ලෝකයේ මිත්‍යා දෘෂ්ඨි දහයකි. ඒවා නම් ‘නත්‌ථි දින්‌නං, නත්‌ථි යිට්‌ඨං, නත්‌ථි හුතං, නත්‌ථි සුකට දුක්‌කටානං කම්‌මානං ඵලං විපාකො, නත්‌ථි අයං ලොකො, නත්‌ථි පරො ලොකො, නත්‌ථි මාතා, නත්‌ථි පිතා, නත්‌ථි සත්‌තා ඔපපාතිකා, නත්‌ථි ලොකෙ සමණබ්‍රාහ්‌මණා සම්‌මග්‌ගතා සම්‌මාපටිපන්‌නා යෙ ඉමඤ්‌ච ලොකං පරඤ්‌ච ලොකං සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා පවෙදෙන්‌තී’ති යන ඒවා වේ.
එනම්, දන් දීමෙහි විපාක නැත, මහා යාගයෙහි විපාක නැත, පිදීමෙහි විපාක නැත, යහපත් අයහපත් ක්‍රියාවන්ගේ විපාක නැත, පරලොව සිට මෙලොවට පැමිණීමක් නැත, මෙලොව සිට පරලොව යාමක් නැත, මවට කරන හොඳ නරකෙහි විපාක නැත, පියාට කරන හොඳ නරකෙහි විපාක නැත, ඕපපාතිකව උපදින සත්වයෝ නැත, මෙලොව පරලොව පිලිබඳ විශේෂයෙන් දන්නා, මනාවූ අභිඥාලාභී උතුමන් නැත යන මිත්‍යා දෘෂ්ඨීන් වේ.
මෙකී මිත්‍යාදෘෂ්ඨීන් කල්පයේ මුල් කාලයේ පටන් පවතින අතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහල වීමෙන් පසුව ඒවා කඩා දමා ලෝක සත්‍යය ලොවට හෙළි කරන සේක.
එසේ හෙලිකල සත්‍යය හෙවත් සම්මා දිට්ඨිය සෑම සියලු සත්වයකුටම පහසුවෙන් අවබෝධ කල හැකි නොවේ. වටහාගත හැකි නොවේ. ඒ උදෙසා විශේෂයෙන් දියුණු කල මනසක් පැවතිය යුතු අතර, මනස දියුණු කිරීමට නම් බොහෝ පුණ්‍ය ශක්තියක් ද පැවතිය යුතු වේ.
ඒ පුණ්‍ය ශක්තිය කරණකොටගෙන මනස දියුණු වීම ද, මනස දියුණුවීම කරණකොටගෙන පුණ්‍ය ශක්තිය වර්ධනය වීම ද සිදුවේ. ඒ තුලින් සම්‍යක්දෘෂ්ඨිය මිත්‍යාදෘෂ්ඨිය වෙන් කර වටහා ගැනීමේ හැකියාව ඇතිවේ. නමුත්,
ලෝකයෙහි සත්වයෝ අතරින් කුසල සංස්කාර රැස් කරන්නෝ ඉතාමත් අල්පය. එයින් ද උත්කෘෂ්ඨ කුසල් රැස් කරන්නෝ අතිශයින්ම දුලබය. එබැවින් සම්‍යක්දෘෂ්ඨිය මිත්‍යාදෘෂ්ඨිය වෙන් කර වටහා ගැනීමේ හැකියාව ලබන්නේ අතිශයින් සුළු පිරිසකි.
තවද, අකුසලය රජයන වර්තමානය වැනි අධාර්මික කාල වලදී, ලෝකයෙහි පංච දුශ්චරිතය බහුල වීම විශේෂයෙන් සිදුවේ. එසේම පූර්ව අකුසල ගෙවා දමා සතර අපායෙන් චුත වන සත්වයන් මනුෂ්‍ය තලයෙහි ප්‍රතිසන්ධි ගැනීම ද අධාර්මික සමයන්හිදී බහුලව සිදුවේ. ඒ අවශේෂ අකුසල් ගෙවා දමනු පිණිසය. එබැවින් ද ලෝකයෙහි ප්‍රාණඝාත ආදී අකුසලයෝ බහුල වේ. එසේ විවිධාකාරයෙන් අකුසල බහුල වන බැවින් සත්වයන්ගේ අකුසල විපාක බහුල වන අතර, කුසල විපාක සීමා සහිත වේ. කාල විපත්ති හා පයෝග විපත්ති බලපාන බැවිනි.
එසේ අකුසලය හා අකුසල විපාක බහුල වී, කුසලය හා කුසල විපාක අල්ප වන විට, මිත්‍යාදෘෂ්ඨියේ පැතිරීම බලවත්ව සිදු වේ. මිත්‍යාදෘෂ්ඨිය බලවත් වන විට නැවත ද සෙසු අකුසල බලවත් වේ. නමුත්,
මිත්‍යාදෘෂ්ඨිකයා මිත්‍යාදෘෂ්ඨිය පැතිරවීම බහුල කිරීමේදී අවසානයේ හානිය වන්නේ ඔහුටමය. කිමද යත්, මිත්‍යා දෘෂ්ඨිය බහුල වෙද්දී බොහෝ දෙනා ඒ පිළිබඳව සාකච්චා කරන්නේය. සංවාද කරන්නේය. විවාද කරන්නේය. එවිට මිත්‍යාදෘෂ්ඨියේ මිත්‍යා ලක්ෂණ ලොවට ප්‍රකට වන්නේය. සාවද්‍ය බව ලොවට ප්‍රකට වන්නේය. අකුසල ස්වභාවය ලොවට ප්‍රකට වන්නේය. එමගින් මිත්‍යාව වැනසී යතාර්ථය ලොව බබලන්නේය.
එසේ යථාර්තය ලොව බබලවා මිත්‍යාව වනසා දැමීමට නම්, මිත්‍යාවේ මිත්‍යා ස්වභාවය, ධර්මානුකූලව, විනයානුකූලව, බුද්ධ දේශනාවට අනුකූලවම ලොවට හෙළි කල යුතුය.
අතින් පයින් කරනා සටනකින් මිත්‍යාදෘෂ්ඨිය විනාශ කල නොහැක. එය විනාශ කල හැක්කේ ධර්මය අනුව මිත්‍යාවේ බොරුව ලොවට හෙළි කිරීමෙනි.
එබැවින් ධර්මකාමී සියල්ලෝ මිත්‍යාවට එරෙහිව තම තමන්ගේ ධර්ම සංවාද ලොවට ඉදිරිපත් කල යුතුය. ලිපි ලිවිය යුතුය. වීඩියෝ නිර්මාණය කල යුතුය. සංවාද කල යුතුය. ධර්ම ප්‍රචාරය කල යුතුය.
එමගින් අධර්මය නැසිය යුතුය.
ධර්මය ස්ථාපිත කල යුතුය.
එක්වෙමු. නැගිටිමු. පරවාද සුන් කරමු. නිවනින් සැනසෙමු.
සැමට සම්මා සම්බුදු සරණයි...!!!

No comments:
Post a Comment