Sunday, August 4, 2024

මහේශාක්‍ය බව ලැබීමේ කුසලය

ලෝකයෙහි ඇතැම් බ්‍රහ්ම රාජයන් ද, ඇතැම් දෙවිවරු ද, ඇතැම් මනුෂ්‍යයන් ද, ඇතැම් දුගති සත්වයන් ද, සෙසු සත්වයන්ට වඩා තේජසින්, බලයෙන්, කීර්තියෙන් වැඩි වන්නේ වෙයි. එබඳු ස්වභාවයන් ඇතිවන්නේ කුසල විපාක හේතුවෙනි. 

බලහත්කාරයෙන් ලබා ගන්නා ගෞරවයන් රඳා පවතින්නේ නැත. ඒවා වහ වහා පරිහාණියට පැමිණේ.

මහා බෝසතාණන් වහන්සේගේ මහේශාක්‍ය භාවය වනාහී ධාර්මිකවම උපන් මහේශාක්‍ය බවකි. එබැවින් එය වනාහී සෙසු සත්වයින්ගේ මහේශාක්‍ය භාවය පරදා බැබළෙන්නේ වෙයි.

ඉදින් යමෙකු මහේශාක්‍ය බවට කැමති වන්නේ නම්, අනුන්ගේ ලාභය, සත්කාරය, ගෞරව ලැබීම, බුහුමන් ලැබීම, වැඳීම, පිදීම වැනි ලාභයන් හමුවේ  ඊෂ්‍යා නොකල යුතුය. සාප නොකළ යුතුය. ඔවුන්ගේ විනාශය නොපැතිය යුතුය. 

යමෙකු සැප විඳින්නේ නම්, එය දැකබලා සතුටු විය යුතුය. ඔවුන්ට සෙත් පැතිය යුතුය. ආශිර්වාද කල යුතුය. මුදිතාව වැඩිය යුතුය.

එකල්හි තමාට ද උසස් භාවයට පැමිණිය හැකිය. 

ඉධ පන, මාණව, එකච්චො ඉත්ථී වා පුරිසො වා අනිස්සාමනකො හොති; පරලාභසක්කාරගරුකාරමානනවන්දනපූජනාසු න ඉස්සති න උපදුස්සති න ඉස්සං බන්ධති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති මහෙසක්ඛො හොති. මහෙසක්ඛසංවත්තනිකා එසා, මාණව , පටිපදා යදිදං - අනිස්සාමනකො හොති; පරලාභසක්කාරගරුකාරමානනවන්දනපූජනාසු න ඉස්සති න උපදුස්සති න ඉස්සං බන්ධති.

මානවකය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ඊෂ්‍යා සහගත සිත් ඇත්තේ නොවේද, අනුන්ගේ ලාභය, සත්කාරය, ගෞරව කිරීමය, බුහුමන් කිරීමය, වැඳීමය, පිදීමය යන මොවුන් කෙරෙහි ඊෂ්‍යා නොකෙරේද, ඊෂ්‍යාවෙන් නොකිපේද, ඊෂ්‍යාව නොබැඳ ගනීද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ, මෙසේ සමාදන්වූ, ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම් යම් යම් තැනක පසුව උපදීද, මහෙශාක්‍ය වේ. (බොහෝ පිරිවර ඇත්තේ) වේ. මානවකය, ඊෂ්‍යා සහගත සිත් ඇත්තේ නොවෙයි නම්, අනුන්ගේ ලාභය, සත්කාරය, ගරු කිරීමය, බුහුමන් කිරීමය, වැඳීමය, පිදීමය යන මොවුන් කෙරෙහි ඊෂ්‍යා නොකෙරේ නම්, ඊෂ්‍යාවෙන් නොකිපේ නම්, ඊෂ්‍යාව නොබැඳ ගනියි නම් මේ පැවැත්ම මහෙශාක්‍ය වීම පිණිස පවත්නේය.




No comments:

Post a Comment