ලෝකය හටගන්නේය. බිඳෙන්නේය. ඒ හටගැනීම, බිඳීම අතරෙහි බොහෝ දේ සිදුවන්නේය. ඒ සිදුවන බොහෝ දේ අතරින් ලොව සිදුවන ආශ්චර්යමත්ම සිදුවීමක් ඇත. ඒ සිදුවීම නම්, ලොවුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහල වීමයි.
අවමයෙන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ද, උපරිමයෙන් සෝළසාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ද වශයෙන්, දාන, සීල, නෙක්ඛම්ම, ප්‍රඥා, වීර්යය, ක්ෂාන්තිය, සත්‍යය, අධිෂ්ඨානය, මෛත්‍රිය, උපේක්ෂාව යන පාරමිතාවෝ, පාරමී, උප පාරමී, පරමත්ථ පාරමී වශයෙන් තිස් ආකාරයකින් සපුරා, ප්‍රඥාවෙන් පරතෙරට පැමිණ, ලොව ඇති සියල්ල පිලිබඳ දැනගත හැකි, දැනගත යුතු, සියල්ල දැක, දැන, මතු උපත නවතා, නවතන මග පෙන්වා දී ඒ මහා භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාරන සේක.
ඒ ආකාරයෙන්ම යමින්, සිද්ධාර්ථ මහා බෝසතාණන් වහන්සේ, මෙයින් වසර 2600 පමණ පෙරාතුව ලොව පහල වී, සත් වගට අමා දම් බෙදා දී, පිරිනිවන් පා වදාළ සේක.
එනමුත්, ඒ උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කල උතුම් ශ්‍රී සද්ධර්මය ලොව නිර්මලව ඉතිරිව ඇත. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික වූ ද, පාරිභෝගික වූ ද, ධාතුන් වහන්සේලා ද ලොව ශේෂව ඇත. එපමණක් ද නොව, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක මහෝත්තම මහා රහතන් වහන්සේලාගේ ද ධාතුන් වහන්සේලා ශේෂව ඇත.
ඒ උතුම් ත්‍රිවිධ රත්නයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා...!!!
මාගේ ජීවිතයම ගෞතම සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කරමි. පූජාම වේවා...!!!
එසේ සරණ යමින් සිටිනා අතරෙහි, ශාසන විලෝපිකයන්ගේ හැසිරීම දකින මා හට මෙසේ සිත් පහල විය. කෙසේද යත්,
බුද්ධ වචනය සත්‍යයක්මය. පරම සත්‍යයක්මය. අසත්‍ය නොවන්නේමය. ඇති ආකාරයෙන්ම දේශනා කර ඇත්තේය. දේශනා කල අකාරයෙන්ම පවතින්නේය. අන්‍ය ආකාරයකින් නොවන්නේමය.
කුමක් නිසා එසේ සිතුනිද යත්,
බුද්ධ වචනය අනුව, මිත්යාදෘෂ්ඨිකයා යනු ලොවට අනර්ථයක්ම සිදු කරන්නෙකි. අවැඩක්ම සිදු කරන්නෙකි. අයහපතක්ම සිදු කරන්නෙකි.
එබඳු මිත්‍යාදෘෂ්ඨිකයෝ ලෝක සත්වයා ආලෝකයෙන් අඳුරට ද, අඳුරෙන් අඳුරටම ද යවන්නේය.
එබැවින් එබඳු පුද්ගලයකු ලොව පහල වීම ලෝකයටම අයහපතකි.
එය කෙසේ සිදු වන්නේ ද යන්න වර්තමාන ලාංකික ජනසමාජය දෙස බැලීමෙන් වටහා ගත හැක.
වර්තමාන ලංකාවේ නිරාගමික නාමයෙන් පෙනී සිටින මිත්‍යාදෘෂ්ඨික පිරිස විසින්, බුදු දහම මූලික කොට ගෙන සිදුකරගෙන යනු ලබන නිග්‍රහ රැල්ල නිසාවෙන් බොහෝ පිරිසකගේ ශ්‍රද්ධා දී කුසල් සිතුවිලි විනාශ වී ගොස් තිබේ. එපමණක් ද නොව, යහපත අයහපත වටහා ගැනීමේ හැකියාව අහිමිව ඇත. වැඩිහිටියන්ට ගරු සැලකිලි දැක්වීම ආදිය විනාශ වී ඇත. ඉවසීම, දරාගැනීම අහිමිව ඇත. ආවේගශීලී බව, කලහකාරී බව වර්ධනය වී ඇත. පහරදීම, මරා දැමීම සාමාන්‍යකරණයට ලක් ව ඇත.
එබඳු මානව ධර්මතා පිරිහුනු සමාජයක පැවැත්ම සුන්දර නැත. එකී සමාජය තුල නිරන්තරයෙන් ගොඩ නැගෙන්නේ බිය, සැක, පලිගැනීම, සොරකම, වංචාව යනාදියයි. එමගින් සමාජය තව තවත් අගාධයටම ගමන් කරන්නේය.
එබඳු සමාජයකින් උසස් කිසිවක් බලාපොරොත්තු විය නොහැක. ඒ බව බුදුරජාණන්වහන්සේ මෙසේ දේශනා කල සේක.
එකපුග්‌ගලො, භික්‌ඛවෙ, ලොකෙ උප්‌පජ්‌ජමානො උප්‌පජ්‌ජති බහුජනඅහිතාය බහුජනඅසුඛාය, බහුනො ජනස්‌ස අනත්‌ථාය අහිතාය දුක්‌ඛාය දෙවමනුස්‌සානං. කතමො එකපුග්‌ගලො?
මිච්‌ඡාදිට්‌ඨිකො හොති විපරීතදස්‌සනො.
සො බහුජනං සද්‌ධම්‌මා වුට්‌ඨාපෙත්‌වා අසද්‌ධම්‌මෙ පතිට්‌ඨාපෙති.
අයං ඛො, භික්‌ඛවෙ, එකපුග්‌ගලො ලොකෙ උප්‌පජ්‌ජමානො උප්‌පජ්‌ජති බහුජනඅහිතාය බහුජනඅසුඛාය, බහුනො ජනස්‌ස අනත්‌ථාය අහිතාය දුක්‌ඛාය දෙවමනුස්‌සාන’’න්‌ති. (අ.නි, ඒකක නිපාත, එකධම්ම පාලි)
මහණෙනි, ලෝකයෙහි උපදනාවූ එක් පුද්ගලයෙක් බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ ජනයාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස උපදී. කවර නම් එකම පුද්ගලයෙක්ද?
විපරීත දර්ශන ඇති මිථ්‍යාදෘෂ්ටික තැනැත්තේය.
හෙතෙම මහාජනයා දශ කුශලකර්මපථ නම් සද්ධර්මයෙන් උදුරා දශ අකුශලකර්මපථ නම් අසද්ධර්මයෙහි පිහිටුවයි.
මහණෙනි, මේ එක් පුද්ගලයා ලොව උපදින කල බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස උපදී.
වර්තමාන සමාජය දෙස බැලීමෙන් ඉහත සූත්‍ර දේශනාව නියතවම සත්‍ය බව පැහැදිලි වන්නේය.
ඉදින් නිරාගමික යැයි පවසන මිත්‍යාදෘෂ්ඨිකයන්ගේ හැසිරීම හේතුවෙන්, බුද්ධ වචනයේ සත්‍යතාවය දැකිය හැකි මුත්, ඔවුන් නිසා හානි වන සමාජය යහපතට යොමු වීම පිලිබඳ පවතින ගැටලුව කෙසේ විසඳිය යුතුද යන්න ගැටලුවකි.
එකී ගැටලුව පිළිබඳව කලාන්තරක් තිස්සේ පෙන්වා දී ඇති මුත්, රට වැසියාගේ පුණ්‍ය ශක්තියේ මද බව හේතුවෙන්, අවශ්‍ය ධර්ම කාරනා සමාජ ගත වන්නේ නැත.
කුමක් නමුත්, එකී පරිහානියෙන් මිදීමට ඇති එකම විකල්පය නම්, සිව්වනක් පිරිස සීල, සමාධි, ප්‍රඥා දියුණු කිරීමයි. එය සිදු නොකර කුමන පින්කම් කලත් පලක් නොවනු ඇත.
එබැවින් නොපමාව සීල, සමාධි, ප්‍රඥා දියුණු කරන්න. ප්‍රතිපත්තිය වඩන්න.
එසේම ශාසනයට නින්දා අපහාස සිදු කරන මිත්‍යාදෘෂ්ඨිකයන්ට මෙසේ පැවසිය යුතුය. කෙසේද යත්,
කුමක්, කෙසේ, කුමන ආකාරයකින් පවසමින් නින්දා කල ද, සත් තිස් බෝධිපාක්ෂික ධර්ම පිලිබඳ කිසිදු විවේචනයක් සිදු කිරීමට කිසිදු පුද්ගලයකුට නොහැකිය. ශාසනයට පහර ගසන්නෝ ඒ තරමට මුග්ධයෝය.
ඒ බව ද පහත පරිදි දත යුතුය.
ඉධෙව, භික්‌ඛවෙ, පඨමො සමණො, ඉධ දුතියො සමණො, ඉධ තතියො සමණො, ඉධ චතුත්‌ථො සමණො; සුඤ්‌ඤා පරප්‌පවාදා සමණෙහි අඤ්‌ඤෙහී’ති. එවමෙතං, භික්‌ඛවෙ, සම්‌මා සීහනාදං නදථ. (අ.නි, චතුක්ක නිපාත, කම්ම වර්ගය, ශ්‍රමණ සූත්‍රය)
“මහණෙනි, ශ්‍රමණයාත් මේ ශාසනයෙහිය, දෙවෙනි ශ්‍රමණයාත් මේ ශාසනයෙහිය, තුන්වැනි ශ්‍රමණයාත් මේ ශාසනයෙහිය, සතරවෙනි ශ්‍රමණයාත් මේ ශාසනයෙහිය, අන් දෙසැට දෘෂ්ටීහු ශ්‍රමණයන්ගෙන් ශූන්‍යය. මහණෙනි, මෙසේ මේ සිංහ නාදය කරව්.
ඒ අනුව සම්බුද්ධ ශාසනය ශ්‍රමනයන්ගේය. භාහිර දෘෂ්ඨීහු ශ්‍රමණයන්ගෙන් හිස්ය.
හැකි අයකු සිටී නම් අභියෝග කල හැකිය.
No comments:
Post a Comment