Monday, August 29, 2016

මහමෙව්නාවේ ධර්ම විකෘතිය.





බොහෝ ජනතාවකගේ හිත දිනාගත් එසේම බොහෝ පින්කම් තුල හැසිරෙන මහමෙව්නාව අසපුව පිලිබඳ විවිධ මතිමතාන්තර තිබේ. එසේම මහමෙව්නාවට යමකු විරුද්ධ වන කල රංචු පිටින් විරෝධය දක්වන අයද සිටියි. ඒ එකමුතු කම යහපති. එනමුත් මහමෙව්නාවෙන් දිය රෙද්දෙන් බෙල්ල කපන්නා සේ ධර්මය සියුම් ව මකා දැමීම විමසුම් නුවණින් බලා අවබෝධ කල යුතු නුවණින් බැහැර කල යුතු අධර්ම ක්‍රියාවකි. ඒ පිළිබඳව මෙසේ කරුණු දක්වන්නෙමු.

1. ත්‍රිපිටකය පරිවර්තනය.

මහමෙව්නාවේ බෝධිඥාන ත්‍රිපිටක පරිවර්තනය පරිවර්තනයක් ලෙස යම් මට්ටමක තිබිය හැකිය. එනමුත් එය හුදෙක් සිංහලට පරිවර්තනය කිරීම හා කවි සංස්කෘතියට බරව පරිවර්තනය නිසාවෙන් අනාගතයේදී බරපතල ගැටළු මතු කරයි. කෙසේද යත්;

සත් තිස් බෝධිපාක්ෂික ධර්ම ප්‍රකාශ කල හැක්කේ මාගධී සංඛ්‍යාත පාලියෙන් පමණි. ඒවා අන්‍ය භාෂාවකින් ප්‍රකාශ කලේ නමුදු නිවැරදි අර්ථය ගම්‍ය නොවේ. ඒ පාලිය නම් සබ්බලෝක සාධාරණ භාෂාව බැවිනි.

ඒ භාෂාවෙන් ප්‍රකාශ කල අර්ථයක් අන් භාෂාවක වචන සිය දහසකින් වුවද ගත නොහේ. උදාහරණයකට ලෝභය යන්න වචන සියයකින් අභිධර්මය තුල විස්තර කෙරේ. ඒ අර්ථ දීමට සිංහල වචන ද නොමැත්තේය. එබඳු අර්ථ පාලියෙන් තොරව හුදෙක් අන් භාෂාවකින් ප්‍රකාශ කර ඇති අවස්ථාවන්හිදී අර්ථය වැළලී වැළලී යාම පිලිබඳ අමුතුවෙන් කිව යුතු නැත. එය සරල කරුණක් පමණකි.

ඉහත කී සත් තිස් බෝධිපාක්ෂික ධර්ම පිලිබඳ ප්‍රකාශ මාධ්‍ය වන අර්ථ ධර්ම නිරුක්ති පට්භාන යන සිවු පිළිසිඹියා තුල අර්ථය ධර්මය මනාව වෙනකොට එහි දිය යුතු නිරුක්තිය දීමේදී ලබාදිය හැකි හොඳම නිරුක්තිය ඇත්තේ පාලියෙහි පමණි. කෙසේද යත්,

අර්ථය වූ පග්ගහයත් එහි ධර්මය වූ වීර්යයත් වෙන් කොට ප්‍රකාශ කල හැක්කේ පාලියෙන් පමණි. අන් භාෂාවකින් පැවසීමේදී පග්ගහය යනු කුමක්දැයි වෙනම විස්තර කල යුතුය. එනමුත් පාලියෙන් අවැසි වන්නේ එක් වචනයක් පමණි. එබඳු පාලියෙන් එක වචනයකින් හා අන් භාෂාවකින් බොහෝ වචන භාවිතා කොට ප්‍රකාශ කල යුතු අර්ථයක් හෝ ධර්මයක් හුදෙක් තනි සිංහල වචනයකින් ප්‍රකාශ කිරීම තුලින් මත්තෙහිදී අර්ථය අර්ථය ලෙසත් ධර්මය ධර්මය ලෙසත් වෙන් කොට වටහා ගැනීමේදී වියවුල් ඇති වන්නේය. ඒ වනවිට පෙල නොතිබුණහොත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය සම්පූර්ණයෙන්ම වැළලී යන්නේය.

එබැවින් පාලිය හුදෙක් සිංහලට හෝ වේවා වෙනත් භාෂාවකට හෝ වේවා පාලියෙන් තොරව පරිවර්තනය කිරීම ධර්මය විනාශ වීමේ අති ප්‍රභල සාධකයකි. එබැවින්ම තථාගතයාණන් වහන්සේ පාලිය වෙන භාෂාවකට පරිවර්තනය තහනම් කල අතර හුදෙක් පාලියෙන්ම උගෙනීම, භාවිතා කිරීම අනුදැන වදාරන ලදී.

2. නිවන මගහැරීම.

ආරම්භයේදී මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම චතුරාර්‍ය සත්‍ය අවබෝධ කිරීමේ වීර්යයෙන් ඇරඹි මහමෙව්නාව මේ වන විට ඒ වීර්යය මදක් ලිහිල්ව ගොස් තවුතිසාව බලා යාමේ වැඩපිළිවෙලක නිරත වෙයි. එහිලා පැවසිය යුත්තේ නිවන ද්වෙනි කොට සුගතිය පළමුකොට සිදු කරනු ලබන්නා වූ ක්‍රියාවෝ නම් හීන ග්‍රාමය පෘතජ්ජනික අනාර්ය අනර්ථ සහිත බවයි. එනම් ලෞකිකත්වයට මු තැනදී කරනු ලබන පින්කම් ඤාණ සම්පයුක්ත නොවන බැවින් මහමෙව්නාවේ එකී ක්‍රියාකලාපය තුලින් අර්ථයක් බලාපොරොත්තු නොවිය හැකි බවයි. එසේම එය ද ධර්මය වැළලී යාමට වක්‍රාකාරව සහය වන්නකි. කෙසේද යත්;

හීන වීර්යයෙන් නිවන දෙවැනි කොට කටයුතු කිරීම යනු කෙලෙසුන්ට යට වීමේ මුලයි. ආරම්භයේදී චතුරාර්ය සත්‍යය ද මැදදී සුගතියද නම් අවසාන වන විට කුමක් වේ දැයි කිව හැකිද? කුමක් නමුත් නිවන් මගින් අපගමනය වූ ලෞකික ප්‍රාර්ථනාවක් පමණක් වේ. එයද කාලයත් සමග කෙලෙසුන්ට වසගවීම හරහා සුදු වන්නකි.

3. කෙලෙස් උද්දීපනය.

මහමෙව්නාව තුලින් කෙලෙස් බැහැර කිරීමට වඩා කෙලෙස් උද්දීපනයට තැනක් දෙනු ලැබේ. එනම් මහමෙව්නාවේ භාවනාව උවද “ආසේවේති කුසල ධම්මේ භාවේති වඩ්ඩේතී,ති භාවනා” යන අර්ථයෙන් භාහිරව උච්චස්ස්වරයෙන් පටන් ගෙන පහත් ස්වරය දක්වා තාලයකට සජ්ඣායනා කිරීම මගින් අකුසල සමාපත්තියකට සමවැදීම මහමෙව්නාවේ භාවනාව වේ. එසේ තාලයකට ගායනය පල්ලියෙන් උපුටාගන්නා ලද්දක් යැයි ප්‍රකශ කල බව අසන්නට ලැබේ. එසේම විදර්ශනාව ගත්තේද අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියා ගායනා කරනු මිසෙක සප්ත විශුද්ධිය හෝ විදර්ශනා ඤාණ වැඩීමක් සිදුවන්නේ හෝ සිදු කරන්නේ හෝ නොමැත. ඒ භාවනාව හරහා සිදු කරනුයේ හුදෙක් සින්දු කීමක් පමණකි.

එසේම මහමෙව්නාවේ ප්‍රතිමා තුලින්ද ශෘංගාරය උලුප්පා දක්වනු මිසෙක සමාධි පිළිම වහන්සේගේ ලෙසින් ලෝකෝත්තර හැඟීම් ප්‍රකට නොකරන්නේය. එයද කෙලෙස් වසඟයේ එක පැතිකඩකි.

මෙසේ ලෝකයා ඉදිරියේ ඔලාරිකව නොපෙනුනද සියුම්ව ශාසනික ප්‍රතිගාමීත්වයක් සිදු කිරීම මහමෙව්නාවෙන් සිදුවේ. එය පින්වත් ලොකු ස්වාමීන්වහන්සේසරණ ගිය අසරණයින්ට චිත්ත පීඩා ගෙන දෙන්නක් වුවද සිදුවීම එයම වේ. නැත කියා කියන්නකු වැදගත් ලෙසින් සාකච්චාවට පැමිණෙත්වා....!!!

No comments:

Post a Comment