තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් විසින් සර්වඥතා ඤාණයෙන් යුතුව නිවන පිනිසම හික්මීමට අවශ්‍ය වටපිටාව සකසා පනවා වදාරන ශාසනයක් තුල ලබන පැවිද්ද යනු යමෙකුට ලොව ලැබිය හැකි උතුම්ම ලාභයයි.
එකී ලාභයේ උපරිම පල ලබනු වස්, ඒ භාග්‍යවතුන් වහන්සේ පනවා වදාල මාර්ගය තුල, ඒ පනවා වදාල ප්‍රඥප්තීන්ට, නියතවම අනුගතව වාසය කල යුතුය. ස්වකීය අඩු ලුහුඬු කම් අනුව ප්‍රතිපදාව වෙනස් කරගැනීමට යාම යනු ශාසනික ලාභය අහිමි වී දුකට පත් වීමට මග විවර කර ගැනීමකි.
එසේ තිබියදී ඇතමෙක් මනා සේ හික්මී සංසාර දුකින් සදහටම අත මිදී නිවනට පැමිණෙන අතර ඇතමෙක් නොමනා සේ හික්මී දුගතියට ද පැමිණේ.
එබැවින් පැවිද්ද යනු දෙපැත්ත කැපෙන කඩුවකින් හරඹ කිරීමක් වැනි වූ ද, දැලි පිහියෙන් කිරි කනවා වැනි වූ ද ඉතා දුෂ්කර ක්‍රියාවකි.
එබැවින්ම,
"කුසො යථා දුග්ගහිතො - හත්ථමෙවානුකන්තති
සාමඤ්ඤං දුප්පරාමට්ඨං - නිරයායුපකඩ්ඪති"
යැයි කී සෙයින්,
යම් සේ නොමනා සේ ගත් කුස තණ නිසා අත කැපී යන්නේ වෙයි ද, එසේම නොමනා ලෙස ගත් ශ්‍රමණභාවය නිසා නිරයට වැටෙන්නේ වෙයි.
ඒ බව සිහියට නැඟුණේ පසුගිය කාලය තුල සිදුවූ අශ්‍රාමණික ක්‍රියා කිහිපයක් නෙත ගැටුණු බැවිනි.
ගෞතම බුද්ධ ශාසනය තුල අශ්‍රාමණික ක්‍රියා සිදුවීම, බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ පටන් සිදු වූ නමුදු, එය නතර නොවී කෙලෙසුන්ට යට වූ පුඟුලන් විසින් ශාසන විරෝධී ලෙස හැසිරෙන බැවින්, එකී ජනයාගේ පහන් සංවේගය පිනිස, මනා සේ හික්මීම පිනිස, සංවරය පිනිස, විරාගය පිනිස, නිරෝධය පිනිස, අපට කල හැකි උපකාරය සිදු කිරීමට අදහස් පහල විය.
සාධු සිතින් විමසා හික්මීම උභයාර්ථ සාධනීය බව දකිනු මනාය.
භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට නිතර මෙනෙහි කල යුතු කාරණා දහයක් දේශනා කල සේක එනම්,
1. ‘වෙවණ්‌ණියම්‌හි අජ්‌ඣුපගතො’ති පබ්‌බජිතෙන අභිණ්‌හං පච්‌චවෙක්‌ඛිතබ්‌බං.
මම විවර්‍ණභාවයට පැමිණියේ වෙමි යැයි පැවිද්දා විසින් නිතර ප්‍රත්‍යවේක්ෂා කල යුතුය.
එනම් පැවිද්දා විසින් තමා ගිහි ලිංගයෙන් වෙන්ව ගිහි ඇඳුම් පැළඳුම් පරිෂ්කාරයන්ගෙන් වෙන්ව වෙනස්ම ස්වභාවයකට පැමිණියෙමි යැයි නිතර සිහිපත් කල යුතුය. එකල්හි ශ්‍රමණ සඤ්ඤාව වර්ධනය වේ.
2. ‘පරපටිබද්‌ධා මෙ ජීවිකා’ති පබ්‌බජිතෙන අභිණ්‌හං පච්‌චවෙක්‌ඛිතබ්‌බං.
මාගේ ජීවිතය අනුන් හා බැඳුනේ යැයි පැවිද්දා විසින් නිතර ප්‍රත්‍යවේක්ෂා කල යුතුය.
එනම් පැවිද්දා විසින් තමා පරිහරණය කරන සිවු පසය වනාහී ගිහියන්ගෙන් ලැබෙන, ගිහියන් දෙන දෙයින් තමා ජීවත් වන බව නිතර සිහිපත් කල යුතුය. එකල්හි ආජීවය පිරිසිදු වේ.
3. ‘අඤ්‌ඤො මෙ ආකප්‌පො කරණීයො’ති පබ්‌බජිතෙන අභිණ්‌හං පච්‌චවෙක්‌ඛිතබ්‌බං.
‘මා විසින් අන්‍ය වූ ආකල්පයක් කලයුතු යැයි පැවිද්දා විසින් නිතර ප්‍රත්‍යවේක්ෂා කල යුතුය.
එනම් පැවිද්දා විසින් ගිහියන්ගේ හැසිරම් ආදියෙන් ද වෙන්ව ශ්‍රමණ සාරුප්‍ය සන්සුන් ඉඳුරන් සහිතව හැසිරෙමි යැයි නිතර සිහිපත් කල යුතුය. එමගින් ඉන්ද්‍රිය සංවර ආදී ගුණයන් දියුණු කරගත හැකිය.
4. ‘කච්‌චි නු ඛො මෙ අත්‌තා සීලතො න උපවදතී’ති පබ්‌බජිතෙන අභිණ්‌හං පච්‌චවෙක්‌ඛිතබ්‌බං.
කිමෙක් ද මාගේ සිත සීලය හේතුවෙන් උපවාද නො කෙරේදැ’යි පැවිද්දා විසින් නිතර ප්‍රත්‍යවේක්ෂා කල යුතුය.
ස්වකීය හෘදය ශාක්ෂියෙන් තමාගේ සීලය පිළිබඳව තමාට චෝදනා නොනැගෙන්නේ දැයි පැවිද්දි නිතර සිහිපත් කල යුතුය. එවිට තමාගේ සීල පාරිශුද්ධිය තමා තුලින්ම ගොඩ නැගේ.
5. ‘කච්‌චි නු ඛො මං අනුවිච්‌ච විඤ්‌ඤූ සබ්‍රහ්‌මචාරී සීලතො න උපවදන්‌තී’ති පබ්‌බජිතෙන අභිණ්‌හං පච්‌චවෙක්‌ඛිතබ්‌බං.
කිමෙක් ද පණ්ඩිත වූ සබ්‍රහ්මචාරීන් වහන්සේලා, විමසා කරුණු දැන සීලය හේතුවෙන් මට උපවාද නො කෙරෙත් දැ'යි පැවිද්දා විසින් නිතර ප්‍රත්‍යවේක්ෂා කල යුතුය.
තමාගේ දොස් තමාට නොපෙනෙන හෙයින් එක්ව සීල සමාධි ප්‍රඥා දියුණු කරන පැවිද්දන්ගෙන් සීලය පිළිබඳ චෝදනා නොනැගේදැයි පැවිද්දා නිතර සිහිපත් කල යුතුය. එමගින් තමාගේ සැඟවුන කෙලෙසුන් ද විමසා සකසා ගත හැකිය.
6. ‘සබ්‌බෙහි මෙ පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො’ති පබ්‌බජිතෙන අභිණ්‌හං පච්‌චවෙක්‌ඛිතබ්‌බං.
ප්‍රිය වූ මනාප වූ හැමයෙන් මාගේ නානාභාවය, විනාභාවය වේ’යයි පැවිද්දා විසින් නිතර ප්‍රත්‍යවේක්ෂා කල යුතුය.
තමා ප්‍රිය කරන වස්තූන්ගෙන් වෙන්වන්නට වන බව පැවිද්දා නිතර සිහිපත් කල යුතුය.
එමගින් ත්‍රිලක්ෂණය නිතර භාවිතාවේ පවත්වා ගනිමින් කෙලෙස් දුරු කරගැනීමට උපකාර ලැබෙන්නේ වෙයි.
7. ‘කම්‌මස්‌සකොම්‌හි කම්‌මදායාදො කම්‌මයොනි කම්‌මබන්‌ධු කම්‌මපටිසරණො, යං කම්‌මං කරිස්‌සාමි කල්‍යාණං වා පාපකං වා තස්‌ස දායාදො භවිස්‌සාමී’ති පබ්‌බජිතෙන අභිණ්‌හං පච්‌චවෙක්‌ඛිතබ්‌බං.
කර්මය ස්වකීය කොට ඇත්තෙමි, කර්මය දායාද කොට ඇත්තෙමි, කර්මය යෝනි කොට ඇත්තෙමි, කර්මය බන්ධු කොට ඇත්තෙමි. යම් කල්‍යාණ වූ හෝ පාප වූ හෝ කර්මයක් කරමි නම් එයට දායාද වෙමි යැයි පැවිද්දා විසින් නිතර ප්‍රත්‍යවේක්ෂා කල යුතුය.
මෙසේ මෙනෙහි කිරීම කර්මානුකූලව සිදුවන ධර්මයන් හමුවේ අටලෝ දහමින් කම්පා නොවී සිටීම හෙවත් තාදී ගුණය දියුණු කරගැනීමට උපකාරී වේ.
8. ‘කථංභූතස්‌ස මෙ රත්‌තින්‌දිවා වීතිවත්‌තන්‌තී’ති පබ්‌බජිතෙන අභිණ්‌හං පච්‌චවෙක්‌ඛිතබ්‌බං.
කුමක් කරන්නා වූ මාගේ රෑ දවල් ඉක්ම වන්නේ දැ”යි පැවිද්දා විසින් නිතර ප්‍රත්‍යවේක්ෂා කල යුතුය.
වත පිලිවෙත කරමින්, ධර්ම විනය හදාරමින්, සමථ විදසුන් වඩමින් තමාගේ කාලය අර්ථවත්ව ගෙවෙන්නේ ද නොමැති නම් කම්මාරාමතා ආදියෙහි යෙදෙමින් කාලය අපතේ දමන්නේ දැයි පැවිද්දා විසින් නිතර සිහිපත් කල යුතුය.
9. ‘කච්‌චි නු ඛො අහං සුඤ්‌ඤාගාරෙ අභිරමාමී’ති පබ්‌බජිතෙන අභිණ්‌හං පච්‌චවෙක්‌ඛිතබ්‌බං.
කිමෙක් ද මම ශූන්‍යාගාරයෙහි සිත් අලවා වාසය කරමි දැ”යි පැවිද්දා විසින් නිතර ප්‍රත්‍යවේක්ෂා කල යුතුය.
අරණ්‍ය, වෘක්ෂ මූල, ශුන්‍යාගාර ආදියෙහි සිත් අලවා වාසය කරමින් නිවනට මග වඩන්නේ ද නැතිනම් කෙලෙසුන්ට වසඟව වාසය කරන්නේ දැයි පැවිද්දා විසින් නිතර සිහිපත් කල යුතුය.
10. ‘අත්‌ථි නු ඛො මෙ උත්‌තරි මනුස්‌සධම්‌මො අලමරියඤාණදස්‌සනවිසෙසො අධිගතො, සොහං පච්‌ඡිමෙ කාලෙ සබ්‍රහ්‌මචාරීහි පුට්‌ඨො න මඞ්‌කු භවිස්‌සාමී’ති පබ්‌බජිතෙන අභිණ්‌හං පච්‌චවෙක්‌ඛිතබ්‌බං.
“උත්තරීතර වූ මනුෂ්‍යයන් සතු, ආර්ය ඥානදර්ශන යැයි කීමට සුදුසු ගුණ විශේෂයක් මා විසින් ලබාගෙන තිබේ දැයි, ඒ මම අවසාන කාලයෙහි සබ්‍රහ්මචාරීන් වහන්සේලා විසින් විමසන ලදුව ගොළු නොවෙමි යැයි පැවිද්දා විසින් නිතර ප්‍රත්‍යවේක්ෂා කල යුතුය.
පැවිද්ද නම් නිවන පිනිසමය යන්න දැන, තමා නිවනින් කොතෙක් දුර ද, නිවනට කෙතරම් සමීප ද යන්න විමසා, හිස් නොවූ මිනිසකු සෙයින්, උතුම් බුද්ධ පුත්‍රයකු සෙයින් වාසය කිරීම පිනිස පැවිද්දා නිතර සිහිපත් කල යුතුය.
මෙකී අංග දසය නිතර මෙනෙහි කරන්නා වූ භික්ෂුව වනාහී හිස් නොවූ ජීවිතයක් ගත කරන උත්තම වූ භික්ෂූන් වහන්සේ නමකි. එකී ගුණ තව ද වර්ධනය කර ගැනීම පිනිස පහත පරිදි තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මයන් පිලි පැදීම ද පැවිද්දා විසින් කල යුතුය.
‘‘යාවකීවඤ්‌ච, භික්‌ඛවෙ, භික්‌ඛූ අපඤ්‌ඤත්‌තං න පඤ්‌ඤපෙස්‌සන්‌ති, පඤ්‌ඤත්‌තං න සමුච්‌ඡින්‌දිස්‌සන්‌ති, යථාපඤ්‌ඤත්‌තෙසු සික්‌ඛාපදෙසු සමාදාය වත්‌තිස්‌සන්‌ති, වුද්‌ධියෙව, භික්‌ඛවෙ, භික්‌ඛූනං පාටිකඞ්‌ඛා, නො පරිහානි. (මහාපරිනිබ්බාන සූත්‍රය)
මහණෙනි, යම්තාක් මහණහු නොපැනවූ දෙයක් නො පනවන්නාහු ද, පැනවූ දේ නො සිඳින්නාහු ද, පැනැවූ තාක් සිකපද සමාදන් ව ගෙන පවත්නාහු ද, ඒතාක් මහණුනට වැඩීම ම බලාපොරොත්තු විය යුතුය, පිරිහීම නොම බලාපොරොත්තු විය යුතුය.
එනම්, ශාසනයේ හිමිකරු, අයිතිකරු, භාරකරු යනාදී සියල්ල දරා සිටින්නේ භාග්‍යවතුන් වහන්සේ බැවින්, භාග්‍යවතුන් වහන්සේ පනවා වදාළ ආකාරයෙන්ම ශ්‍රාවකයා හික්මෙනතාක් කල්, ශ්‍රාවකයාගේ පරිහානියක් සිදු නොවන්නේය. භාග්‍යවතුන් වහන්සේ පනවා වදාළ නියමයන්ට පටහැනි යමක් අලුතෙන් පනවන්නේ වෙයි ද, පනවා ඇති නියමයක් කඩන්නේ වෙයි ද, එකල්හි ශ්‍රාවකයා පිරිහෙන්නේය.
එකී පරිහානියෙන් මිදෙනු පිණිස පනවා වදාළ පරිදිම හික්මීම කල යුතුය.
‘‘යාවකීවඤ්‌ච, භික්‌ඛවෙ, භික්‌ඛූ න කම්‌මාරාමා භවිස්‌සන්‌ති න කම්‌මරතා න කම්‌මාරාමතමනුයුත්‌තා, වුද්‌ධියෙව, භික්‌ඛවෙ, භික්‌ඛූනං පාටිකඞ්‌ඛා, නො පරිහානි.
මහණෙනි, යම්තාක් මහණහු කර්මාරාම (උද්දේසාදිය හැර සිවුරු කිරීම්, ඉදිකිරීම් ආදි කටයුත්තෙහි පමණක් ම යෙදුණෝ) නො වන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩිම ම බලාපොරොත්තු විය යුතුය, පිරිහීම නොම බලාපොරොත්තු විය යුතුය.
පැවිද්ද නම් නිවන පිණිසමය. නිවන පිණිස පවතින ශාසනය තුලට වී කම්කරු රැකියා කරන්නේ නම් හෝ කරවන්නේ නම් හෝ එකී භික්ෂුවට පරිහානිය නියතය. වැළැක්විය නොහැක.
‘‘යාවකීවඤ්‌ච, භික්‌ඛවෙ, භික්‌ඛූ මෙත්‌තං කායකම්‌මං..... මෙත්‌තං වචීකම්‌මං..... මෙත්‌තං මනොකම්‌මං පච්‌චුපට්‌ඨාපෙස්‌සන්‌ති සබ්‍රහ්‌මචාරීසු ආවි චෙව රහො ච, වුද්‌ධියෙව, භික්‌ඛවෙ, භික්‌ඛූනං පාටිකඞ්‌ඛා, නො පරිහානි.
මහණෙනි, මහණහු යම්තාක් සබ්රම්සරුන් කෙරෙහි හමුයෙහිත් නොහමුයෙහිත් මෛත්‍රීමය කායකර්මය.... මෛත්‍රීමය වාක්කර්මය.... මෛත්‍රීමය මනඃකර්මය එළවා තබන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුන් විසින් වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු.
එසේ බුද්ධ අවවාදය අනුව හික්මෙන්නා වූ භික්ෂුව සෙසු භික්ෂූන් වහන්සේලා ඇති තැනත්, නැති තැනත් මෛත්‍රී සිතින්ම වාසය කල යුතුය. එසේ නොවන්නේ නම් ශාසන අභිවෘද්ධිය පිණිස කල්‍යාණමිත්‍ර උපකාරයක් ලබන්නේ කෙසේද?
එසේම භික්ෂූත්වය යනු සීල සමාධි ප්‍රඥා ගුණ දියුණුව මතම රඳා පවතින්නක් බව ඉඳුරාම දත යුතුය. නොමැත්තේ නම් එය පුස්සකි.
No comments:
Post a Comment