ජාතිය යනු වංශය, සමූහය, සමාන බව මෙන්ම උත්පත්තිය, විශේෂාර්ථ, ප්‍රඥප්තිය යන අර්ථද ගෙනදෙන වදනකි. එසේම ගස් ජාති වැල් ජාති යනුවෙන් බොහෝවිට වර්ගය හැඳින්වීමට ද ජාතිය යන වදන යොදා ගැනේ. ජාතික යන වදන යම් වංශයකට යම් සමූහයකට අයත් බව දක්වන්නකි. එනම් එක් ජාතියකට අයත් යන්න හැඳින්වීමට ජාතික යන වදන භාවිතා කෙරේ. එසේම ඒ ජාතියේ ස්වභාවය, ජාතික ලක්ෂණ හැඳින්වීමට ජාතිකත්වය යන වදන භාවිතා කෙරේ. එනම් එය යම් ජාතියක ස්වභාවය ඇත්තේය යන අර්ථ දෙන්නකි.
ජාතිවාදය යනු යම් ඒ වංශයක් සමූහයක් පිලිබඳ වූ යම් කතාවක් යම් වාදයක් යම් ප්‍රවාදයක් වෙයි ද එයයි.
එබැවින් යම් ජාතියක් තිබේ නම් එහි ජාතිවාදයක් එකාන්තව තිබේ. එනම් ඒ ජාතියේ ඒ වංශයේ ඒ සමූහයේ ආරම්භය පිළිබඳ, වර්ධනය පිලිබඳ , පරිහානි පිලිබඳ වාද, ප්‍රවාද ආදී ලෙස වේ. ඒවා මිනිස් ජාතිය, තිරිසන් ජාතිය ආදී වශයෙන්ද එහිම අනු ප්‍රභේද වශයෙන්ද බෙදී වෙන්වී ගොඩ නැගී ඇත.එය සාමාන්‍ය ස්වභාවය වේ. එනමුත් ඒ ජාතිය, ඒ ජාතිකත්වය, ඒ ජාතිවාදය දෘෂ්ඨි වශයෙන් ගෙන අත්තුක්කංසන පරවම්භන හෙවත් තමා උසස් කොට අනුන් පහත් කොට මාන වශයෙන් බැලීම හේතුවෙන් අද ලෝකය අවිද්‍යා අන්ධකාරයෙන් අඳුරු වී පවතිනු පෙනේ.
යම් අවිද්‍යා අන්ධකාරයක් පවතී නම් එය දුරුකළ යුතුය. එය දුරු කිරීම දෙව්මිනිස් සියලු සත්වයින්ට හිත සුව පිණිස පවතින බැවිනි. එසේම ඒ අවිද්‍යා අන්ධකාරය දුරුකළ යුත්තේ විද්‍යා ආලෝකයෙන් මිසෙක අනෙකකින් නොවේ. එබැවින් ජාතිකත්වය හා ජාතිවාදය යන කරුණු කෙරෙහි ධර්මානුකූල අවධානයක් යොමුකිරිම කාලෝචිත කරුණක් වේ යැයි හඟිමු. මේ වෑයම ඒ ධාර්මික විමසුම කෙරෙහි වේ.
යම් සත්වයෙක් ජාත වුයේද ඔහුට අයත් ජාතියක්, ජාතිකත්වයක් ඒ ජාතිය පිලිබඳ වූ ජාතිවාදයක් ස්වභාවයෙන්ම උරුම වේ. එය ඔහුට හිමිවන්නේ ඔහු කල කුසලාකුසල කර්ම අනුව යමිනි. ඒ කුසල කර්මයන්ගේ බලවත් වීම මත උසස් ජාතිවල උසස් කුලවල ප්‍රතිසන්ධියක් ලබයි. අකුසල බලවත් වීම මත පහත් ජාති වල පහත් කුලවල ප්‍රතිසන්ධි ලබයි. එහි උස් පහත් බව තීරණය වන්නේ ඒ ඒ ජාතිවල ස්වභාවයෙන්ම පවතින ගති සිරිත් මතයි. එනමුත් ඒ කුසලාකුසල කර්ම මත හිමි වූ ජාතිය හෝ ජාතිකත්වය හෝ ජාතිවාදය නිසා ඒ පුද්ගලයා පිරිසිදු වන්නේ හෝ කෙලෙසෙන්නේ හෝ නැත. “න ජජ්ජා වසලෝ හෝති න ජජ්ජා හොති බ්‍රාහ්මණෝ” යනුවෙන් දේශනා කලේ එම කරුණයි.
කෙසේ හෝ කවර හෝ ජාතියක උප්පත්තිය ලැබුවේ නම් ඒ පුද්ගලයා විසින් තම ජාතිය තම වංශය තම ප්‍රවේණිය සුරැකීම කල යුතුය. එය වනාහි උසස් ගති ලක්ෂණයකි. එය තිරිසන් සතුන් පවා සිදුකරන යහපත් ක්‍රියාවකි.
යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් රාජ්‍ය කරන සමයෙහි අප මහා බෝසතාණන් වහන්සේ සුනඛ යෝනියෙහි ඉපිද නොයෙක් සිය දහස් ගණන් සුනඛයන් පිරිවරණ ලදුව සොහොනෙහි වාසය කෙරති.
ඉක්බිත්තෙන් එක් දිනක් රජ්ජුරුවෝ ඇළි අසුන් යෙදූ සියලු රථාලංකාරයෙන් සරහන ලද රථයකින් උයන් කෙළියට නික්ම ඉර බැසගිය කල්හි නුවරට වන්හ. රථය සෑදු වනම රාජාඞ්ගනයෙහි තිබුයේය. රාත්‍රියෙහි වැසි වසින්නට පටන්ගත් කල්හි රථයේ සම් හා වරපට තෙමී මොලොක් වුයේය. ප්‍රසාදයෙහි මතු මහලින් කීණ සුනඛයෝ ඇතුලට වැද රථයෙහි සම් හා වරපට කෑවාහුය. දෙවෙනි දවස් රජ්ජුරුවන්ට කියන්නෝ “දේවයන්වහන්ස, සොරොව්වෙන් සුනඛයෝ ඇතුලට වැද රථයෙහි සම් හා වරපට කෑවාහුය.” යි කිවුහ. එබස් ඇසූ රජ්ජුරුවෝ බල්ලන්ට කිපී “දුටු දුටු තැනදී සුනඛයන් මරව” යැයි විධාන කලෝය.
එතැන් පටන් සුනඛයන්ට මහත් ව්‍යසනයක් උපන්නේය. ඔවුහු දුටු දුටු තැන මරණ හෙයින් භයින් සොහොනට ගොස් බෝසතාණන් වහන්සේට මෙපුවත් සැලකලෝය. එබස් ඇසූ බෝසතාණෝ “රැකවල් ඇති හෙයින් පිටත සුනඛයින්ට වදින්නට ඉඩ නැත. ඇතුළු ගෙයි කීණ සුනඛයිගේම ක්‍රියාවක් වන්නේය. දැන් වූකලී සොරුන්ට කිසි බියක් නැත්තේය. නොසොරුන් මරුමුවට පත්වෙති. මම් වනාහි රජ්ජුරුවන් වහන්සේට සොරුන් දක්වා ඥාති සමූහයාට ජිවිත දානය දුන්නේ නම් යෙහෙකි” යි සිතා ඥාතින් අස්වසා පාරමී ධර්මයන් සිහිකොට මෛත්‍රී පෙරදැරිව ඇතුළු නුවරට වන්හ. ඉක්බිත්තෙන් ඔවුන් දැක කිපී බැලූ එක් සත්වයකුද නැත. රජ්ජුරුවෝද සුනඛ වධය නියෝග කොට තුමූ විනිශ්චය මණ්ඩලයෙහි උන්හ. බෝසතාණෝද රජ්ජුරුවන් උන් ස්ථානයටම ගොස් වැඳ සිංහාසනය යටට වැදහොත්තේය. රාජ පුරුෂයෝ බෝසතාණන් සිංහාසනය යටින් ඇද එලියේ ලන්ට පටන් ගත්තාහුය. රජ්ජුරුවෝ ඒ වැලකූහ.
බෝසතාණෝ මදක් සැතපී සිංහාසනය යටින් මෑත්ව රජ්ජුරුවන් වැඳ “නුඹ වහන්සේ සුනඛයින් මරණ සේකැ”යි විචාළෝය. “එසේමය” කී කල්හි “සුනඛයින්ගේ අපරාධය කවරේ ද, රජ්ජුරුවන් වහන්ස?” යැයි කිවූය. “මාගේ රථයේ සම් හා වරපට කෑවාහුයැ”යි කී කල්හි “යම් කෙනෙකු කවු නම් ඔවුන් දන්නා සේක්දැ”යි විචාළෝය. “නොදනුම්හ” යි කී කල්හි “සම් කෑ සොරු නොදනිත් නම් දුටු දුටු තැන සුනඛයින් මැරීම යහපත් ද රජ්ජුරුවන් වහන්ස”යි කිවුහ. “රථයෙහි සම් සුනඛයින් කෑ හෙයින් දුටු දුටු තැන සුනඛයින් මරව”යි සුනඛ වධය නියෝග කළෙමි”යි කිවුහ. එබස් ඇසූ බෝධිසත්වයෝ “කිමෙක්ද හැම සුනඛයින්ම මරත් ද? නොහොත් නොමරනු ලබන සුනඛයෝත් සිටිත්” දැයි විචාලෝය. “නොමරනු ලබන්නෝත් ඇත. අපගේ කීණ සුනඛයෝ නොමරනු ලැබෙතැ”යි කිවුහ.
එබස් ඇසූ බෝසතාණෝ “රජ්ජුරුවන් වහන්ස, දැන් නුඹවහන්සේම රිය සම සුනඛයින් කෑ බැවින් දුටු දුටු සුනඛයින් හැම මරව’යි සුනඛ වධය නියෝග කළෙමි’යී කී සේක. නැවත අපගේ සුනඛයින් නොමරනු ලබති’යී කී සේක. එසේ කී කල්හි නුඹවහන්සේ ඡන්දාදියෙන් අගතියට ගිය සේක් වේදැ’යි” කියා “අගති ගමනය සුදුසු නොවන්නෝය, රාජ ධර්මයකුද නොවන්නෝය,රජ්ජුරුවන් නම් කාරණා කාරණා පරික්ෂාකොට බලා තරාදියක් මෙන් මධ්‍යස්ථ වන්නට වටනේයැ”යි දම් දෙසා, රජගෙයි කීණ සුනඛයින්ට මෝරු මිශ්‍ර ඊතණ පොවා සම් හා වරපට වමාරවා තම ඥාති සමුහයාගේ නිරවද්‍ය බව පෙන්වා රජුද ධර්මයෙහි පිහිටුවා ආයු පමණින් සිට කම් පරිද්දෙන් මිය පරලොව ගියාහුය.” (කුක්කුර ජාතකය.)
මෙසේ කවර වුවත් ස්වකීය ජාතිය, ස්වකීය වර්ගය, ස්වකීය වංශය සුරැකීම පිණිස තිරිසන් ගත සත්වයෝ ද කැපවන කල මිනිසා ගැන කුමක් කියම්ද?
බෝසතාණන් වහන්සේ මේ ජාතක කථා වස්තුව තුලින් පෙන්වා දෙන්නේ එයයි. එබැවින් යමෙකු ස්වකීය ජාතිය වෙනුවෙන් පෙනීසිටීම වරදක් නොවන්නේය. එසේම එය එකාන්තව කල යුතු සද්ධර්මයක් ද වන්නේය. ගැටලුවක් වන්නේ පෙර කී සේ අත්තුක්කංසන පරවම්භන වශයෙන් ගෙන අකුසල ක්‍රියා සිදුකිරීම පමණි. එයින් පරිභාහිරව ධාර්මිකව ජාතිය පිලිබඳ ජාතිකත්වය පිලිබඳ ජාතිවාදය පිලිබඳ කතා කිරීමට කිසිදු බාධාවක් මෙලොව නොමැත. එබැවින් ධර්මානුකූලව ජාතිය, ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටීමට කිසිසේත්ම බිය නොවිය යුතුය.
ධර්මානුකූලව ජාතිය ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටින්නේ කෙසේද?
මෙහිලා පළමුව තමා නිවැරදි විය යුතුය. එනම් සිල්වත් ගුණවත් දැහැමි පුද්ගලයකු විය යුතුය. නොඑසේ නම් අධර්මයට නැඹුරුවීම හේතුවෙන් මග වරදින්නේය. එය වලකා ගැනීම අත්‍යාවශ්‍ය වේ. ඒ ඔහු තම ජාතිය ජාතිකත්වය හා ජාතිය පිලිබඳ වාද නිවැරදිව හඳුනා ගත යුතුය. එසේ හඳුනා ගැනීමෙන් අනතුරුව නුවණ මෙහෙයවා තම අනන්‍යතාවය පිලිබඳ අදහස් ප්‍රකාශ කලයුතුය. එනම් තම ජාතියේ සැබෑව ප්‍රකාශ කලයුතුය. අසත්‍යය අත්හල යුතුය. ජාතික උරුමය නිවැරදිව දැක්විය යුතුය. එය ප්‍රත්‍යක්ෂ කල යුතුය. ජාතියට හිමි සංස්කෘතිය අනුගමනය කල යුතුය. සිරිත් විරිත් අනුගමනය කල යුතුය. භාහිර දේ බැහැර කල යුතුය. තමා ජාතිය නියෝජනය කරන බව වටහාගනිමින් තමාගේ ක්‍රියාව තුලින් ජාතිය පිලිබඳ තීරණ ගනුලබන බව වටහා ගනිමින් තම ජාතිය සුරැකෙන ලෙස කටයුතු කල යුතුය. විජාතික මානසිකත්වයෙන් බැහැරව ස්වජාතික චින්තනයක් ඇතිකරගත යුතුය. ඒ චින්තනය වරදවා ගනිමින් තුලින් අනෙකා පෙලීමක් නොකළ යුතුය. තම උරුමය මතු පරපුරට දායාද කරදීම පිණිස ආරක්ෂා කල යුතුය. එය තම වගකීමක් ලෙස සැලකිය යුතුය. ජාතිය අනතුරට පත්වන විට එය දැහැමින් සුරැකිය යුතුය. තමා සුරැකීම පිණිස අනෙකා වැනසීම නොකළ යුතුය. තමා කරන කියන දේ ධර්මානුකූලද යන්න නැවත නැවත සිතා බැලිය යුතුය. වරදක් තිබේ නම් නිවැරදි කරගත යුතුය. තමා සෑමවිටම තම ජාතියේ දර්ශීය නිරූපණය වීම තුලින් එනම් ආදර්ශය තුලින් ජාතිය වෙනුවෙන් පෙනී සිටිය යුතුය. එයම සැබෑ ජාතිකත්වය වන්නේය. ඒ වෙනුවෙන් හඬ නැගීම දැහැමි ජාතිවාදය වන්නේය. නොමැතිව කෑ මොර දීම ජාතිකත්වය නොවන්නේය. එය අන්තවාදී ජාතිවාදය වේ.
ඔබ අන්තවාදයෙන් මිදෙන්න. ධර්මවාදී වන්න.
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි...!!!
No comments:
Post a Comment