Sunday, August 4, 2024

නොපැහැදුන අයගේ පැහැදීම පිණිස

 බුද්ධ දර්ශනය යනු සකල සත්ව වර්ගයාගේ සැනසීම පිණිස පවතින්නා වූ එකම ධර්මයයි. අන්‍ය සමයන්ගෙන් කිසිදු ආකාරයකින් සදාකාලික සැනසීමක් ලැබිය හැක්කේ නොවේ. 

එසේ වූ ධර්මය සහිත සම්බුද්ධ ශාසනය පිහිටුවා ඇත්තේ, එකී සත්ව වර්ගයාගේ සැනසීම ලඟාකර ගැනීම අරමුණු කරගෙනමය. එනම්, සත්වයා සසර දුකින් මුදවනු පිණිසම සම්බුද්ධ ශාසනය පවතින්නේ වෙයි.

එබැවින්,

සම්බුද්ධ ශාසනය යනු, සත්වයාට ස්වකීය ජීවිත යථාර්ථය අවබෝධකොටගෙන, එකී ජීවිත සැනසීම කරා ගෙනයාමට පවතින්නා වූ එකම එක මග පෙන්වීමයි.

එකී මගපෙන්වීම ජීවිතයට ලබා ගැනීම ද පහසු නොවන්නේ වේ. කිමද යත්, පුද්ගල ජීවිත හුරුව ඇත්තේ ස්වල්පයකින් තෘප්තිමත්වීම කේන්ද්‍ර කරගෙනය. එනම්, දන් ස්වල්පයකින් සසර ගිනි නිවීමට, සීල මාත්‍රයකින් සුගති පරායන වීමට, භාවනා ලේෂ මාත්‍රයකින් උතුරු මිනිස්දම් ලැබීම ආදිය බලාපොරොත්තු වීගෙනය. ඒ තරමටම පෘතජ්ජන මනස අසරණ වන්නක් වේ.

එබඳු ආකාර සත්ව පුද්ගල නොවන මනසිකාර ප්‍රභවයන්ට, සසර දුක පෙන්වීම යනු ස්වල්ප උත්සහයකින් කල හැක්කක් නොවේමය. ඒ හේතුවෙන්ම අසංඛ්‍ය කල්ප ගණනාවක් පුරාවට පාරමී දම් සපුරා ලොවුතුරා බුද්ධත්වයම ශාක්ෂාත් කොට ධර්මය දේශනා කල යුතුව ඇත. එසේ බුද්ධත්වයට පත් අප මහා ශාන්තිනායක ලොවුතුරා අමාමෑණී සම්මා සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!! දෙවනුව ද මාගේ නමස්කාරය වේවා...!!! තෙවනුව ද මාගේ නමස්කාරය වේවා...!!! මාගේ ජීවිතය සම්මා සම්බුද්ධ ශාසන චිරස්ථිතිය පිණිසම පවතීවා...!!!

එසේ ජීවිතය ද පරදුවට තබා සුරැකිය යුතු උතුම් බුදු සසුන යනු, මනාව ස්ථාපිත කර ඇති ශාසනයකි. හිස්තැන් නතියකි. පරිපූර්ණ වූවකි.

එසේ පරිපූර්ණ වූ ශාසනය මගින්, පෙර කී සේ ලාමක කෙලෙස් වසගයට ගිය සත්වයාට, අනුපිළිවෙලින් මග පෙන්වන්නේ වෙයි. අනුපිළිවෙලින් සසරින් මුදවන්නේ වෙයි.

කෙසේද යත්,

නොපැහැදුනා වූ පුද්ගලයා තුල, ශාසනික වශයෙන් පැහැදීම ඇති කරවා, එකී පැහැදීම ශක්තිමත් කරවා, එකී පැහැදීමට හේතුව නම් කෙලෙසුන්ගෙන් මිදීම බව ප්‍රායෝගිකව පෙන්වාදීම සිදු කරයි. ඉන් අනතුරුව, මෙකී පැහැදීමට තුඩු දුන්, කෙලෙසුන්ගෙන් මිදීම වනාහී, රුචි කැමති, ධෛර්යවන්ත, වීර්යවන්ත, සත්පුරුෂ ප්‍රඥාවන්තයාට ලැබිය හැකි බව පෙන්වා දෙයි.

එය ලැබීමට අනුගමනය කල යුතු මග පෙන්වා, මාර්ගයෙහි ගමන් කිරීමට උත්සාහයද ඇතිකරවා දෙයි.

ඒ සියල්ල සිදුකරන්නේ සිව්වනක් පිරිස හරහාය. එනම්,

භික්ෂු, භික්ෂුනී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසේ, මනාවූ හැසිරීම තුලින්, ධර්මය නොඇසූ අසරණ සත්වයා තුල පැහැදීම ඇති කරවයි. එකී පැහැදීම වංචාවක් නොව, සත්‍ය වශයෙන්ම පවතින සංයමයක් බව පෙන්වා, පැහැදුන පුද්ගලයාගේ පැහැදීම ශක්තිමත් කරවයි. 

ඉන් අනතුරුව, ක්‍රමයෙන්, දාන, සීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා දෙසට යොමු කරවමින්, ප්‍රතිපත්තියට යොමු කරවයි. 

ඒ සමග ධර්ම ශ්‍රවණයට අවස්ථාව සලසමින්, ශෘතවත් බව දියුණු කරවයි. 

ශෘතවත් බව දියුණු වූ පුද්ගලයා, ස්වෝත්සාහයෙන්ම ධර්මය තුල හැසිරෙන්නේ වෙයි.

මේ ශාසනික පැවැත්තේ සරල අර්ථ කථනයකි. ගම්භීරව වැඩි විස්තර දත හැකිය. සත්පුරුෂයෝ උත්සහ කෙරෙත්වා.

එකී ශාසනික පැවැත්මේ කතාව මදකට තිබේවා. ඒ අරම්භයා දැන් පැවසීමට යන්නේ, කිවයුතු නමුත්, අසන්නට අකමැති කතාවකි. එය මෙසේ අරඹමු.

තථාගතයාණන් වහන්සේ විනය පනවා වදාළේ පහත පරිදි හේතු කාරණා දහයක් මුල් කරගෙනය. එනම්,

‘‘දස ඛො, උපාලි, අත්‌ථවසෙ පටිච්‌ච තථාගතෙන සාවකානං සික්‌ඛාපදං පඤ්‌ඤත්‌තං, පාතිමොක්‌ඛං උද්‌දිට්‌ඨං. කතමෙ දස? 

සඞ්‌ඝසුට්‌ඨුතාය, සඞ්‌ඝඵාසුතාය, දුම්‌මඞ්‌කූනං පුග්‌ගලානං නිග්‌ගහාය, පෙසලානං භික්‌ඛූනං ඵාසුවිහාරාය, දිට්‌ඨධම්‌මිකානං ආසවානං සංවරාය, සම්‌පරායිකානං ආසවානං පටිඝාතාය, අප්‌පසන්‌නානං පසාදාය, පසන්‌නානං භිය්‍යොභාවාය, සද්‌ධම්‌මට්‌ඨිතියා, විනයානුග්‌ගහාය 

ඉමෙ ඛො, උපාලි, දස අත්‌ථවසෙ පටිච්‌ච තථාගතෙන සාවකානං සික්‌ඛාපදං පඤ්‌ඤත්‌තං, පාතිමොක්‌ඛං උද්‌දිට්‌ඨ’’න්‌ති. (අ.නි, දසක නිපාත, උපාලි වර්ගය, උපාලි සූත්‍රය)

“උපාලිය, කරුණු දහයක් නිසා තථාගතයන් විසින් ශ්‍රාවකයන්ට ශික්‍ෂාපදය පනවන ලදී. පාමොක් උදෙසන ලදී. කවර දසයක්ද යත්? 

සංඝයාගේ යහපත් බව පිණිස, සංඝයාගේ පහසුව පිණිස, නිශ්ශබ්ද කිරීමට අපහසු පුද්ගලයන්ට නිග්‍රහ කිරීම පිණිස, ශික්‍ෂාකාමී පුද්ගලයන්ගේ පහසු විහරණය පිණිස, මේ ආත්මයෙහි වන ආශ්‍රවයන්ගේ සංවරය පිණිස, පරලෙව්හි වන ආශ්‍රවයන්ගේ නැසීම පිණිස, අප්‍රසන්නවූවන්ගේ ප්‍රසාදය පිණිස, ප්‍රසන්නවූවන්ගේ වැඩි පැහැදීම පිණිස, සද්‍ධර්මයාගේ පැවැත්ම පිණිස, හික්මීමට උපකාර පිණිස, 

උපාලිය, මේ කරුණු දහය නිසා තථාගතයන් විසින් ශ්‍රාවකයන්ට ශිකඛාපද පනවන ලදී. ප්‍රාතිමොක්‍ෂය උදෙසන ලදී.

එනම්,

ඉහත දී දක්වන ලද සේ, අපැහැදුන පුද්ගලයාගේ පටන්, නිවන දක්වා පුද්ගලයාව හික්මවීම පිණිස විනය පනවා වදාළ සේක. ඒ සර්වඥතා ඤාණයට මාගේ නමස්කාරය වේවා...!!!

එකී විනය පනවා වදාළේ ශාසනික චිරපැවැත්ම පිණිස බව සියල්ලෝම දත යුතුය. දැන, ඒ අනුව හික්මිය යුතුය. අපහසු නම් දුකසේ හෝ ඉවසා දරා හික්මිය යුතුමය. රිංගා යාමට අවසර නැත.

එනමුත් වර්තමාන සිව්වනක් පිරිස, බුද්ධ ප්‍රඥප්තියට ස්වකීය අර්ථකතන ලබා දී, තම තමන්ට අවශ්‍ය සේ හැසිරීම හේතුවෙන්, ශාසනය විනාශ මුඛයට යමින් පවතී.

එබැවින් එහි හානිය කෙතරම් ද යන්න් දැන, වහ වහා ආයති සංවරයෙහි පිහිටා කටයුතු කිරීමට, සිව්වනක් පිරිසම වගබලා ගත යුතුය.

නොමැති නම් ශාසනික විනාශයට බීජයක් වීමේ අකුසලය ගෙවීමට සූදානම් විය යුතුය.

සත්පුරුෂයෝ වටහා ගනිත්වා. සියලු සත්වයෝ සසර දුකින් මිදෙත්වා...!!!

සියලු දෙනාටම තෙරුවන් සරණම ලැබේවා...!!!




No comments:

Post a Comment