පසුගිය කාලයේ විශේෂයෙන් ප්‍රචාරය වූ දෘෂ්ටි අතර එක් මතයක් වූයේ //බුද්ධාගමේ බේරගන්න දෙයක් නෑ. බුද්ධාගමේ තියෙන්නේ උඹලට බේරෙන හැටි..!// යන මිත්‍යා මතවාදයයි. එය පැහැදිලිවම සාවද්‍ය මතයකි. එනමුත් ඒ මතවාදය නැවතද ප්‍රචාරය වනු දුටුහෙයින් මෙසේ ලිපියකින් පිළිතුර තැබීමට සිත් විය.
එකී මතයේ ඇති සාවද්‍ය බව කුමක්ද, සම්බුද්ධ ශාසනය ආරක්ෂා කල යුතුද නැතිද, ආරක්ෂා කල යුතු නම් ඒ කෙසේද, යන කාරණා පිළිබඳව මේ ලිපිය තුලින් සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙමි. නුවණින් පමණක් විමසන සේක්වා.
ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය යනු සුවිශේෂී ශාසනයකි. කිමද යත්, සාමාන්‍යයෙන් බුදුරජාණන්වහන්සේ නමක් ලොව පහල වනවාට වඩා අති සීඝ්‍රගාමී පාරමිතා ගමනක වැඩියාවූ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ, බොහෝ දුෂ්කර ක්‍රියා මධ්‍යයෙහි ලොවට ධර්ම දායාදය ලබා දී ශාසනය පිහිටුවා තිබීමයි. එකී ශාසනය බොහෝ ආකාර වලින් බෙදා විස්තර සහිතව දේශනා කර ඇත්තේ බොහෝ කාලයක් සත්වයාට අනුග්‍රහ ලබා දීම පිණිසයි.
ඒ උතුම් බුද්ධ දේශනාව ධර්මය, ශාසනය, ආගම, පරියත්තිය යනාදී විවිධ නම් වලින් හඳුන්වනු ලැබේ. එහි ආගම යන්න පිලිබඳ විවිධ මත තිබුණද, පාලි භාෂාවෙන් බුද්ධ දේශනාව ආගමකි. බටහිර චින්තනය අනුව ආගමක් නොවේ.
බටහිර චින්තනය අනුව ආගම - Religion යනු දෙවියන් හෝ ඒ හා සම්බන්ධ ආධ්‍යාත්මික නායකයන්ගේ ක්‍රියා කලාප එකතුවකි.
01. Religion - the belief in the existence of a god or gods, and the activities that are connected with the worship of them, or in the teachings of a spiritual leader - Oxford Advanced Learner's Dictionary
02. Religion - the belief in and worship of a god or gods, or any such system of belief and worship - Cambridge Dictionary.
ඒ අනුවම බුදු දහම යනු Religion නොවේ.
නමුත් පාලි භාෂාව අනුව ආගම යනු පැමිණීම, අවබෝධය, බුද්ධ දේශනාව, ධර්මය, ශාසනය යනාදී අර්ථ දෙන වචනයකි.
//නත්‌ථි තතොනිදානං පාපං, නත්‌ථි පාපස්‌ස ආගමො.// ( පූරණකස්‌සපවාදො)
ඒ හේතුවෙන් පාපයක් නැත. පාපයේ පැමිණීමක් නැත.
//ථෙරො භික්‌ඛු විහරති බහුස්‌සුතො ආගතාගමො ධම්‌මධරො විනයධරො මාතිකාධරො.// (චතුමහාපදෙසකථා, මහාපරිනිබ්බානසූත්‍රය)
බහුශ්‍රැත, ආගත ආගම, ධම්මධර, විනයධර, මාතිකාධර ථේර භික්ෂුන් වහන්සේ නමක් වාසය කරයි.
//තත්‌ථ දීඝාගමො නාම සීලක්‌ඛන්‌ධවග්‌ගො, මහාවග්‌ගො, පාථිකවග්‌ගොති වග්‌ගතො තිවග්‌ගො හොති; සුත්‌තතො චතුත්‌තිංසසුත්‌තසඞ්‌ගහො// (දීඝනිකායෙ සීලක්‌ඛන්‌ධවග්‌ගට්‌ඨකථා)
එහි දීඝ ආගම නම් සීලස්කන්ධ වර්ගය, මහා වර්ගය, පාථිකවර්ගය යැයි වර්ග වශයෙන් වර්ග තුනක් වෙයි. සූත්‍ර වශයෙන් තිස් හතරක සංග්‍රහයකි.
//ආගතාගමොති වාචුග්‌ගතපරියත්‌තිධම්‌මො//
ආගත ආගම යනු වාචෝද්ගත (වචනයෙන් හුරු කල) පර්යාප්ති ධර්මයයි.
//සඞ්‌ඝෙන අනුමතෙන පුග්‌ගලෙන අනුවිජ්‌ජකෙන අනුවිජ්‌ජිතුකාමෙන න උපජ්‌ඣායො පුච්‌ඡිතබ්‌බො....... න ආගමො පුච්‌ඡිතබ්‌බො..... // (පරිවාරපාලි)
සංඝයා විසින් අනුමත කල විනිශ්චය කරනු කැමති නඩු විසඳන්නා වූ පුද්ගලයා විසින් උපාධ්‍යායන් වහන්සේ නොවිමසිය යුතුය .... ආගම නොවිමසිය යුතුය.....
//න ආගමොති ‘‘දීඝභාණකොසි ත්‌වං මජ්‌ඣිමභාණකො’’ති එවං ආගමො න පුච්‌ඡිතබ්‌බො. //(පරිවාරපාලි අටුවා)
ආගම නොවිමසිය යුතුය යනු “ඔබ දීඝ නිකාය දේශනා කරන්නෙක් ද මධ්‍යම නිකාය දේශනා කරන්නෙක් ද” යැයි මෙසේ ආගම (දීඝාදී නිකාය, බුද්ධ දේශනාව හැදෑරීම) නොවිමසිය යුතුය.
මෙකී උදාහරණ තුලින් පෙනී යන්නේ බුද්ධ දේශනාව උදෙසා ආගම යන වචනය බුදුරජාණන්වහන්සේ විසින්ම භාවිතා කර ඇති පදයක් යන්නයි. එබැවින් බුද්ධ දේශනාව ආගමකි. ඒ පාලි භාෂාවෙන් හා බුදුරජාණන්වහන්සේගේ අර්ථයෙනි. බටහිර චින්තනය අදාළ කරගත යුතු නැත.
එසේ වූ බුද්ධ ආගම යනු කුමක්දැයි විමසිය යුතුය. ඒ ශාසනය නම් සුත්‌ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්‌තක, ජාතක, අබ්‌භුතධම්‌ම, වෙදල්‌ල යනාදී වශයෙන් නව ආකාරයකට ද, නිර්වාණ රස වශයෙන් එක් ආකාරයකට ද, ධර්ම විනය වශයෙන් දෙයාකාරයකට ද, සූත්‍ර, විනය, අභිධර්ම වශයෙන් තුන් ආකාරයකට ද, ආර්ය සත්‍ය වශයෙන් සිව් ආකාරයකට ද, දීඝ ආදී නිකාය වශයෙන් පස් ආකාරයකට ද, ස්කන්ධ අසූහාර දහසක් ලෙස ද බෙදා දැක්විය හැකි බුදුරජාණන්වහන්සේ දේශනා කල ධර්මයයි. බුද්ධ දේශනාවයි. බුද්ධ වචනයයි.
ඒ බුද්ධ දේශනාව වනාහී පිළිපැදීම තුලින් පමණක් 100% ආරක්ෂා කල හැක්කක් නොවේ. පිළිපැදීම තුලින් ආරාක්ෂා කල හැක්කේ ප්‍රතිපත්ති ප්‍රතිවේධ දෙක පමණි. ඒ දෙක ද තනි පුද්ගලයෙක් ආරක්ෂා කල පමණින් ශාසනය ආරක්ෂා කල හැකි නොවේ. උදාහරණයකට උපසම්පදාව සලකා බැලිය යුතුය.
උපසම්පදාව ලබා දීමේදී මාධ්‍ය දේශයේ නම් පිරිසිදු උපසම්පදාව සහිත භික්ෂූන් වහන්සේලා දහ නමක්, පාරිශුද්ධ සීමාවකට රැස්ව නවකයා උපසම්පදා කල යුතුය. ප්‍රත්‍යන්ත ජනපදයේ නම් අඩුම පස් නමක් සිටිය යුතුය.
පිරිසිදු උපසම්පදාව සහිත භික්ෂූන් වහන්සේලා පස් නමක් නොමැති නම් ප්‍රතිපත්ති ශාසනය අතුරුදහන් වේ. එබැවින් තනි පුද්ගලයකු රහත් වූයේ නමුදු ශාසනය රැකිය නොහැක.
එසේම ප්‍රතිපත්තිය රැකීමට නම් පර්යාප්තිය සුරක්ෂිත වී පැවතිය යුතුය.
එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ධර්ම සංගායනා නොකළේ නම් අද පර්යාප්තිය අතුරුදහන් වී යනු ඇත. පර්යාප්තිය නැති තැන ප්‍රතිපත්තිය නැත. ප්‍රතිපත්තිය නැති තැන ප්‍රතිවේධය නැත. එබැවින් ප්‍රතිපත්ති රැකි පමණින් ශාසනය රැකෙන්නේ නැත. නිවන් දුටු පමණින් ශාසනය රැකෙන්නේ නැත. පර්යාප්තිය රැකිය යුතුමය.
එහි පර්යාප්තිය රැකීම යනු වෙනමම කර්තව්‍යයකි.
වජ්ජිපුත්තක භික්ෂූන්ගේ දස අකැප වස්තුවේ පටන් අශෝක අධිරාජ්‍යයාගේ සමයෙහි තීර්ථකයන්ගේ ශාසන විලෝමය ද, නාලන්දා ආදී විශ්ව විද්‍යාල ගිනි තබා විනාශ කිරීම ද, බැමිණිතියා සාය වැනි උවදුරු ද යනාදී අනේකවිධ අතුරු අන්තරා මධ්‍යයෙහි, //බුද්ධාගමේ බේරගන්න දෙයක් නෑ. බුද්ධාගමේ තියෙන්නේ උඹලට බේරෙන හැටි..!// යන ගොබ්බ නපුංසක අධාර්මික මිත්‍යා මතය කරපින්නා ගත් රාජ රාජ මහාමාත්‍යයන් සහ භික්ෂූන් වහන්සේලා වැඩ සිටියේ නම්, අද වන විට ධර්මය වෙනුවට ඇත්තේ, මලකඩ ඇණ පිරුණු ආණි බෙරය වැනි වූ, සද්ධර්ම ප්‍රතිරූපක මත ගොඩක් පමණි. එවිට පර්යාප්තිය නැත. ප්‍රතිපත්ති ප්‍රතිවේද ගැන කවර කතා ද?
ඒ පර්යාප්තිය යනු වෙර යොදා රැකිය යුත්තකි. එනම්, බහුස්‌සුතා හොන්‌ති ධාතා වචසා පරිචිතා මනසානුපෙක්‌ඛිතා දිට්‌ඨියා සුප්‌පටිවිද්‌ධා යනාදී ආකාරයෙන් මනාව අසා ධාරණය කොටගෙන වචනයෙන් හුරුකොට මනසින් විමසා සම්‍යක් දෘෂ්ටියෙන් මනාව දැක පර්යාප්තිය දරාගෙන සිටිය යුතුය. එනම් මනාසේ ත්‍රිපිටකධාරී විය යුතුය. ඉන් අනතුරුව බොහෝ ශිෂ්‍ය පිරිසකට ධර්ම විනය ඉගැන්විය යුතුය.
ඒ කටයුතු නිකං හිටියාට වෙන දේවල් හෝ තමන් රහත් වූ පමණින් හෝ සිදුවන දේවල් නොවේය. ඒවා උත්සාහයෙන් යුතුව ධර්ම ප්‍රචාරය පිණිස වෑයම් කිරීමෙන් ලද යුතු ප්‍රතිපලයකි. එසේ නොකරන්නේ නම් පර්යාප්තිය අතුරුදන් වන්නේය.
එසේම වර්තමානයේ ත්‍රිපිටකය ඇත්තේ ග්‍රන්ථාරූඩ කිරීම් වශයෙන් හා තාක්ෂණික ක්‍රම වශයෙනි. එකී ග්‍රන්ථ විකෘති කර මුද්‍රණය කිරීම හරහා ද ධර්මය අතුරුදන් කරවීමට හැකිය. විකෘති ප්‍රචාරය බහුල වන්නේ නම් ප්‍රකෘතිය අතුරුදන් වීම පහසුවෙන් සිදු වන්නකි.
එසේම අධාර්මික බලය හරහා ධාර්මික භික්ෂුන් වහන්සේලා මර්ධනය කිරීම ද, ධර්ම විනය විනාශ කිරීම ද කල හැකි වේ. ඉන්දියාවේ, පාකිස්තානයේ ශාසනය අතුරුදහන් වූ ආකාරයෙනි.
එසේම භික්ෂූන් වහන්සේලා ධර්ම විනය නොම හදාරන්නේ නම් එයින් ද ධර්ම විනය අතුරුදහන් වීම සිදුවේ.
මේ ආකාරයට උත්සහ කර පර්යාප්ති ශාසනය ආරක්ෂා නොකරන්නේ නම් පර්යාප්තිය අතුරුදහන් වන්නේය. පර්යාප්තිය අතුරුදහන් වූ කල ප්‍රතිපත්තිය අතුරුදහන් වන්නේය. ප්‍රතිපත්තිය අතුරුදහන් වූ කල ප්‍රතිවේධය අතුරුදහන් වන්නේය.
ඒ ආකාරයෙන් ශාසනය වෙර යොදා, ශක්තිය යොදා, උත්සාහයෙන් ආරක්ෂා නොකරන්නේ නම්, වහා අතුරැදහන් වන්නේය. එබැවින් //බුද්ධාගමේ බේරගන්න දෙයක් නෑ.// යනුවෙන් යමෙක් පවසයි ද, ඔහු මුසාවක් පවසා ඇත. ශාසනයට බාධා පමුණුවා ඇත. ශාසන විලෝමයක් සිදු කොට ඇත. අකුසලයක් රැස් කරගෙන ඇත.
කුමක් නිසා ශාසනය රැකිය යුතුද යන්න විමසා සිටීම ශාසනය රැකීමට මහෝපකාරී වන්නේය. එබැවින් ශාසනය රැකිය යුත්තේ ඇයි ද යන්න මෙසේ විමසා සිටිමු.
භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කලේ සකල ලෝක වාසී සකල සත්ව වර්ගයාම දුකින් එතෙර කරවනු පිණිසය. එනම්, ජාති, ජරා, ව්‍යාධි, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස, අප්‍රිය සම්ප්‍රයෝග, ප්‍රිය විප්‍රයෝග යනාදී දුක්ඛස්කන්ධයෙන් මිදීම පිණිසය.
දුකින් මිදිය යුත්තේ දුකක් පවතින නිසාය. ඒ සත්වයා හට පවතින දුක පෙන්වා දී, එයින් මිදීම ද පෙන්වා දී, මිදෙන මාර්ගය ද පෙන්වා තිබේ නම්, සත්වයා මාර්ගය අනුගමනය කර දුකින් මිදෙන්නේය. එබැවින් දුකින් මිදෙන මාර්ගය පෙන්වා ඇති බුද්ධ ධර්මය ලොව පවතින තාක් සත්වයා එය අනුගමනය කර දුකින් මිදෙන්නේය. එබැවින් ධර්ම විනය ආරක්ෂා කල යුතුමය. අතීත උතුමන් වහන්සේලා ධර්ම විනය ආරක්ෂා කල නිසා වර්තමාන අපට එය ලැබී ඇත. අපද එය ආරක්ෂා කර අනාගත පරම්පරාවට නිර්මලව පිරිසිදුව ලබා දිය යුතුමය.
එනමුත් සත්වයා දුකින් මිදෙනවාට මාර පාක්ෂික බලවේග කැමති නැත. එබැවින් ධර්ම විනය විනාශ කිරීම පිණිස ඒ මාර පාක්ෂික බලවේග දැඩිව ක්‍රියාත්මක වන්නේය. ඒ වෙනුවෙන් //බුද්ධාගමේ බේරගන්න දෙයක් නෑ. බුද්ධාගමේ තියෙන්නේ උඹලට බේරෙන හැටි..!// වැනි අධාර්මික මතවාද මෙන්ම තවත් බොහෝ අශාසනික කටයුතු සිදු කරමින් ශාසනය විනාශ කිරීමට කටයුතු කරන්නේය. ඒ බව කල් තියා දැක, ශාසනය ආරක්ෂා කිරීම සත්පුරුෂ සැමගේ ශාසනික වගකීමකි. ඒ සඳහා සියලු සත්පුරුෂයෝ එකසේ කැප වෙත්වා...!!!
ශාසනය චිරාස්ථායී වේවා...!!!
අධර්මය නැසේවා...!!!
ධර්මය ස්ථාපිත වේවා...!!!

No comments:
Post a Comment