Monday, January 16, 2017

දුස්සීලයා හමුවේ ජාතික සටනේ අනාගතය.




සිංහල ජාතිය සටනකය. එයද හුදු ලෞකික සටනක් නොව ධර්මයේත් ධර්මය ආරක්ශා කරන රටෙත් රට ආරක්ෂා කරන ජාතියේත් අනාගතය තීරණය වන සටනක්ය. එසේම සැබෑ බෞද්ධයකුට මග නොහැරිය හැකි උතුම් සේවයක එක කොටසක්ය.

එනමුත් එකී සටන නිවැරදි මග යනවාද යන්න ගැටලුවක් වෙමින් පවතී. කුමක් හෙයින් යත් විවිධාකාරයේ සටන් පැවතියේද ජයග්‍රහණ පෙනෙන්නට නොතිබීමයි. එබැවින් ජය ලැබූ සටන් පිළිබඳව විමසා බැලීම වටියි.

සිංහලයා ජයගත් සටන් අතර ප්‍රසිද්ධම සටන නම් දුටුගැමුණු මහරජු එළාර හා සටන් වැදීමයි. ඉන් පසුකාලීනව විදේශ ආක්‍රමණයන් පවා සිදුවූ නමුදු එබඳු විශේෂ චරිතයක් හමුවන්නේ නැත. එය පරමාදර්ශී චරිතය සේම පරමාදර්ශී සටනද වේ.

ඒ සටන දෙස බලන කල පෙනෙන කරුණ නම් එය හුදෙක් රජවරුන් දෙදෙනෙකු අතර රාජ්‍යත්වයේ උරුමය සඳහා සිදුවූවක් නොවන බවයි. එය තුල ඉන් එහාට ගිය සුවිශේෂත්වයක් ගැබ්ව තිබෙන බව මොනවට පැහැදිලි වේ.

එම සටන සිදුවන්නේ ආක්‍රමණිකයකුට විරුද්ධවයි. එයද ආක්‍රමණිකයාට එරෙහිව සිදුවන අමානුෂික ප්‍රහාරයක් නොව ආක්‍රමණිකයා දමනය කරගැනීමක් පමණක් වෙයි. එසේම එතුලින් බලාපොරොත්තු වන්නේ ස්වකීය රටතුල සියලු ජනයාට සුවසේ වාසය කල හැකි වාතාවරණයක් ඇති කිරීම සේම එකී ජනතාවට ධාර්මික ජිවිත ගතකරමින් දෙලොව වැඩ සාදා ගැනීමට මංපෙත් විවර කරවීමයි.

කෙසේ නමුත් සටන මෙහෙයවන්නේ හුදෙක් තම අභිමතාර්ථ මත පමණක් නොව සුවිශේෂ උපදේශක මණ්ඩලයක අධීක්ෂණය යටතේය. ඒ අධීක්ෂණ මණ්ඩලය නිසාවෙන්ම එකී සටන හුදු සංග්‍රාමයක් නොවී පාපයෙන් අල්ප අර්ථයෙන් සපිරුණු සටනක් විය. එබැවින්ම මාර පරාජයක් මිසෙක රාජ්‍ය සුඛ විහරණ අභිලාශයක් ඉන් සිදු නොවිය.
නොඑසේ නම් රහත් ඵලයට පත් වූ උතුමන් වහන්සේලාගේ උපදෙස් මත මනුශ්‍යඝාතන අවම කරගනිමින් සතුරා පරාජය කරමින් රට එක්සේසත් කොට ධර්මය ස්ථාපිත කර රට සුඛිත මුදිත කරවීමක් පමණක් එතුලින් සිදුවිය.

එහිදී ඇතැමෙකුට මෙසේ සිත්විය හැකිය. “රහතන් වහන්සේ ප්‍රාණඝාතයෙන් වෙන් වන සේක. අනුබලද නොදෙන සේක. එසේ නම් කෙසේ යුද්ධයට ආශීර්වාද කල සේක් ද?” යනුවෙනි. ඒ මෙසේය.
කෙසේද යත්;

“වජ්ජීන් හා යුධ වදිනු කැමැති වූ අජාසත් රජු යුද්ධය ජය කවරෙකුට හිමිදැයි දැනගනු වස් වස්සකාර මහාමාත්‍යවරයා බුදුරජාණන්වහන්සේ හමුවට යවන ලදි. එහිදී වජ්ජීන් හා යුධ කැමති බව දන්වන ලද කල වජ්ජීන්ට තමන් වහන්සේ දෙසූ සප්ත පරිහානි ධර්ම පිළිපදින තාක් ඔවුන්ගේ පරිහානියක් නොවන බව දේශනා කල සේක.

එයින් අවස්තාවාදී වූ වස්සකාර අමාත්‍යවරයා යුධ ජය නම් පෙළඹවීම මගින් හෝ මිත්‍ර බේධයකින් හෝ සිදුකල යුතු බව සිතා ගත්තේය.
එනමුත් බුදුරජාණන්වහන්සේ වජ්ජීන් පිළිපදින සප්තාපරිහනි ධර්ම පිලිබඳ දේශනා කලේ වජ්ජීන් පිලිබඳ අවැඩ සිතකින් හෝ නොවේය. අජාසත් රජු හා හිතෛෂී බවකින්ද නොවේය. තථාගතයාණන් වහන්සේ ඒ මොහොතේ දේශනා කලේ ධර්මතාවයයි. එම ධර්මතාවය එක් එක් පුද්ගලයාට එක් එක් අයුරින් භාවිතා කල හැකිය. එයින් බුදුරජාණන්වහන්සේට කිසි බලපෑමක් සිදු නොවේ. එය යහපත් ලෙස භාවිතා කරන්නාට යහපතක් සේම අයහපත් ලෙස භාවිතා කරන්නාට අයහපතක් සිදුවන බව ඒකාන්ත සත්‍ය වේ. එය කිසිවකුට වෙනස් කල නොහැකි වේ.

යම් ලෙසකින් වස්සකාර අමාත්‍යවරයාගේ උපක්‍රමයකින් වජ්ජීන් බිඳෙන්නේ හෝ පරාජය වන්නේ නම් එය බුදුරජාණන්වහන්සේගේ වරදක් නොව වජ්ජීන්ගේම වරදකි. කිමද යත් සප්ත අපරිහානි ධර්මයෙන් බැහැර වූ කල්හිම ඔවුහු පිරිහෙන බැවිනි.

එසේ වරදකාරී නොවී මධ්‍යස්ථභාවය තුල පිහිටා සිටිමින් කටයුතු කිරීමේ හැකියාවක් බුදු පසේබුදු මහරහත් උතුමන් සතුව පවතී. ඒ හැකියාව උපයෝගී කරගනිමින් එදා මහරහතන් වහන්සේලා දුටුගැමුණු මහරජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළා විනා මනුෂ්‍ය ඝාතනයට කිසි ලෙසකින්වත් සහය නොදුන් සේක. එබැවින්ම දුටුගැමුණු මහරජ විශිෂ්ඨ ජයක් ලැබීය.

එකී අවවාද අනුශාසනා මැද කටයුතු කල දුටුගැමුණු මහරජුගේ දසරාජ ධර්මයෙන් හෙබි මහරජකු බැවින් දානය, සීලය, පරිත්‍යාගය, සෘජුබව, මෘදුබව, කෙලෙස් තැවීම, ක්‍රෝධ නොකිරීම, අවිහිංසාව, ඉවසීම, අවිරෝධ බව යන එකී ගුණාංග මනාව පිහිටියේ විය. එබැවින් ඔහු කියන දේ කරන කරන දේ කියන මහරජකු විය. සිල්වත් ගුණවත් විය. රාජ්‍ය උණුසුමින් හිස උදුම්මවාගත් කුමාරයකු නොවී ගමේ පැලකට වී ගොවිතැනක් බතක් කරගැනීමට තරම් නිහතමානී විය. එසේම ගැමි තරුණියක් විවාහ කරගෙන ඇයට පමණක් පෙම් බදින්නට තරම් අවංක විය. සල්ලාලායකු නොවීය. ජනයා පෙලා තම සුඛ විහරණය සාදා ගත්තකු නොවී ජනයා වෙනුවෙන් සැබෑවට දුක් උහුලන්නකු විය.
රටට ලෝකයාට පෙනීසිටීම වෙනුවෙන් පිරිකරයක් ඔසවාගෙන අලජ්ජියකුට පුදා පිරිත් කඹයක් ගැටගසා ගත්තා නොව අවංකවම හදවතින්ම ධර්මය පිලිපැද්දකු විය. ධර්මයට සත්කාර කල ධර්මයට ගරු කල ධර්මයට මානනය පූජනය කල ධර්මය ධජයක් සේ දරාගත් කේතුවක් සේ ධරාගත් ධාර්මිෂ්ටයකුම වුවා විනා මායා සාඨෙය්‍ය පිරී හිස් මිනිසකු නොවීය. එබැවින්ම ධර්මය ඔහු සමග විය. එතුලින්ම එකී සියලු ජයග්‍රහණ ලැබීය.

වත්මන් ජාතික සටන ඒ හා සසඳා බලන කල දැකිය හැකි ප්‍රධාන අඩුපාඩු කිහිපයකි. අරමුණ ඉන් ප්‍රධාන තැනක් ගනී.

අද ජාතික සටනේ නිරත වන්නන් සටන් කරන්නේ ධාර්මික ජීවනයක් උදෙසා නොවන බව ඉඳුරාම පැහැදිලිය. එකී සටන සිදුවන්නේ ආක්‍රමණිකයාගෙන් රට ජාතිය ආරක්ෂා කර ගැනීමටය.
එයද යහපත් අරමුණකි. එනමුත් ධර්මය සුරක්ෂිත කිරීම යන අරමුණ ප්‍රමුඛස්ථානය ගෙන නොමැති වීම දුටුගැමුණු සටන හා ඇති වෙනස්කමයි. එසේම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කල යුතු අධීක්ෂණ මඩුල්ල සටනට අවතීර්ණ වීම ඉතාමත් දුර්වල ලක්ෂණයකි.
සටනකදී සටන මෙහෙයවන්නන් රහසිගත විය යුතුය. ඔවුන් සටනට බැසිය යුත්තේ කල හැකි අන් දෙයක් නැත්තේනම් එනම් යටත් නොවී අවසානය දක්වා කරන සටනකදීය. එසේ නොමැති අවස්තාවක සටන මෙහෙයවන්නන් සටනට බැසීම යනු දුර්වල සටන් න්‍යායකි. එය මේ ජාතික සටනේ සිදු වේ.

එසේම සටනෙහි නිරත ගිහි පැවිදි උභය පාර්ශවය ආත්මාරක්ෂාව සකසාගෙන නොතිබීමද විශේෂයෙන් කැපී පෙනෙන්නකි. එය නම් අන් කිසිවක් නොව ධර්මයෙහි ආරක්ෂාවයි

මේ සටන සිදු කරන්නේ අධර්මයට එදිරිවය. අධර්මයට එදිරිව ධර්මය විසින් සිදුකරන සටනකදී අධර්ම බලය දුරු කිරීමට ප්‍රමාණවත් ධර්ම බලයක් තිබිය යුතුය. එනමුත් එය පිරිස් බලය මත රඳාපවතින්නක් නොවේය.

ධර්මය ස්වභාවයෙන්ම අධර්මයට වඩා බලවත්ය. එබැවින් බහුතර අධර්ම පිරිස් බලයක් වුවද සුළුතර ධාර්මික පිරිස් බලයකින් යටපත් කල හැකිය. එහිදී වැදගත් වන්නේ ධාර්මික පාර්ශවයේ ගුණාත්මකභාවය වේ.
යම් ලෙසකින් සිංහල ජනයා ජාතිය වෙනුවෙන් කරන සටනකදී පරිහානියට හේතුවන ධර්මතා අනුගමනය කරයි නම් කෙතරම් සටන් කලද පලක් නොවන්නේය. දුස්සීල භාවය එක් ප්‍රධාන කරුණකි.
දුස්සීල භාවය නිසා සිදුවන්නේ පරිහානියම පමණි. ඒ මෙසේය.

“පඤ්චිමේ ගහපතයෝ ආදීනවා දුස්සීලස්ස සීලවිපත්තියා. කතමේ පඤ්ච.
ඉධ ගහපතයෝ දුස්සීලෝ සීලවිපන්නෝ පමාදාධිකරණං මහතිං භෝගජානිං නිගච්ඡති. අයං පඨමෝ ආදීනවෝ දුස්සීලස්ස සීලවිපත්තියා.

පුනචපරං ගහපතයෝ දුස්සීලස්ස සීලවිපන්නස්ස පාපකාකිත්තිසද්දෝ අබ්භුග්ගච්ඡති. අයං දුතියෝ ආදීනවෝ දුස්සීලස්ස සීලවිපත්තියා.

පුනචපරං ගහපතයෝ දුස්සීලෝ සීලවිපන්නෝ යක්ඤදේව පරිසං උපසඞ්කමති යදි ඛත්තියපරිසං යදි බ්‍රාහ්මණ පරිසං යදි ගහපති පරිසං යදි සමණ පරිසං, අවිසාරදෝ උපසඞ්කමති මඞ්කුභූතෝ. අයං තතියෝ ආදීනවෝ දුස්සීලස්ස සීලවිපත්තියා.

පුනචපරං ගහපතයෝ දුස්සීලෝ සීලවිපන්නෝ සම්මූළ්හෝ කාලං කරෝති. අයං චතුත්ථෝ ආදීනවෝ දුස්සීලස්ස සීලවිපත්තියා.

පුනචපරං ගහපතයෝ දුස්සීලෝ සීලවිපන්නෝ කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති. අයං පඤ්චමෝ ආදීනවෝ දුස්සීලස්ස සීලවිපත්තියා.

ඉමේ ඛෝ ගහපතයෝ පඤ්ච ආදීනවා දුස්සීලස්ස සීලවිපත්තියා.”
(දීඝ නිකාය, මහා වර්ගය, මහා පරිනිර්වාණ සුත්‍රය)

ගෘහපතියනි දුස්සීලයාගේ සීල විපත්තියේ ආදීනව පසෙකි. කවර පසක්ද?
ගෘහපතියනි දුස්සීලයා සීලය බිඳුණු තැනැත්තා ප්‍රමාදවීම හේතුවෙන් මහත් බෝග හානියට පැමිණෙයි. මෙය දුස්සීලයාට සීල විපත්තියේ පළමු ආදීනවය වෙයි.

නැවතද ගෘහපතියනි දුස්සීල සිල් බිඳුණු තැනැත්තාට ළාමක අකීර්තියක් (නින්දාවක්) ගොඩනැගෙයි. මෙය දුස්සීලයාට සීල විපත්තියේ දෙවන ආදීනවය වෙයි.

නැවතද ගෘහපතියනි දුස්සීලයා සීලය බිඳුණු තැනැත්තා යම් ක්ෂත්‍රිය පිරිසක් හෝ බ්‍රාහ්මණ පිරිසක් හෝ ගෘහපති පිරිසක් හෝ ශ්‍රමණ පිරිසක් හෝ වෙත එළැඹෙයි ද බියෙන් සැකෙන් එළැඹෙන්නේ වෙයි. මෙය දුස්සීලයාට සීල විපත්තියේ තෙවන ආදීනවය වෙයි.

නැවතද ගෘහපතියනි දුස්සීලයා සීලය බිඳුණු තැනැත්තා සිහි මුළාවී කලුරිය කරයි. මෙය දුස්සීලයාට සීල විපත්තියේ සිව්වන ආදීනවය වෙයි.

නැවතද ගෘහපතියනි දුස්සීලයා සීලය බිඳුණු තැනැත්තා කා බුන් මරණින් මතු වහා වැටෙන සුළු වූ දුක් ඇත්තා වූ සුව පහවුනාවූ නිරයෙහි උප්පත්තිය ලබයි. මෙය දුස්සීලයාට සීල විපත්තියේ පස්වන ආදීනවය වෙයි.
ගෘහපතියනි මේ දුස්සීලාගේ සීල විපත්තියේ ආදීනව පස වෙයි.

ඉහත ලක්ෂණ වලින් හෙබි යම් සිංහල ජනතාවක් සිටියිද එකී ජනතාව නිසාවෙන්ම ජාතික සටන පිරිහෙන්නේ වෙයි.

සිංහල ජාතිය ප්‍රමාදයට පත්වීම නිසාවෙන් මහත් බෝග හානියක් ලඟා කරගන්නා බව ප්‍රත්‍යක්ෂයකි. කෙසේද යත්,

ලාංකිකයෝ ඉවත ලෑ දඬු කැබලිද පැලකරවීමට සමත් භූමියක ඉපද සිටියද සියල්ලම ගෙනෙන්නේ පිට රටිනි. ස්වල්පයක් මෙරටෙහි වවා බහුතරය රටින් ගෙන්වීමට එක ප්‍රධාන හේතුවක් නම් දුස්සීල භාවයේ ආදීනවයි.

සුරා පානය වැනි අධම ක්‍රියා නිසාවෙන් අපතේ යන ධනයම කෙතරම්ද?
එසේම සොරකම කාම මිත්‍යාචාරය මුසාව යනාදී අකුසල ධර්ම නිසා ධන හානි බවභෝග හානි සේම සෙසු දුසිල්බවෙහි ආදීනවද ලඟාකරගන්නා සිංහලයා තමා විසින්ම ජාතිය වනසමින් සිටින්නේ වෙයි. එසේ කටයුතු කරන ඔහුට විරුද්ධාම අධර්මයට අමුතුවෙන් කල යුත්තක් නැත.

යකඩයෙහිම හටගන්නා මල යකඩය වනසන්නා සේ සිංහලයා තුලම ඇති දුස්සීල භාවය සිංහලයා වනසන්නේ වෙයි.

යම් ලෙසකින් සිංහලයා සිල්වත් නම් ඔහුට පහත ආනිසංස ළඟාකරගත හැකිය.

”පඤ්චිමේ ගහපතයෝ ආනිසංසා සීලවතෝ සීලසම්පදාය. කතමේ පඤ්ච?
ඉධ ගහපතයෝ සීලවා සීලසම්පන්නෝ අප්පමාදාධිකරණං මහන්තං භෝගක්ඛන්ධං අධිගච්ඡති. අයං පඨමෝ ආනිසංසෝ සීලවතෝ සීලසම්පදාය.

පුනචපරං ගහපතයෝ සීලවතෝ සීලසම්පන්නස්ස කල්‍යාණෝ කිත්තිසද්දෝ අබ්භුග්ගච්ඡති. අයං දුතියෝ ආනිසංසෝ සීලවතෝ සීලසම්පදාය.

පුනචපරං ගහපතයෝ සීලවා සීලසම්පන්නෝ යක්ඤදේව පරිසං උපසඞ්කමති යදි ඛත්තියපරිසං යදි බ්‍රාහ්මණ පරිසං යදි ගහපති පරිසං යදි සමණ පරිසං, විසාරදෝ උපසඞ්කමති අමඞ්කුභූතෝ. අයං තතියෝ ආනිසංසෝ සීලවතෝ සීලසම්පදාය.

පුනචපරං ගහපතයෝ සීලවා සීලසම්පන්නෝ අසම්මූළ්හෝ කාලං කරෝති. අයං චතුත්ථෝ ආනිසංසෝ සීලවතෝ සීලසම්පදාය.

පුනචපරං ගහපතයෝ සීලවා සීලසම්පන්නෝ කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උප්පජ්ජති. අයං පඤ්චමෝ ආනිසංසෝ සීලවතෝ සීලසම්පදාය.

ඉමේ ඛෝ ගහපතයෝ පඤ්ච ආනිසංසා සීලවතෝ සීලසම්පදාය.”

ගෘහපතියනි සිල්වතාගේ සීල සම්පත්තියෙහි ආනිසංස පසෙකි. කවර පසක්ද?

ගෘහපතියනි සිල්වතා සීල සම්පන්න තැනැත්තා අප්‍රමාදවීම හේතුවෙන් මහත් භෝගස්කන්ධයක් ලබයි. මෙය සිල්වතාට සීල සම්පත්තියේ පළමු ආනිසංසය වෙයි.

නැවතද ගෘහපතියනි සිල්වත් සීල සම්පන්න තැනැත්තාට කල්‍යාණ කීර්තියක් ගොඩනැගෙයි. මෙය සිල්වතාට සීල සම්පත්තියේ දෙවන ආනිසංසය වෙයි.

නැවතද ගෘහපතියනි සිල්වතා සීල සම්පන්න තැනැත්තා යම් ක්ෂත්‍රිය පිරිසක් හෝ බ්‍රාහ්මණ පිරිසක් හෝ ගෘහපති පිරිසක් හෝ ශ්‍රමණ පිරිසක් හෝ වෙත එළැඹෙයි ද නොබියෙන් එඩිතරව එළැඹෙන්නේ වෙයි. මෙය සිල්වතාට සීල සම්පත්තියේ තෙවන ආනිසංසය වෙයි.

නැවතද ගෘහපතියනි සිල්වතා සීල සම්පන්න තැනැත්තා සිහි මුළානොවී සිහි ඇතිව කලුරිය කරයි. මෙය සිල්වතාට සීල සම්පත්තියේ සිව්වන ආනිසංසය වෙයි.

නැවතද ගෘහපතියනි සිල්වතා සීල සම්පන්න තැනැත්තා කා බුන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ දෙවුලොව උපත ලබයි. මෙය සිල්වතාට සීල සම්පත්තියේ පස්වන ආනිසංසය වෙයි.

ගෘහපතියනි මේ සිල්වතාගේ සීල සම්පත්තියෙහි ආනිසංස පස වෙයි. මෙය සිල්වතාට සීල සම්පත්තියේ පළමු ආනිසංසය වෙයි.

මෙකී ආනිසංස තුලින් යහපත් සමාජයක් ගොඩ නැගෙන කල භාහිර සතුරකුව පරාජය කිරීම එතරම් අපහසු කටයුත්තක් නොවන්නේය.

එබැවින් නොපමාව ධර්මය තුල හැසිරීම සිංහලයාගේ වගකීමක්ව පවතී.

No comments:

Post a Comment