වර්ථමාන සමාජය තුල භික්ෂුන් වහන්සේලාට ගැරහීම බහුලව සිදු වන්නකි. ඒ ගැරහීම බොහෝවිට නිසි පරිදි සොයා බලා කටයුතු නොකිරීම මත සිදුවේ. එසේම වරදක් සිදුව ඇති අවස්තාවලදී ද අදාළ වරදට නිග්‍රහ කිරීම පසෙක තබා, මුළු මහත් සංඝ සමාජයටම ගැරහීම බොහෝ බාලයන් විසින් සිදු කරයි.
එබැවින් පිරිසිදු සීලයක් සහිත භික්ෂුන් වහන්සේලා සහ සීලයක් නොමැති පැවිදි වත පමණක් දරනා පුද්ගලයන් වෙන් කර හඳුනාගෙන, වැරදි කරන පුද්ගලයන් හමුවේ, සිල්වත් භික්ෂු සංඝයාට නිග්‍රහ කිරීමේ අකුසලයෙන් මිදී කටයුතු කල යුතුය.
සීලවන්ත සහ සීලය නොරකින් පුද්ගලයන් මෙසේ හඳුනා ගත යුතුය. එහිලා පහත දැක්වෙන කරුණු බුදුරජාණන්වහන්සේ විසින්ම දේශනා කරන ලදි. ඒ අනුව විමසා බැලිය යුතු.
"යෝ පන භික්ඛු ජාතරූපරජතං උග්ගණ්හෙය්ය වා උග්ගණ්හාපෙය්ය වා උපනික්ඛිත්තං වා සාදියෙය්ය නිස්සග්ගියං පාචිත්තියං."
යම් මහණෙක් රන්රිදී පිළිගන්නේ නම් හෝ පිලිගන්වාගන්නේ නම් හෝ තබන ලද්දක් ඉවසන්නේ නම් හෝ නිසඟි පචිති වේ.
"යෝ පන භික්ඛු නානප්පකාරකං රුපිය සංවෝහාරං සමාපජ්ජෙය්ය නිස්සග්ගියං පාචිත්තියං."
යම් මහණෙක් නොයෙක්ආකාර ව්‍යවහාර මුදල් ගනුදෙනු කිරීමට පැමිණෙයි නම් නිසඟි පචිති වේ.
"යෝ පන භික්ඛු නානප්පකාරකං කයවික්කයං සමාපජ්ජෙය්ය නිස්සග්ගියං පාචිත්තියං."
යම් මහණෙක් නොයෙක් ආකාර භාණ්ඩ ගනුදෙනුවට පැමිණෙයි නම් නිසඟි පචිති වේ. (පාරාජිකා පාලි)
"න හි කප්පති ගාමිණි සමණානං සක්‍යපුත්තියානං ජාතරූපරජතං. න සාදියන්ති සමණා සක්‍යපුත්තියා ජාතරූපරජතං. න පතිගණ්හන්ති සමණා සක්‍යපුත්තියා ජාතරූපරජතං. නික්ඛිත්ත මණිසුවණ්ණා සමණා සක්‍යපුත්තියා අපේතජාතරූපරජතා." (ස.නි, සළායතන වග්ග, ගාමිණී සංයුක්තය, මණිචූලක සුත්‍රය.)
ගාමිණිය, ශ්‍රමණ ශාක්‍යපුත්‍රයන්ට රන් රිදී නොකැපමය. ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ රන්රිදී නොඉවසත්. ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ රන්රිදී නොපිළිගනිත්. ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ බහා තැබූ රන්රිදී ඇතියහ. ඉවත් වූ රන්රිදී ඇතියහ.
"යෝ පන භික්ඛු විකාලේ ඛාදනීයං වා භෝජනීයං වා ඛාදෙය්ය වා භුඤ්ජෙය්ය වා පාචිත්තියං." (පාචිත්තිය පාලි)
යම් මහණෙක් කෑ යුතු හෝ බුදිය යුතු ආහාරයක් විකාලයෙහි (සූර්ය මධ්‍යහනයෙන් අනතුරුව.) කන්නේ හෝ බුදින්නේ හෝ නම් පචිත්‍ය ඇවැත් වේ.
මේ කෙටියෙන් දක්වන ලද්දේ ගිහි සමාජයට පහසුවෙන් පෙනෙන කාරණාවන් කිහිපයක් පමණි. යමෙකු මෙබඳු ක්‍රියාවන්හි නිරත වන්නේ නම් ඔවුන් බුද්ධ ශ්‍රාවකයන් නොවන බව මෙසේ දේශනා කර ඇත.
"සෙය්‍යතාපි පහාරාද, මහා සමුද්දෝ ඨිත ධම්මෝ වේලං නාතිවත්තන්ති, ඒවමේව ඛෝ පහාරාද, යං මයා සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං තං මම සාවකා ජීවිතහේතුම්පි නාතික්කමන්ති." (අ.නි, අට්ඨක නිපාත, මහා වග්ගය, පහාරාද සුත්‍රය.)
පහාරදය, යම් සේ මහාසමුද්‍රය ඨිතිධර්ම වූයේ වෙරළ නොඉක්මවන්නේ වෙයිද, එලෙසින්ම පහාරාදය, මවිසින් ශ්‍රාවකයින්ට යම් සික්ෂාපදයක් පනවන ලද්දේද, එය මාගේ ශ්‍රාවකයෝ ජිවිත හේතුවෙන්ද නොඉක්මවත්.
එබැවින් බුද්ධ ශ්‍රාවක වන්නේද නොවන්නේද යන්න තීරණය කලහැක්කේ සීලය දෙස බැලීමෙනි.
එබැවින්, වරදකාරී පුද්ගලයන් නිසා, සිල්වත් භික්ෂුන් වහන්සේලාට අගෞරව කොට, අකුසල් රැස් කරගෙන, නිවන් මග වලකා නොගැනීමට ඔබ බුද්ධිමත් විය යුතුය.
No comments:
Post a Comment