සසරට බට සත්වයාට දුක මිස කිසිදු සැපයක් නැත්තේය. යම් සැනසීමක් තිබේ නම් ඒ සුගතියෙහි ලැබෙන ධ්‍යාන සුඛය පමණකි. එනමුත් ඒ ධ්‍යාන සුඛය ද පරමාර්ථ වශයෙන් දුක්ඛ වන බැවින් සැපයක් යැයි කීමට කිසිවක් ලොව නැත්තේමය. එබැවින් සසර යනු දුකක් පමණකි.
එසේ වූ දුකින් මිදීමට මාර්ගය ලොවුතුරා බුදුරජාණන් වහන්සේ නමක් විසින් ලෝ වැසි සත්වයාට පෙන්වා දෙන නමුදු, “කෙටි ක්‍රම” යැයි පෙන්වා දිය හැකි ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැත. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ අනු පිළිවෙලින් සීල සමාධි ප්‍රඥා වඩා බොහෝ භව ගණනක් කැපවීමෙන් ලබන්නා වූ නිවනකි. එක් වරක් පළඟක් බැඳ වාඩි වූ පමණකින් හෝ මගපල ලැබූ උතුමන් වහන්සේ නමකගෙන් බණ ඇසූ පමණින් හෝ ලැබෙන නිවනක්, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැත. හේතුව නම් නිවන එසේ ලැබිය නොහැකි වීමයි. එනම් සංසාරයක් පුරාවට ගෙනා අකුසල් එකවර අහෝසි කල නොහැකි බැවින්, එකවර හෝ ක්ෂණිකව හෝ කෙටි ක්‍රම මගින් හෝ ලැබිය හැකි නිවනක්, කිසිදු බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන්නේ නැත.
ඒ කෙසේද යන්න විමසා බලමු.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන පරිදි අවිද්‍යාව මහා පැරණි ධර්මයකි.
//පුරිමා, භික්‌ඛවෙ, කොටි න පඤ්‌ඤායති අවිජ්‌ජාය – ‘ඉතො පුබ්‌බෙ අවිජ්‌ජා නාහොසි, අථ පච්‌ඡා සමභවී’ති.// (අ.නි, ද.නි, අවිජ්ජා සූත්‍රය)
මහණෙනි, “මින් පෙර අවිද්‍යාව නොතිබුණි. ඉන් පසුව හටගත්තේය” යැයි අවිද්‍යාවේ පෙර ඉමක් නොපෙනෙන්නේය.
එනම්, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අනන්ත අපරිමාණ ප්‍රමාණයක් බුදු වී වදාලා වූ මේ ලෝක ධාතුවෙහි මූලාරම්භය පැනවිය නොහැකි බැවින්, එපමණ කාලයක් පැරණි වූ, එපමණ කාලයක් තිස්සේ මුල් බැස ගත්තා වූ, එපමණ කාලයක් පුරාවට වර්ධනය වූ, සියලු අකුසලයට මුල වූ, සසර පැවැත්මේ මූල බීජය වූ අවිද්‍යාව, කඩුවෙන් කෙටූ කෙසෙල් කඳක් සේ එකවර සිඳිය නොහැක්කකි. වැනසිය නොහැක්කකි. මුලිනුපුටා දැමිය නොහැක්කකි.
යම් සේ එක් පුරුෂයකුට, හිමාලය බඳු මහා පර්වතයක්, කුළු ගෙඩියකින් කඩා බිඳ හෙලා, මුහුදු මට්ටමේ උස ඇති සමතලා බිමක් සැකසීමට, එක් ජීවිත කාලයක් ප්‍රමාණවත් නොවන්නේ යම් සේද, නැවත නැවත ඉපදි ඉපදී, ආත්මභාව බොහෝ ගණනක් ගත කිරීමට හැකි නම්, එය කල හැකි වන්නේ වෙයි ද, ඊටත් වඩා අතිශය බැරෑරුම් උත්සහයකින් පසුවම, අවිද්‍යාව දුරලා, කෙලෙස් කඩා දමා, නිවන ශාක්ෂාත් කිරීම කල හැකිය.
අවිද්‍යාව ඒ තරම් බරපතලය. අන්ධකාරය. ඝනකම්ය.
එබඳු වූ අවිද්‍යාව, එකවර හෝ ක්ෂණිකව හෝ කෙටි ක්‍රම මගින් හෝ කඩා දැමිය නොහැකි බවත්, ඒ උදෙසා අනු පිළිවෙලින් සීල සමාධි ප්‍රඥා වඩා බොහෝ භව ගණනක් කැපවීම් කල යුතු බවත් වටහා ගැනීමට නොහැකි වීමම අවිද්‍යාවේ බරපතල බව ප්‍රකට කරන්නකි.
අවිද්‍යාව යම් මට්ටමකට හෝ තුනී වූ අයකුට පමණක්, චතුරාර්ය සත්‍ය පිලිබඳ සත්‍ය ඤාණය ඇතිකරගත හැකිය. ඒ චතුරාර්ය සත්‍යය පිලිබඳ සත්‍ය ඤාණය ඇතිකර ගැනීමට නම්, පෙර සේ අනු පිළිවෙලින් සීල සමාධි ප්‍රඥා වඩා බොහෝ භව ගණනක් කැපවීමෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩිය යුතුය. ඒ උදෙසා ශ්‍රද්ධාව තිබිය යුතුය. ශ්‍රද්ධාව වර්ධනය වීම උදෙසා සත්පුරුෂ සංසේවනය තිබිය යුතුය. සත්පුරුෂ සංසේවනය ලැබීමට ද පුණ්‍ය ශක්තිය තිබිය යුතුය.
එබැවින් අවිද්‍යාව සිඳ දැමීම යනු අහසින් වැටුනාක් මෙන් සිදු වන්නක් නොව, අනු පිළිවෙලින් සීල සමාධි ප්‍රඥා වඩා බොහෝ භව ගණනක් කැපවීමෙන් ලැබිය හැකි තත්වයකි.
නොඑසේ නම්,
අවිද්‍යාවෙන් අන්ධ සත්වයා, චතුරාර්ය සත්‍ය පිලිබඳ අල්ප මාත්‍ර ශ්‍රවනයක් නොමැති වූයේද, අන්ධ භක්තියෙන් හෝ සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් ඇසුර ලබන්නේ නම්, ඒ ඔහුට දානයට, සීලයට මග විවර වන්නේය. සිත නැමෙන්නේය. අවස්ථාව ලැබෙන්නේය.
ඒ ඔහු සත්පුරුෂයන් විසින් සිදු කරනු ලබන, දාන, සීල, භාවනා දී පුණ්‍යක්‍රියා හමුවේ කිසිදු අවබෝධයකින් තොරව නමුදු සහය වන්නේ නම්, එක් වන්නේ නම්, උපකාර කරන්නේ නම්, ඉන් ඒ පුද්ගලයාට ඉතා දුර්වල නමුදු කුසල් සිත් පහල වේ. එකී කුසල් සිත් ආසේවනය වීමෙන්, පසු පසුව කරනු ලබන කුසල් පෙරට වඩා දියුණු වන්නේය. ඉන් පසුව තව තවද කුසල් සිත බලවත් වන්නේ වෙයි.
ඒ ඔහු අන්ධ භක්තියෙන් නමුදු කුසලයකට සම්බන්ධ වී යම් දුර්වල හෝ කුසලයක් රැස් කරගත්තේ ද, ඒ කුසලය ප්‍රත්‍ය වීමෙන් ඒ ජීවිතය තුල දී හෝ පසු ජීවිතයකදී හෝ පෙරට වඩා බලවත් කුසල් රැස් කරගැනීමට මාර්ගය විවර වන්නේ වෙයි. ඉන් පසුව රැස් කරනා කුසල් පෙරට වඩා බලවත් වීම හේතුවෙන් මතු මතු අවස්ථා හා මතු මතු ජීවිත වලදී පුණ්‍ය ශක්තිය වඩවඩාත් බලවත් වන්නේ වෙයි.
එසේ වෙමින් අන්ධ භක්තියෙන් නමුදු අන්‍යයන්ගේ මෙහෙයවීමෙන් නමුදු කුසලය ආරම්භ වූ යම් පුද්ගලයෙක් වේ ද, ඒ ඔහු එකී මාර්ගය තුල භව ගණනාවක් ගමන් කරන්නේ වේද, එකී මාර්ගය භව ගණනාවක් පුරුදු කරන්නේ වේද, ඒ පුරුදු කිරීම, ඒ ගමන් කිරීම, ක්‍රමක්‍රමයෙන් අවිද්‍යාව තුනී කිරීමට හේතු පාදක වේ. ක්‍රමක්‍රමයෙන් ප්‍රඥාව දියුණු කිරීමට හේතු පාදක වේ.
ඒ ඔහු සීල සමාධි ප්‍රඥා වඩමින් සසරේ බොහෝ කාලයක් පුරුදු පුහුණු වෙද්දී, චතුරාර්ය සත්‍යය පිලිබඳ සත්‍ය ඤාණය ඇති කර ගැනීමට තරම් අවිද්‍යාව තුනී වේ. ප්‍රඥාව දියුණු වේ.
ඒ ඔහු එකී අවස්ථාවෙදී සතිපට්ඨානය වඩන්නේ නම්, මගපල ලැබීම ඉතා පහසු වේ. ඒ පහසුව ලැබීම පිණිස පෙර කී භව ගණනාවක පුහුණුව ඉතා වැදගත් වේ.
මේ දක්වන ලද භව ගණනාවක පුහුණුව නොමැතිව, අහසින් වැටුනාක් මෙන්, එකවර හෝ ක්ෂණිකව හෝ කෙටි ක්‍රම මගින් හෝ නිවන් ලැබීමක් ලොව නොමැත. එබැවින් කිසිදු භාග්‍යවතුන් වහන්සේ නමක්, එකවර හෝ ක්ෂණිකව හෝ කෙටි ක්‍රම මගින් හෝ ලැබිය හැකි නිවනක් දේශනා කරන්නේ නැත.
මෙසේ භව ගණනාවක් පුරාවට දාන සීල භාවනා, සීල සමාධි ප්‍රඥා, පුහුණු වීම, දියුණු කිරීම, ශක්තිමත් කිරීම පාරමිතා පිරීම නම් වේ. ඒ පාරමිතා නොමැතිව පෙර කී සේ එකවර අවිද්‍යාව දුරු කිරීම යනු සිදු නොවන්නක් බව ඉඳුරාම දත යුතුය.
එසේම පාරමිතා පිරීම යනු මතු ශාසන පතාගෙන නිවන කල් දැමීම නොව, මේ ජීවිතය තුලදීම නිවන් දැකීමට උපරිම උත්සහ කිරීම තුලින් සිදු වන්නකි. එසේ මේ ජීවිතය තුලදීම නිවන් දකින්නට උත්සහ කරන්නාට පමණක්ම මාර්ගය වැඩේ. පාරමිතා සපිරේ.

No comments:
Post a Comment