Tuesday, January 3, 2017

සම්බුද්ධ ශාසනය සුරැකීම.







         සම්බුද්ධ පරිනිර්වානයෙන් අනතුරුව සාසන අනාගතය ගැන සැලකූ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහ රහතන් වහන්සේලා එක්ව ධර්ම විනය සංගායනා කොට පිටක නිකාය ආදී ලෙස සංග්‍රහ කොට බුද්ධ දේශනාව සුරක්ෂිත කරන ලදි.එසේ සුරක්ෂිත කරන ලදුයේ මහ තෙරැන් වහන්සේලා විසින් බැවින් එම ධර්ම විනය සංග්‍රහය ථෙරවාද නම් විය.නමුදු එහි ඇත්තේ තෙරුන් වහන්සේලාගේ වාද නොව පිරිසිදු තථාගත දේශනාවයි.ඒ බුද්ධ දේශනාවේ ගැඹුරු තැන් විග්‍රහ කොට අර්ථ දැක්වීම අට්ඨ කථාවයි.

        මේ ථේරවාද දර්ශනයෙහි ඇති විශේෂත්වය නම් විනය මූලික කොට විනය ගරු කොට අනෙක් කටයුතු සිදු කිරීමයි.එබැවින්ම සංගායනාවට පෙර කාශ්‍යප මහ රහතන් වහන්සේ කුමක් පළමුව සංගායනා කරමුදැයි විමසූ කළ ''විනයෝ නාම සාසනස්ස ආයු විනයං ඨතෙ සාසනං ඨිතං හොති'' යැයි වදාරා විනයම පළමු කොටම සංගායනා කරන ලදි.එය අර්ථාන්විතමය.කිමද විනයක් නොමැති තැන කිසිවක් නිවැරදිව කළ නොහැකිමය.සත්‍යාසත්‍ය භාවය වත්මන් ‍‍බෞද්ධයා තුලින්ම දැකගත හැකිය.

        විමසා බලන්න.මහනුවර යුගයේදී අප රටින් අතුරුදන්ව තිබූ සාසනය වැලිවිට සරණංකර හිමියන් විසින් ප්‍රතිෂ්ඨාපනය කරන ලදි.ඉන් පසුකාලීනව පැවිද්දා බටහිර ජාතීන්ගේ චින්තනයට යටත් වීමත් සමග ධර්ම විනය දෙවැනි තෙවැනි කොට ලාභසත්කාර පළමු කොට ගත්තේය.එයටම උචිත වූ අඥාන අදූරදර්ශී දායක කාරකාදීන් පිරිසක් ද බිහිවිය.ඒ තුලින් සංඝරත්නය තුල ඇත්තාවූ සාමීචි පටිපන්න ගුණය තම චිත්ත සන්තාන ජීවිකා භූමිකා තුලින් පැහැර හැර තම තමන්ගේ තෘෂ්ණා මානාදී කෙලෙස් ගිනි අවුලුවා ගැනීමට පැවිද්දා පෙළඹුනි.ගිහියාට මග පෙන්වීමට සිටි පැවිද්දා මග වරදවා ගැනීම හරහා ද තම හීන ලෞකික අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා පැවිද්දා කළ සෑම අකටයුත්තකටම සහය දීම හරහා ද ගිහියා පිරිහුනි.‍මෙලෙස ගිහි පැවදි උභය පාර්ශවයන් පිරිහීම හරහා පහර වැදුනේ අන් කිසිවකට නොව නිර්මල බුදු සමයටයි.

      නමුදු නිර්මල පිරිසිදු බුද්ධ වචනය තවම ජීවමානය. ප්‍රතිපත්ති මාර්ගයද තවම ජීවමානය.එබැවින් නිර්මල බුද්ධ සාසනය තවම අතුරැදන්ව නැති බව තරයේ අවධාරනය කරගත යුතුය.

     කුමන කුමන බාධා පැමිණිය ද මුල ශක්තිමත් බැවින්ම ථේරවාද බුදුසමය තවම සුරැකී ඇත.එය විවර කොට ගෙනහැර දැක්විය යුතු කාලයද එළඹ ඇත.බෞදධාබෞද්ධ කවරෙකු වුවද නිර්මල බුදුසමය විනාශ මුඛයට යැවීමට කටයුතු කරයිද එයට එදිරිව ධර්මානුකූලවම ශක්තිමත්ව මුහුණ දීමට තරම් ශක්තිමත් වූ ආර්ය උත්මයෝ මේ ලෝ ධාතුව තුල වැඩ සිටින්නේය.මතු බුදු පසේ බුදු මහරහත් ඵලයන් උදෙසා පෙරුම් පුරන්නා වූ බෝධිසත්වෝත්තමයෝ සම්බුද්ධ සාසනයන් සුරැකීමට නිරතුරුව කැපවී සිටින්නාහ.එබදු උතුමෝ සුදුසු කල්හි තම කටයුතු අරඹන්නාහ.මේ එබදු උතුමන් පහළ වීමට සුදුසු කාලයයි.එබැවින් මේ පිරිසිදු බුදු සමය පිලිබඳව කතා කළයුතු කාලයයි.නිවැරදි ධර්ම විනය ලොවට විවර කලයුතු කාලයයි.ධර්මානුකූලවම ශක්තිමත් විය යුතු කාලයයි.

පළමු දෙවන තෙවනාදී සෑම සියලුම සංගායනාවන් පැවැත්වීමට හේතු වුයේ ධර්මය අධර්මය කොට අධර්මය ධර්මය කොට විනය අවිනය කෙට අවිනය විනය කොට පිලිපදින ලද්දා වූ අලජ්ජී දුස්සීලයන් මේ පිවිතුරු සාසනය තුල පහල වූ බැවිනි.එබඳු බහිරවයන් බැහැර කොට සංගායනා කල ධර්ම විනය අනුව පිළිපැදිය යුතු කාලය එළඹ ඇත.ධර්මය නැවත සංගායනා කල යුතු නැත.එය නිර්මලව පවතී.එම ධර්මය අනුව පිළිපැදීම කළ යුතුය.

විමසා බලන්න.තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් ධර්ම වින‍ය පනවන්නේ සර්වඥතා ඥානයෙනි.එය අකාලිකය.කාලිකව ගත නොහැක.බුද්ධ කාලයෙහි රැකි සිල් වර්ථමානයෙහි රැකිය නොහැකි යැයි යමෙකු පවසනවානම් එය ධර්මයට කරන ලද්දා වූ නිගාවකි.බුදුරජාණන් වහන්සේට කරන ලද්දා වූ නිගාවකි. සර්වඥතා ඥානයට කල නිගාවකි.ඒ නිගාවෙහි විපාක ලෙසම එබදු අසත්පුරුෂයෝ මේ බුදු සසුනෙන් දුරුවේවා...!!! තථාගතයාණන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න සුගත ලෝකවිදූ අනුත්තරෝ පුරිසධම්මසාරථී සත්ථාදේවමනුස්සානං බුද්ධෝ භගවා වන්නේ නම් මේ බුදු සසුනෙන් අලජ්ජී දුස්සීලයන් දුරුව ලජ්ජී සීලවන්තයෝම බැබළේවා...!!! ධර්ම රත්නය ස්වාක්ඛාත සන්දිට්ඨික අකාලික ඒහිපස්සික ඕපනයික පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී නම් මේ බුදු සසුනෙන් අලජ්ජී දුස්සීලයන් දුරුව ලජ්ජී සීලවන්තයෝම බැබළේවා...!!! සංඝරත්නය සුපටිපන්න උජුපටිපන්න ඤායපටිපන්න සාමීචිපටිපන්න ආහුනෙය්‍ය පාහුනෙය්‍ය දක්ඛිනෙය්‍ය අංජලිකරණෙය්‍ය අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස නම් මේ බුදු සසුනෙන් අලජ්ජී දුස්සීලයන් දුරුව ලජ්ජී සීලවන්තයෝම බැබළේවා...!!! සියලු මනුෂ්‍ය අමනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම නාග යක්ඛ සුපර්ණාදී සත්පුරුෂ ආර්ය අනාර්ය නාම රූප ධර්මයෝ ගෞතම බුද්ධ සාසනය සුරැකිව බැබළවීමට දිවි පුදා ප්‍රතිපත්තියෙහි පිහිටා සහය දක්වත්වා...!!! ඒ උදෙසා සැමට කළ්‍යාණ මිත්‍ර සේවනය සද්ධර්මශ්‍රවනය යෝනිසෝ මනසිකාරයම වේවා...!!!

බෞද්ධ පින්වතුනි,මෙහිලා සිත යොදන්න.අසීමාන්තික ආශාවන් පසුපස දිව යෑමේ අර්ථය කුමක්ද?මිරිගුව කරා දිව ගොස් පිපාසිතව මියෙන මුලාවූ මුවකු මෙන් තෘෂ්ණාව පසුපස දිව ගොස් කෙලෙස් පිපාසයෙන් නොමියෙන්න.ධර්මාමෘතය තිබියදී හලාහල විෂ පානය නොකරන්න.පහන දැල්වෙද්දී අදුරෙහි අතපත නොගාන්න.ධර්ම රසය සියලු රසයන් පරදා සිටී.ධර්මය ඖෂධයකි.එය පානය කරන්න.සදාකාලික සැනසීම ලබාගත හැකිය.

ඔබ නිර්මල ධර්මය හැරදමා අධර්මය කරා යයිද ඒ හේතුවෙන් ඔබ පමණක් නොව සම්බුද්ධ සාසනය ද පිරිහෙන්නේය.ඔබ ධර්මය තුල හැසිරෙන කල සාසනය ද බබළන්නේය.මේ ධර්ම විනය තථාගතයාණන් වහන්සේගෙන් අප රටට ලැබුණා වූ මහාර්ඝ දායාදයකි.මැණිකෙහි පය හැපුණාවූ අන්ධයකු ලෙස නොහැසිර ප්‍රඥා ඇස විවර කර විමසා බලන්න.ධර්මය හැර අන් සරණක් කිසිවකුට නැත.එහි සරණ යෑම තුලින් තමන් සදාකාලිකව සැනසෙනු නියතය.ඒ ධර්මය තුල හැසිරීමෙන් ධර්ම විනයද බැබළෙනු ඇත.එය මතු පරපුරටද උරුම වනු ඇත.

යමෙකුට මේ සාසනය සුරැකීමට අවැසි නම් එය නිහඩවම කල හැකිය.මහත් ධනයක් වියදම් නොකොට වියදමකින් තොරවම කල හැකිය.කෙසේද යත් මේ සාසනය යනු ශීල සමාධි ප්‍රඥා යන ත්‍රි ශික්ශාවයි.ඔබ යටත් පිරිසෙන් පංච ශීලය සුරකිනවා නම් ඔබ සාසනය සුරැකි සත්පුරුෂයෙකි.ඔබ සමාධිය වඩයි නම් ඔබ සාසනය සුරැකි සත්පුරුෂයෙකි. ඔබ ප්‍රඥාව දියුණු කරයි නම් ඔබ සාසනය සුරැකි සත්පුරුෂයෙකි.ශබට මේ කටයුතු නිහඩවම කල හැකිය.වියදම් නොකොටම කල හැකිය.ඔබ එසේ කිරීමට තරම් නුවණැති වන්න.

බුදු දහම යනු යථාර්ථයයි.එය සුරැකීම බොහෝ දෙනාට හිත සුව පිණිස වන්නේය.එබැවින්ම එය සුරැකීම අප වගකීම වන්නේය.සියලු සුජාත සත්පුරුෂයෝ මෙහිලා සිත් යොදවත්වා.සියලු සත්වයෝම දුකින් මිදෙත්වා.සැමට සම්මා සම්බුදු සරණයි!!!


No comments:

Post a Comment