම්‌මුඛා පටිග්‌ගහිතං – අයං ධම්‌මො, අයං විනයො, ඉදං සත්‌ථුසාසන’න්‌ති -පෙ-
ඉධ පන, භික්‌ඛවෙ, භික්‌ඛු එවං වදෙය්‍ය – ‘අසුකස්‌මිං නාම ආවාසෙ සඞ්‌ඝො විහරති සථෙරො සපාමොක්‌ඛො. තස්‌ස මෙ සඞ්‌ඝස්‌ස සම්‌මුඛා සුතං සම්‌මුඛා පටිග්‌ගහිතං – අයං ධම්‌මො, අයං විනයො, ඉදං සත්‌ථුසාසන’න්‌ති -පෙ-
ඉධ පන, භික්‌ඛවෙ, භික්‌ඛු එවං වදෙය්‍ය – ‘අසුකස්‌මිං නාම ආවාසෙ සම්‌බහුලා ථෙරා භික්‌ඛූ විහරන්‌ති බහුස්‌සුතා ආගතාගමා ධම්‌මධරා විනයධරා මාතිකාධරා. තෙසං මෙ ථෙරානං සම්‌මුඛා සුතං සම්‌මුඛා පටිග්‌ගහිතං – අයං ධම්‌මො, අයං විනයො, ඉදං සත්‌ථුසාසන’න්‌ති. -පෙ-
ඉධ පන, භික්‌ඛවෙ, භික්‌ඛු එවං වදෙය්‍ය – ‘අසුකස්‌මිං නාම ආවාසෙ එකො ථෙරො භික්‌ඛු විහරති බහුස්‌සුතො ආගතාගමො ධම්‌මධරො විනයධරො මාතිකාධරො. තස්‌ස මෙ ථෙරස්‌ස සම්‌මුඛා සුතං සම්‌මුඛා පටිග්‌ගහිතං – අයං ධම්‌මො, අයං විනයො, ඉදං සත්‌ථුසාසන’න්‌ති//
බුදුරජාණන්වහන්සේගෙන් අසාගත්තේ යැයි කීවද, සංඝයාගෙන් අසාගත්තේ යැයි කීවද, බොහෝ තෙරුන්ගෙන් අසා ගත්තේ යැයි කීවද, එක් තෙරුන් වහන්සේ නමකගෙන් අසා ගත්තේ යැයි කීවද, ඒ ධර්ම විනය සම්බන්ධ කාරණාව පිළිබඳව සතුටු ද නොවී, ප්‍රතික්ෂේප ද නොකර, එකී කාරණා මැනවින් හදාරා, සූත්‍රයෙහි බහා බැලිය යුතුය. විනය හා සංසන්දනය කල යුතුය.
එබැවින්
//සංසාරය අනන්තය, ඒ නිසා බුදුරජාණන්වහන්සේ සියල්ල දන්නේ නැත. අවශ්‍ය නම් විමසා දැනගන්නේය// ආදී වශයෙන් හෝ
// අනන්තයක් රහිත යැයි මුලින්ම පහල වූ නාමරූප ධර්ම ඇතැයි ගතහොත්,
ප්රත්ය බැහැර කරමින් අහේතුකවාදී වීමට සිදුවේ.
කර්මය බැහැර කරමින් අකිරියාවාදි වීමට සිදුවේ.
ඔහුට චතුරාර්ය සත්ය ප්රතික්ෂේප කිරීමට සිදුවේ.
ඔහුට පටිච්චසමුප්පාද දේශනාවම ප්රතික්ෂේප කිරීමට සිදුවේ.
ඔහුට අනන්තර ප්රත්ය ඇතුලත් පට්ඨාන දේශනාව ද ප්රතික්ෂේප කිරීමට සිදුවේ.//
යනාදී වශයෙන් හෝ මතයක් ආ කල්හි, පළමුව එකී මත විමසා දරා ගෙන, සූත්‍රයෙහි බහා විනයෙහි සසඳා අර්ථ විමසිය යුතුය.
ඉදින් ධර්ම විනය හා සැසඳේ නම් පිළිගත යුතය. නොමැත්තේ නම් ප්‍රතික්ෂේප කල යුතුය.
එහිදී සුත්‌තං, සුත්‌තානුලොමං, ආචරියවාදො, අත්‌තනොමති යන මේ සතර දත යුතුය.
එහි,
1. සුත්‌තං නාම තිස්‌සො සඞ්‌ගීතියො ආරුළ්‌හානි තීණි පිටකානි.
සූත්‍රය යනු සංගායනාවට නැංවූ ත්‍රිපිටකයයි.
2. සුත්‌තානුලොමං නාම මහාපදෙසා, යං ‘‘අනුලොමකප්‌පිය’’න්‌ති වුච්‌චති.
සුත්තානුලෝමය නම් “අනුලෝම දේ කැප වන්නේය” යනාදී සතර මහා පදේසයයි.
3. ආචරියවාදො නාම අට්‌ඨකථා.
ආචරිය වාදය නම් අට්ඨකථාවයි.
4. අත්‌තනොමති නාම නයග්‌ගාහෙන අනුබුද්‌ධියා අත්‌තනො පටිභානං.
අත්තනෝමතය නම් න්‍යාය අනුව ගත් තමාගේ වැටහීමයි.
එහි සූත්‍රය බැහැර කල නොහැකිය. එය බැහැර කිරීමෙන් ශාස්තෘන් වහන්සේම බැහැර කළා වේ. අනුලෝම කප්පිය සූත්‍රය සමග ගැලපෙන දේම ගත යුතුය. අනෙක නොගත යුතුය. අචාර්ය වාදය සූත්‍රය සමග ගැලපෙන දේම ගත යුතුය. අනෙක නොගත යුතුය. අත්තනෝමතය ද එසේය. එය සියල්ලට වඩා දුර්වලය.
ඉදින් සාකච්චාවක් පවතින්නේ නම්, පෙල සමග ගලපා තීරණ ගත යුතුය. අත්තනෝමතය අනුව නොගත යුතුය. සාකච්චා කල යුත්තේ එසේය.
ඉදින් අත්තනෝමතයෙන් තර්ක කරන්නේ නම්, එයට පෙල අටුවා සාධක පෙන්වා සිටිය යුතුය. නොමැත්තේ නම් එය පාණ්ඩිත්‍ය සාකච්චාවක් නොවන්නේය. පාණ්ඩිත්‍ය නොවන සාකච්චා කුමටද? එය හිස් වූවක් මය.
No comments:
Post a Comment