Sunday, August 4, 2024

දුක්ඛ ආර්ය සත්‍යයෙහි නොපෙනෙන යතාර්ථය

ලෝක සත්වයා දුකින් වෙලී සිටින නමුදු එය නොදැකීම නිසාවෙන්ම, නැවත නැවත ද දුකට පැමිණෙයි. 

එසේම ඔහු කෙරෙහි ඇති අවිද්‍යාව කෙතරම් ද යත්, දුක පෙන්වා දෙන කල්හි ද, එය පිළිගැනීමට කැමති නොවෙයි.

නමුත් සැනසීම අවශ්‍ය නම් දුක වටහාගෙන සිටිය යුතුය.

දුක වටහා ගැනීම යන කාරණාවේදී, වර්තමාන සමාජයේ අති බහුතරයක් දෙනා, දුක යැයි සිතා සිටින්නේ දුක්ඛ වේදනාවටය. එබැවින්ම දුක්ඛ ආර්ය සත්‍යය නිසි පරිදි වටහා ගැනීමට ඔවුනට නොහැකි වේ.

දුක්ඛය ආකාර බොහොමයකි. ප්‍රධාන වශයෙන් පර්යාය හා නිෂ්පර්යාය වශයෙන් ආකාර දෙකකි. එනම් සෘජුවම දුක් වන්නා වූ සහ සෘජුව දුක් නොවන්නා වූ, වක්‍රාකාරයෙන් දුක් වන්නා වූ ධර්මයන්ය.

දුක්ඛ වේදනාව සෘජුව දුකකි. නමුත් සුඛ වේදනාව සෘජුව දුකක් නොවේ. එනමුත් සුඛ වේදනාව වක්‍රාකාරයෙන් දුක්ඛ වේ. කෙසේද යත්, පංච උපාදානස්කන්ධය දුකක් වන කල්හි, එහි අන්තර්ගත සුඛ වේදනාව ස්වභාවයෙන්ම දුකකි. නමුත් වේදනාව වශයෙන් සැපකි.

එබැවින් දුක්ඛ ආර්ය සත්‍යය වටහා ගැනීමේදී, එය හුදෙක් දුක්ඛ වේදනාවට ලඝු නොවී, වේදනාවෙන් පරිභාහිර, විඳීම් නොවන දුක්ඛ ස්වභාවයන් ද වටහා ගත යුතුය.

උදාහරණයකට, රූපය යනු විඳිය හැකි වස්තුවක් නොවේය. රූපය හේතු කොටගෙන, අරමුණු කොටගෙන, වේදනා විඳිය හැකිය.

එනමුත් දුක්ඛ ආර්ය සත්‍ය තුල, රූපය දුක්ඛ බව පෙන්වා ඇත. එනමුත් විඳිය නොහැක. එකල්හි රූපය කෙසේ නම් දුක්ඛ වේ ද යන්න විමසිය යුතුය.

ඒ මෙසේය,

රූපය පවතින කල, රූප හේතුවෙන්, රූප ආරම්මණයෙන්, සෙසු සකන්ධ සතර හටගනී. එකී ස්කන්ධ ප්‍රත්‍ය වීමෙන් රූපය ද හටගනී. එවිට රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන උපාදානස්කන්ධ පඤ්චකය අනවරතව පවතින්නේ වෙයි.

එවිට රූපයේ පැවතීම හේතුවෙන් උපාදානස්කන්ධ පහම පවතියි. එනම් සකල දුක්ඛස්කන්ධයම පවතියි. 

ඒ අනුව රූපයේ පැවතීම යනු දුක්ඛස්කන්ධයේ පැවතීමයි. 

එනම්, රූපය යනු දුකයි.

සෙසු ස්කන්ධ කෙරෙහිද මෙසේමය. එනම්,

වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ පවතින කල, සකල පඤ්ච උපාදානස්කන්ධයම පවතී. එනම් දුක පවතී. 

ඒ අනුව වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ වල පැවැත්ම යනු දුකේ පැවැත්මයි. එනම් වෙදානා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යනු දුකයි.

මෙසේ, රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන උපාදානස්කන්ධ පඤ්චකය, එකිනෙකා ප්‍රත්‍ය වෙමින්, දුක්ඛස්කන්ධය සසර පුරාවට ගමන් කරවමින් සිටියි.

එනමුත් ඒ සියල්ල විඳීම් නොවන බව දත යුතුය. පඤ්ච උපාදානස්කන්ධයේ විඳිය හැක්කේ පහෙන් එකක් පමණි. ඉතිරි සියල්ල අවේදයිත, වේදනාවට ප්‍රත්‍ය වන ධර්මයන්ය.

එබැවින් දුක්ඛ ආර්ය සත්‍ය දැකීමේදී, වේදනාවට ලඝු නොවී, වේදනාව සේම, වේදනා නොවන ධර්මයන්ගේ ද දුක්ඛ බව, පර්යාය, නිෂ්පර්යාය, වශයෙන් බලා, ආර්ය සත්‍යය මනාව වටහා ගත යුතුය.

නොමැති නම් තමා සදාකාලික දුකෙහි බව දත යුතුය.




No comments:

Post a Comment