නූතන මානවයා යනු සියවස් දෙක තුනක ඉතිහාසයක් තුල වේගවත් වෙනස්කම් වලට ලක් වූ මානව පරම්පරා කිහිපයක වර්තමාන පුරුක යැයි සරලව හැඳින්විය හැක. එනම්, මීට සියවස් කිහිපයකට පෙර, අලි ඇතුන්, අශ්වයන්, ගවයන් වැනි සතුන්ගෙන් ගමන් බිමන් ගිය මිනිසාගේ සිට ඉන්ධන දහනයෙන් හෝ විද්‍යුතයෙන් හෝ ක්‍රියාත්මක වන රථයක ගමන් කිරීම දක්වා වෙනස් වූ පරපුරකි. පහන් ආලෝකය, පන්දම් ආලෝකය භාවිතා කල මිනිසාගේ සිට විදුලියෙන් ලැබෙන ආලෝකය දක්වා වෙනස් වූ පරපුරකි. ලීයෙන් කල රුවල් නැවේ සිට යකඩින් කල ඉන්ධන දහන නැව දක්වා ද, පයින් සහ ජලයෙන් ගිය ගමන, අහසින් යාම දක්වා ද වෙනස් වූ මානව පරපුරකි. තවද බොහෝ වෙනස්කම් සිදුවූ පරපුරකි, නූතන මානවයා.
ඒ මානව වර්ගයාගේ අතීත සහ වර්තමාන පරපුරවල් අතර වෙනස සසඳා බැලීමේදී පෙනෙන වෙනස නම්, නූතන මානවයා අතිශය වශයෙන් භෞතිකව වෙනස් වී ඇති නමුත්, ආධ්‍යාත්මිකව පහලට වැටී ඇති බවයි.
එනම්, අතීත මානවයා හට වර්තමාන මානවයාට තරම් භෞතිකමය පහසුකම් නොමැති වූ නමුත්, ඒ අතීත මිනිසා, ආධ්‍යාත්මික වශයෙන් වර්තමාන මිනිසාට වඩා, අතිශය දියුණු, උසස් තැනක සිටි බව, ඉතිහාසය මොනවට ශාක්ෂි දරයි.
සරලවම පවසනවා නම්, අතීත මානවයා වර්තමාන මානවයාට වඩා උසස් අයෙකි.
අතීත මානවයා ආධ්‍යාත්මය මුල් කරගෙන බොහෝ දේ සිදු කල නිසා ආධ්‍යාත්මිකව උසස් මනසක් සහ සමාජ වටපිටාවක් ඔහු අතින් නිර්මාණය විය. ලෝකය පුරාවටම විවිධ වූ ආගම්, දර්ශන මෙන්ම ඇදහිය නොහැකි පූජනීය සිද්ධස්ථාන නිර්මාණය වූයේ, ඒ ආධ්‍යාත්මික අභිලාෂයන් නිසාවෙනි. ඒවා හුදු මිත්‍යා ඇදහිලි යැයි වර්තමාන භෞතික වාදියකුට සිතිවිල්ලක් පහල විය හැකි නමුත්, ඒ ඔවුන් සමූල ඝාතන අවි වෙනුවට ආගමික මධ්‍යස්ථාන ඉදි කිරීම පිළිබඳව ඔවුන් සතුටු විය යුතුය. ඉදින් යම් සේ අතීත මිනිසා ද ආධ්‍යාත්මය පසෙක තබා භෞතිකවාදී මිනිසකු වූයේ නම්, අතීතය දැකීමට වර්තමාන පරපුරක් ලෝකයෙහි ඉතිරි නොවීමට ද ඉඩ තිබුණි.
කෙසේ නමුත්, භෞතික දියුණුවට වඩා ආධ්‍යාත්මික දියුණුව උසස් බව, වර්තමාන යුධ තාක්ෂනය මෙන්ම මානසික අවපීඩිත සමාජය මනා වූ සාධක පෙන්වයි.
එසේම, ඒ භෞතික තාක්ෂණයෙන් හා තරගකාරීත්වය තුලින් හෙම්බත්වී, මානසික අවපීඩනය, අධික ලෝභය, විෂමාකාර ලිංගික චර්යා වැනි ලක්ෂණයන්ට නතු වූ මිනිසා යනු, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සහ ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කල ධර්මය, ඒකාන්ත සත්‍ය බව මනාව පැහැදිලි කරන සජීවී උදාහරණයන් බව සෘජුවම පැවසිය හැකිය.
ඒ කෙසේද යත්,
//තණ්‌හාය ජායතී සොකො, තණ්‌හාය ජායතී භයං;
තණ්‌හාය විප්‌පමුත්‌තස්‌ස, නත්‌ථි සොකො කුතො භයං.// (ධම්මපදය)
යැයි දේශනා කල පරිද්දෙන්, තණ්හාව පසු පස අතොරක් නොමැතිව දිව යන නූතන මානවයා, ඒ හේතුවෙන් හටගත්තා වූ ජීවිත හා දේපල පිලිබඳ සෝකයෙන් මෙන්ම බයෙන් ද පීඩිතව වාසය කරන බව, මහා උස තාප්පවලින් වටවී, ආරක්‍ෂිත කැමරා වලින් ආරක්ෂා වී, සැඟවී ගෙවන ජීවිතය ශාක්ෂි දරයි.
එසේම ඇති හැකි මිනිසාට ඊර්ෂ්‍යා කරන, ඔහුගෙන් සොරකම් කිරීම වරදක් නොවන්නේ යැයි සිතන සමාජයක, දේව්ශය නිසා හටගත් බිය සැක ද බහුල වී ඇත.
අධික භෞතික තාක්ෂණය නිසා අන්ධ වූ මිනිසා වයසට නොයා සිටීමට, නොමැරී සිටීමට, ලෙඩ නොවී සිටීමට තාක්ෂණය භාවිතා කිරීමෙන් හෙම්බත් වීම යනාදී මේ සියල්ල,
//නත්‌ථි රාගසමො අග්‌ගි, නත්‌ථි දොසසමො ගහො;
නත්‌ථි මොහසමං ජාලං, නත්‌ථි තණ්‌හාසමා නදී. //
//සබ්‌බෙ සඞ්‌ඛාරා අනිච්‌චා’’ති, යදා පඤ්‌ඤාය පස්‌සති;
අථ නිබ්‌බින්‌දති දුක්‌ඛෙ, එස මග්‌ගො විසුද්‌ධියා.//
//සබ්‌බෙ සඞ්‌ඛාරා දුක්‌ඛා’’ති, යදා පඤ්‌ඤාය පස්‌සති;
අථ නිබ්‌බින්‌දති දුක්‌ඛෙ, එස මග්‌ගො විසුද්‌ධියා.//
//සබ්‌බෙ ධම්‌මා අනත්‌තා’’ති, යදා පඤ්‌ඤාය පස්‌සති;
අථ නිබ්‌බින්‌දති දුක්‌ඛෙ, එස මග්‌ගො විසුද්‌ධියා.// (ධම්මපදය)
යනාදී බුදු වදන් නිතැතින් සිහියට නංවයි.
අධික භෞතිකවාදී වීම නිසා කර්මය හා විපාකය අමතක වූ මිනිසා, කර්මයෙන් ලද ජීවිතය තාක්ෂණයෙන් වෙනස් කිරීමට උත්සහ කිරීම,
//අප්‌පකා තෙ මනුස්‌සෙසු, යෙ ජනා පාරගාමිනො;
අථායං ඉතරා පජා, තීරමෙවානුධාවති.// (ධම්මපදය)
යන බුදු වදන ද සිහි ගන්වයි.
එසේ වූ නූතන මිනිසා බුදු දහමින් දේශිත යතාර්ථයෙන් කිසිසේත්ම බැහැර නොවන බව ඉතා පැහැදිලිව දැකිය හැකි කරුණකි. ඉදින් ඒ දුකටපත් නූතන මිනිසා, බුදු දහමේ පෙන්වන දුකින් මිදීමේ මාර්ගය අනුගමනය කරන්නේ නම්, එයම ඔහුට සැනසීම ලඟා කර දෙයි.
තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ, උපදින සත්වයා වයසට යාම, ලෙඩවීම, මරණය, කායික මානසික දුක් විඳීම යනාදී දුක් රාශියකින් පෙලෙන බවයි. ඒ දුකින් මිදීමට යමෙකුට අවශ්‍ය නම් ඒ උදෙසා ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩිය යුතු බව මග පෙන්වීමයි.
ඒ බුද්ධ දේශනාව නූතන මිනිසාට ද සාධාරණ වූවකි. ඔහුට ද අදාළ වූවකි. ඔහුගෙන් ස්වාධීන නොවූවකි.
තාක්ෂණය කොතරම් උසස් වුවත්, දියුණු යැයි සිතුවත්, මරණයෙන් මිදීමට තාක්ෂණයක් ලොව නැත. ලෙඩට බෙහෙත් කෙතරම් තිබුණත්, ලෙඩ නොවී සිටීමට තාක්ෂණයක් ලොව නැත. කොටින්ම දුකින් මිදීමට තාක්ෂණයක් ලොව නැත. ඇත්තේ බුදු දහම පමණි.
භෞතිකව දියුණු වුවත්, නැතත්, දුකින් මිදීමට එකම මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගය පමණි. එය අතීතයට මෙන්ම, වතාමානයටත්, එසේම ආනාගතයටත් සාධාරණ වූවකි.
එබැවින් නූතන මිනිසාට කියා බුදු දහමේ අමුත්තක් නැත. එය සදාකාලික සත්‍යතාවයයි. අකාලික වූ එකම දහමයි. දුකින් මිදීමට එකම මාර්ගයයි. නියතයි.






