Friday, August 29, 2025

නූතන මානවයා සහ බුදු දහම.



නූතන මානවයා යනු සියවස් දෙක තුනක ඉතිහාසයක් තුල වේගවත් වෙනස්කම් වලට ලක් වූ මානව පරම්පරා කිහිපයක වර්තමාන පුරුක යැයි සරලව හැඳින්විය හැක. එනම්, මීට සියවස් කිහිපයකට පෙර, අලි ඇතුන්, අශ්වයන්, ගවයන් වැනි සතුන්ගෙන් ගමන් බිමන් ගිය මිනිසාගේ සිට ඉන්ධන දහනයෙන් හෝ විද්‍යුතයෙන් හෝ ක්‍රියාත්මක වන රථයක ගමන් කිරීම දක්වා වෙනස් වූ පරපුරකි. පහන් ආලෝකය, පන්දම් ආලෝකය භාවිතා කල මිනිසාගේ සිට විදුලියෙන් ලැබෙන ආලෝකය දක්වා වෙනස් වූ පරපුරකි. ලීයෙන් කල රුවල් නැවේ සිට යකඩින් කල ඉන්ධන දහන නැව දක්වා ද, පයින් සහ ජලයෙන් ගිය ගමන, අහසින් යාම දක්වා ද වෙනස් වූ මානව පරපුරකි. තවද බොහෝ වෙනස්කම් සිදුවූ පරපුරකි, නූතන මානවයා. 

ඒ මානව වර්ගයාගේ අතීත සහ වර්තමාන පරපුරවල් අතර වෙනස සසඳා බැලීමේදී පෙනෙන වෙනස නම්, නූතන මානවයා අතිශය වශයෙන් භෞතිකව වෙනස් වී ඇති නමුත්, ආධ්‍යාත්මිකව පහලට වැටී ඇති බවයි.

එනම්, අතීත මානවයා හට වර්තමාන මානවයාට තරම් භෞතිකමය පහසුකම් නොමැති වූ නමුත්, ඒ අතීත මිනිසා, ආධ්‍යාත්මික වශයෙන් වර්තමාන මිනිසාට වඩා, අතිශය දියුණු, උසස් තැනක සිටි බව, ඉතිහාසය මොනවට ශාක්ෂි දරයි. 

සරලවම පවසනවා නම්, අතීත මානවයා වර්තමාන මානවයාට වඩා උසස් අයෙකි. 

අතීත මානවයා ආධ්‍යාත්මය මුල් කරගෙන බොහෝ දේ සිදු කල නිසා ආධ්‍යාත්මිකව උසස් මනසක් සහ සමාජ වටපිටාවක් ඔහු අතින් නිර්මාණය විය. ලෝකය පුරාවටම විවිධ වූ ආගම්, දර්ශන මෙන්ම ඇදහිය නොහැකි පූජනීය සිද්ධස්ථාන නිර්මාණය වූයේ, ඒ ආධ්‍යාත්මික අභිලාෂයන් නිසාවෙනි. ඒවා හුදු මිත්‍යා ඇදහිලි යැයි වර්තමාන භෞතික වාදියකුට සිතිවිල්ලක් පහල විය හැකි නමුත්, ඒ ඔවුන් සමූල ඝාතන අවි වෙනුවට ආගමික මධ්‍යස්ථාන ඉදි කිරීම පිළිබඳව ඔවුන් සතුටු විය යුතුය. ඉදින් යම් සේ අතීත මිනිසා ද ආධ්‍යාත්මය පසෙක තබා භෞතිකවාදී මිනිසකු වූයේ නම්, අතීතය දැකීමට වර්තමාන පරපුරක් ලෝකයෙහි ඉතිරි නොවීමට ද ඉඩ තිබුණි.

කෙසේ නමුත්, භෞතික දියුණුවට වඩා ආධ්‍යාත්මික දියුණුව උසස් බව, වර්තමාන යුධ තාක්ෂනය මෙන්ම මානසික අවපීඩිත සමාජය මනා වූ සාධක පෙන්වයි.

එසේම, ඒ භෞතික තාක්ෂණයෙන් හා තරගකාරීත්වය තුලින් හෙම්බත්වී, මානසික අවපීඩනය, අධික ලෝභය, විෂමාකාර ලිංගික චර්යා වැනි ලක්ෂණයන්ට නතු වූ මිනිසා යනු, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සහ ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කල ධර්මය, ඒකාන්ත සත්‍ය බව මනාව පැහැදිලි කරන සජීවී උදාහරණයන් බව සෘජුවම පැවසිය හැකිය.

ඒ කෙසේද යත්, 

//තණ්‌හාය ජායතී සොකො, තණ්‌හාය ජායතී භයං;

තණ්‌හාය විප්‌පමුත්‌තස්‌ස, නත්‌ථි සොකො කුතො භයං.// (ධම්මපදය)

යැයි දේශනා කල පරිද්දෙන්, තණ්හාව පසු පස අතොරක් නොමැතිව දිව යන නූතන මානවයා, ඒ හේතුවෙන් හටගත්තා වූ ජීවිත හා දේපල පිලිබඳ සෝකයෙන් මෙන්ම බයෙන් ද පීඩිතව වාසය කරන බව, මහා උස තාප්පවලින් වටවී, ආරක්‍ෂිත කැමරා වලින් ආරක්ෂා වී, සැඟවී ගෙවන ජීවිතය ශාක්ෂි දරයි. 

එසේම ඇති හැකි මිනිසාට ඊර්ෂ්‍යා කරන, ඔහුගෙන් සොරකම් කිරීම වරදක් නොවන්නේ යැයි සිතන සමාජයක, දේව්ශය නිසා හටගත් බිය සැක ද බහුල වී ඇත.

අධික භෞතික තාක්ෂණය නිසා අන්ධ වූ මිනිසා වයසට නොයා සිටීමට, නොමැරී සිටීමට, ලෙඩ නොවී සිටීමට තාක්ෂණය භාවිතා කිරීමෙන් හෙම්බත් වීම යනාදී මේ සියල්ල, 

//නත්‌ථි රාගසමො අග්‌ගි, නත්‌ථි දොසසමො ගහො;

නත්‌ථි මොහසමං ජාලං, නත්‌ථි තණ්‌හාසමා නදී. //

//සබ්‌බෙ සඞ්‌ඛාරා අනිච්‌චා’’ති, යදා පඤ්‌ඤාය පස්‌සති;

අථ නිබ්‌බින්‌දති දුක්‌ඛෙ, එස මග්‌ගො විසුද්‌ධියා.//

//සබ්‌බෙ සඞ්‌ඛාරා දුක්‌ඛා’’ති, යදා පඤ්‌ඤාය පස්‌සති;

අථ නිබ්‌බින්‌දති දුක්‌ඛෙ, එස මග්‌ගො විසුද්‌ධියා.//

//සබ්‌බෙ ධම්‌මා අනත්‌තා’’ති, යදා පඤ්‌ඤාය පස්‌සති;

අථ නිබ්‌බින්‌දති දුක්‌ඛෙ, එස මග්‌ගො විසුද්‌ධියා.// (ධම්මපදය) 

යනාදී බුදු වදන් නිතැතින් සිහියට නංවයි.

අධික භෞතිකවාදී වීම නිසා කර්මය හා විපාකය අමතක වූ මිනිසා, කර්මයෙන් ලද ජීවිතය තාක්ෂණයෙන් වෙනස් කිරීමට උත්සහ කිරීම, 

//අප්‌පකා තෙ මනුස්‌සෙසු, යෙ ජනා පාරගාමිනො;

අථායං ඉතරා පජා, තීරමෙවානුධාවති.// (ධම්මපදය) 

යන බුදු වදන ද සිහි ගන්වයි.

එසේ වූ නූතන මිනිසා බුදු දහමින් දේශිත යතාර්ථයෙන් කිසිසේත්ම බැහැර නොවන බව ඉතා පැහැදිලිව දැකිය හැකි කරුණකි. ඉදින් ඒ දුකටපත් නූතන මිනිසා, බුදු දහමේ පෙන්වන දුකින් මිදීමේ මාර්ගය අනුගමනය කරන්නේ නම්, එයම ඔහුට සැනසීම ලඟා කර දෙයි.

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ, උපදින සත්වයා වයසට යාම, ලෙඩවීම, මරණය, කායික මානසික දුක් විඳීම යනාදී දුක් රාශියකින් පෙලෙන බවයි. ඒ දුකින් මිදීමට යමෙකුට අවශ්‍ය නම් ඒ උදෙසා ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩිය යුතු බව මග පෙන්වීමයි.

ඒ බුද්ධ දේශනාව නූතන මිනිසාට ද සාධාරණ වූවකි. ඔහුට ද අදාළ වූවකි. ඔහුගෙන් ස්වාධීන නොවූවකි.

තාක්ෂණය කොතරම් උසස් වුවත්, දියුණු යැයි සිතුවත්, මරණයෙන් මිදීමට තාක්ෂණයක් ලොව නැත. ලෙඩට බෙහෙත් කෙතරම් තිබුණත්, ලෙඩ නොවී සිටීමට තාක්ෂණයක් ලොව නැත. කොටින්ම දුකින් මිදීමට තාක්ෂණයක් ලොව නැත. ඇත්තේ බුදු දහම පමණි.

භෞතිකව දියුණු වුවත්, නැතත්, දුකින් මිදීමට එකම මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගය පමණි. එය අතීතයට මෙන්ම, වතාමානයටත්, එසේම ආනාගතයටත් සාධාරණ වූවකි. 

එබැවින් නූතන මිනිසාට කියා බුදු දහමේ අමුත්තක් නැත. එය සදාකාලික සත්‍යතාවයයි. අකාලික වූ එකම දහමයි. දුකින් මිදීමට එකම මාර්ගයයි. නියතයි.


Why There Are No Shortcuts to Nibbana?



For one who has fallen into samsara –the Cycle of Birth and Death- only suffering exists, never true happiness. Whatever happiness there may be, it is only the Contemplation of meditation found in fortunate realms. However, even the contemplation of meditation, being ultimately subject to suffering, cannot truly be called happiness in the world. Therefore, samsara is nothing but suffering.

The Blessed One, the Buddha, revealed the path to emancipation from such suffering to all beings, but he never taught a method that could be considered a shortcut.

The Blessed One, the Buddha, taught that by sequentially cultivating virtue, concentration, and wisdom, Nibbana is realized through effort across countless lifetimes. He does not teach a Nibbana that can be attained merely by sitting once in a monastery, or by listening to a discourse from an arahant even a single time. The reason is that Nibbana cannot be attained in that way. That is, because unwholesome actions –karma- carried over countless saṃsaras cannot be undone all at once, the Blessed One, the Buddha, does not teach a Nibbana that can be attained instantly, momentarily, or by any shortcut.

Let us explore how this comes to be.

According to the Blessed One, the Buddha, ignorance (avijjā) is an ancient and profound Dhamma.

// ‘‘Purimā, bhikkhave, koṭi na paññāyati avijjāya – ‘ito pubbe avijjā nāhosi, atha pacchā samabhavī’ti.// (Avijjāsuttaṃ)

Mendicants, no first point of ignorance is evident, such that one could say: ‘Before this, there was no ignorance, but then it arose afterward. 

That is to say, because no first origin can be discerned in this world-system, where countless and immeasurable Fully Awakened Ones, the Tathāgatas, have attained Buddhahood and passed away, ignorance—having no discernible beginning, so ancient, so deeply rooted, having grown over countless ages, the origin of all unwholesome deeds, and the seed of continued existence in saṃsāra—cannot be broken all at once, like a banana trunk cut with a sword.

Just as a single lifetime would not suffice for a man to break down a great mountain like the Himalayas with a small hammer and level it to the height of the sea, so too, if one could be reborn again and again and live through countless lifetimes, only after an even greater and extremely arduous effort—by removing ignorance and destroying the defilements—would it be possible to realize Nibbāna.

Ignorance is so weighty, so dark, so dense.

Such ignorance cannot be destroyed all at once, instantaneously, or by a shortcut. For that reason, by sequentially cultivating virtue, concentration, and wisdom, and dedicating countless lifetimes to the practice, the fact that it is beyond understanding reveals the gravity of ignorance.

Only one who has weakened ignorance to some extent can develop true knowledge of the Four Noble Truths. To develop true knowledge of the Four Noble Truths, as previously shown, one must cultivate virtue, concentration, and wisdom sequentially, and practice the Noble Eightfold Path with dedication across countless rebirths. For that, there must be faith – loyalty toward the Lord Buddha, the Tathāgata. To cultivate faith, one must associate with virtuous persons. To receive the association of virtuous persons, one must have meritorious strength.

Therefore, the destruction of ignorance does not come like manna from heaven; it is a state that can be attained only through the sequential cultivation of virtue, concentration, and wisdom, and through dedicated practice across countless rebirths.

Otherwise,

If he, even without understanding, supports, joins, or assists in the meritorious deeds of virtuous persons—such as generosity, virtue, and meditation—then, even though very weak, wholesome dispositions will arise in him. Through the repeated cultivation of those wholesome states of mind, the subsequent wholesome knowledge and deeds become superior, more distinguished, and further developed than the earlier ones. After that, again and again, the wholesome mind will become stronger.

If he, even with blind faith, becomes connected with a wholesome deed and even gathers some weak form of merit, then by the fruition of that merit, either in this very life or in a future life, the path will open for him to accumulate greater and stronger merits. As the merits accumulated thereafter become stronger than before, the power of merit will grow increasingly stronger in future occasions and in future lives.

Thus, if a person begins the practice of wholesome deeds—whether through blind faith or through the guidance of others—then, journeying along that path through countless existences, becoming habituated to it over innumerable lives, that very habituation and that very journey gradually become conditions for the weakening of ignorance. Gradually becomes a condition for the development of wisdom.

As he cultivates virtue, concentration, and wisdom, and trains for a long time in saṃsāra, ignorance becomes weakened to the extent that true knowledge of the Four Noble Truths arises. Wisdom develops.

If at that moment he develops satipaṭṭhāna, attaining the path becomes very easy. For that ease of attainment, the training undertaken over countless previous existences is of great importance.

Without the training of countless previous existences as shown, there is no attainment of Nibbāna in the world all at once, instantaneously, or by a shortcut, like manna from heaven.

Therefore, no Blessed One has ever taught a Nibbāna that can be attained all at once, instantaneously, or by a shortcut.

Thus, over countless existences, one trains, develops, and strengthens in generosity, virtue, meditation, and wisdom, is fulfilling the pāramitās.

Thus, over countless existences, training, developing, and strengthening in generosity, virtue, meditation, and wisdom is the fulfillment of the pāramitās. It must essentially be understood that, without those pāramitās, as mentioned before, ignorance cannot be destroyed all at once.

Similarly, the fulfillment of the pāramitās is not postponing Nibbāna to future ages, but is accomplished through utmost effort to realize Nibbāna within this very life. Thus, the path is opened only for one who strives to realize Nibbāna within this very life, and the pāramitās are fulfilled.

Is a Buddhist poor in both mind and money?



At present, a widespread misconception in society is that a Buddhist, meaning a person who follows Buddhism, is an economically weak, mentally diminished, and unsuccessful individual. It’s clear that many examples are presented and strong propaganda is carried out to substantiate that claim.

However, the truth is that a Buddhist is an economically successful, mentally strong person. And there are many example stories to prove that in Buddha’s teaching.

//Catunnavutito kappe, yaṃ kammamakariṃ tadā;

Duggatiṃ nābhijānāmi, puññakammassidaṃ phalaṃ.//

//Catunnavutito kappe, yaṃ thambhamadadaṃ tadā;

Duggatiṃ nābhijānāmi, ekatthambhassidaṃ phalaṃ.//

//Tiṃsakappasahassamhi, yaṃ dānamadadiṃ tadā;

Duggatiṃ nābhijānāmi, gandhālepassidaṃ phalaṃ.//

//Ekanavutito kappe, yaṃ kammamakariṃ tadā;

Duggatiṃ nābhijānāmi, phalaṃ sammajjanāyidaṃ.//

//Satasahassito kappe, yaṃ dussamadadiṃ tadā;

Duggatiṃ nābhijānāmi, ekadussassidaṃ phalaṃ.//

//Dvenavute ito kappe, yaṃ kammamakariṃ tadā;

Duggatiṃ nābhijānāmi, padapūjāyidaṃ phalaṃ.//

The above are several verses from the Apadāna Pāli which is in the Kuddhaka Nikaya. This shows the stories of noble beings who have enjoyed royal wealth, merchant riches, and divine treasures for an exceedingly long time in the fortunate worlds of devas and humans as a result of a single virtuous deed.

At the end of that noble life, they attained the supreme, deathless Nibbāna beyond the world, as clearly described in those stories.

A Buddhist is such a person.

That is, he is an extraordinary person who enjoys not only the royal and merchant wealth of the human world, but even the treasures of a universal monarch. Not stopping there, he partakes of the highest riches in the divine realms, perceives the Dhamma while possessing such wealth, remains unattached and unentangled in worldly possessions, relinquishes them entirely, and ultimately realizes Nibbāna.

Wouldn’t that Buddhist fall in to a lower realm?

There is no certainty of avoiding rebirth in a realm of suffering for those who have not realized Nibbāna. Thus, even for a Buddhist, there remains a definite possibility of being reborn in a realm of suffuring. It is indeed possible to fall. This is a principle of the Dhamma that applies not only to the followers but also to the great Bodhisattas.

However, 

A Buddhist is not someone who suffers eternally in a realm of suffering, nor a person who attains a happy realm yet remains economically weak, mentally fragile, and unsuccessful. That’s because a person who has taken refuge in the Noble Triple Gems engages in wholesome deeds whenever possible.

A noble person who applies themselves to wholesome deeds at every opportunity will, as the fruit of those actions, experience abundant wealth in a fortunate realm. Even if one may fall into a realm of suffering due to some mistake, they will be liberated immediately.

This is clearly illustrated in the life stories of both the great Bodhisattas and the noble disciples. Likewise, in the Buddha’s time, the majority of those who attained the fruits of the path—both monks and lay followers—were great in wealth, noble in lineage, and powerful. This is because they were true Buddhists who had practiced wholesome qualities throughout saṃsāra.

Therefore, 

If someone claims that a Buddhist is an economically weak, mentally diminished, and unsuccessful person, such a statement is indeed a falsehood, a delusion, an untruth, and should be utterly rejected. 

If a person is not a Buddhist, they may be economically strong, yet in the face of saṃsāra, they can ultimately be regarded only as a helpless and empty being.

Therefore, may everyone diligently practice wholesome deeds without pause, so as to realize Nibbāna by following the path of bliss.

May all take refuge in the Triple Gems…!!!

බෞද්ධයා යනු මානසිකව වැටුණු දුප්පතෙක් ද?



වර්තමානයේ සමාජය තුල වඩාත් ප්‍රචලිත දුර්මතයක් වන්නේ බෞද්ධයා හෙවත් බුදු දහම අනුගමනය කරන පුද්ගලයා යනු ආර්ථික වශයෙන් දුර්වල වූ මානසික වශයෙන් පිරිහුණු අසාර්ථක පුද්ගලයකු වන බවයි. ඒ බව සාධනය කරනු වස් බොහෝ උදාහරණ මෙන්ම ප්‍රචාරක කටයුතු බලවත්ව සිදු වන බව ද පැහැදිලිව පෙනෙන්නට තිබේ.

එසේ නමුත් සත්‍යතාවය නම්, බෞද්ධයා යනු ආර්ථික අතින් ශක්තිමත් වූ මානසික වශයෙන් ද බලවත් වූ පුද්ගලයකු බවයි. ඒ බවට බුද්ධ දේශනාව තුල බොහෝ උදාහරණ පෙනෙන්නට තිබේ.

//චතුනවුතෙ ඉතො  කප්‌පෙ, යං කම්‌මමකරිං තදා;

දුග්‌ගතිං නාභිජානාමි, පුඤ්‌ඤකම්‌මස්‌සිදං ඵලං.//

//චතුන්‌නවුතිතො කප්‌පෙ, යං ථම්‌භමදදං තදා;

දුග්‌ගතිං නාභිජානාමි, එකත්‌ථම්‌භස්‌සිදං ඵලං.//

//තිංසකප්‌පසහස්‌සම්‌හි, යං දානමදදිං තදා;

දුග්‌ගතිං නාභිජානාමි, ගන්‌ධාලෙපස්‌සිදං ඵලං.//

//එකනවුතෙ ඉතො කප්‌පෙ, යං කම්‌මමකරිං තදා;

දුග්‌ගතිං නාභිජානාමි, ඵලං සම්‌මජ්‌ජනායිදං.//

//සතසහස්‌සිතො කප්‌පෙ, යං දුස්‌සමදදිං තදා;

දුග්‌ගතිං නාභිජානාමි, එකදුස්‌සස්‌සිදං ඵලං.//

//ද්‌වෙනවුතෙ ඉතො කප්‌පෙ, යං කම්‌මමකරිං තදා;

දුග්‌ගතිං නාභිජානාමි, පදපූජායිදං ඵලං.//

ඉහත දක්වන ලද්දේ ඛුද්දක නිකායේ අපදාන පාලියෙහි දැක්වෙන ගාථා පාඨ කිහිපයකි. එයින් දැක්වෙන්නේ යම් එක් කුසලයක් හේතුවෙන් අති දීර්ඝ කාලයක් දෙව් මිනිස් සුගති ලෝකවල රජ සම්පත්, සිටු සම්පත්, දිව්‍ය සම්පත් භුක්ති විඳි සත්පුරුෂයන්ගේ කතා ප්‍රවෘත්තීන් වේ. ඒ උත්තම ජීවිත අවසානයේ ලොව්තුරා අමා මහ නිවනින් සැනසීමට පත් වූ බව ද ඒ කතා පුවත් තුල මනාව විස්තර කෙරේ.

බෞද්ධයා යනු එවැන්නෙකි. එනම් මනුෂ්‍ය ලෝකයේ බොහෝ රජ සම්පත්, සිටු සම්පත් පමණක් නොව සක්විති රාජ්‍ය සම්පත්තීන් පවා භුක්ති විඳින, ඉන් නොනැවතී දිව්‍ය තලවල පවා උසස් සම්පත් භුක්ති විඳින, ඒ සම්පත් සහිතවම ධර්මය දකින, එකී ලෞකික සම්පත් තුල ඇලී ගැලී නොසිට, ඒවා හැර දමා නිවන ද ශාක්ෂාත් කරන අසමසම පුද්ගලයෙකි.

ඒ බෞද්ධයා දුගතියකට පත් නොවන්නේද?

දුගතියකට නොයන්නේ යැයි නියතයක් මගපල නොලත් කිසිවකුට නැත. එබැවින් බෞද්ධ වූයේ නමුදු දුගතියට වැටීමට නියතවම ඉඩ තිබේ. වැටෙන්නේ ද වේ. එය වනාහී හුදෙක් ශ්‍රාවකයන්ට පමණක් නොව මහා බෝසතාණන් වහන්සේලාට ද උරුම වූ ධර්මතාවයකි.

එනමුත්, 

බෞද්ධයා යනු සදාකාලික දුගතියෙහි දුක් විඳින්නකු හෝ සුගතියට පැමිණ ආර්ථික වශයෙන් දුර්වල වූ මානසික වශයෙන් පිරිහුණු අසාර්ථක පුද්ගලයකු නොවන්නේ වේ. ඒ කිමද යත්, තෙරුවන් සරණ ගිය සත්පුරුෂයා ලද සෑම අවස්ථාවකම කුසලයෙහි නිරත වන බැවිනි.

ලද සියලු තැන්හි කුසලයෙහි යෙදෙනා සත්පුරුෂයා එකී කුසලයන්ගේ විපාක වශයෙන් සුගති භව තුල උසස් සම්පත්තීන් භුක්ති විඳින්නේ වෙයි. යම් වැරදීමකින් දුගතියට යා හැකි නමුත්, වහ වහා ඉන් මිදෙන්නේය. ඒ බව බෝසතාණන් වහන්සේගේ මෙන්ම ශ්‍රාවක උතුමන් වහන්සේලාගේ චරිත තුලින් ද මනාව වටහා ගත හැකිය. එසේම බුද්ධ කාලයේ පැවිදිව මගපල ලැබුවෝ මෙන්ම ගිහිව මගපල ලැබුවෝ ද ඇති බහුතරය මහා ධනවතුන්, කුලවතුන්, බලවතුන් වූහ. ඒ ඔවූහු සැබෑ බෞද්ධයන් වී සසර පුරා කුසල් දහම් සිදු කල නිසාවෙනි.

එබැවින්, 

යමකු විසින්, // බෞද්ධයා යනු ආර්ථික වශයෙන් දුර්වල වූ මානසික වශයෙන් පිරිහුණු අසාර්ථක පුද්ගලයකු// යැයි පවසයි නම්, එය වනාහී ඒකාන්තයෙන්ම මුසාවකි. ප්‍රලාපයකි. අසත්‍යයකි. බැහැර කල යුත්තකි.

යමෙකු බෞද්ධ නොවන්නේ නම්, ඔහු ආර්ථිකව ශක්තිමත් විය හැකි නමුත්, සසර හමුවේ අසරණ වූ හිස පුඟුලෙකු පමණක් බව ඉඳුරාම පැවසිය හැකිය.

එබැවින්, නොපමාව කුසල් දහම්හි හැසිරෙමින්, සුඛා පටිපදාවෙන් නිවන් මග ශාක්ෂාත් කරගැනීමට, සියල්ලෝ උත්සහ කෙරෙත්වා.

සියලු දෙනාටම, තෙරුවන් සරණයි...!!!

නිවන් දැකීමට කෙටි ක්‍රම නැත්තේ ඇයි?



සසරට බට සත්වයාට දුක මිස කිසිදු සැපයක් නැත්තේය. යම් සැනසීමක් තිබේ නම් ඒ සුගතියෙහි ලැබෙන ධ්‍යාන සුඛය පමණකි. එනමුත් ඒ ධ්‍යාන සුඛය ද පරමාර්ථ වශයෙන් දුක්ඛ වන බැවින් සැපයක් යැයි කීමට කිසිවක් ලොව නැත්තේමය. එබැවින් සසර යනු දුකක් පමණකි.

එසේ වූ දුකින් මිදීමට මාර්ගය ලොවුතුරා බුදුරජාණන් වහන්සේ නමක් විසින් ලෝ වැසි සත්වයාට පෙන්වා දෙන නමුදු, “කෙටි ක්‍රම” යැයි පෙන්වා දිය හැකි ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැත. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ අනු පිළිවෙලින් සීල සමාධි ප්‍රඥා වඩා බොහෝ භව ගණනක් කැපවීමෙන් ලබන්නා වූ නිවනකි. එක් වරක් පළඟක් බැඳ වාඩි වූ පමණකින් හෝ මගපල ලැබූ උතුමන් වහන්සේ නමකගෙන් බණ ඇසූ පමණින් හෝ ලැබෙන නිවනක්, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැත. හේතුව නම් නිවන එසේ ලැබිය නොහැකි වීමයි. එනම් සංසාරයක් පුරාවට ගෙනා අකුසල් එකවර අහෝසි කල නොහැකි බැවින්, එකවර හෝ ක්ෂණිකව හෝ කෙටි ක්‍රම මගින් හෝ ලැබිය හැකි නිවනක්, කිසිදු බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන්නේ නැත.

ඒ කෙසේද යන්න විමසා බලමු.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන පරිදි අවිද්‍යාව මහා පැරණි ධර්මයකි.

//පුරිමා, භික්‌ඛවෙ, කොටි න පඤ්‌ඤායති අවිජ්‌ජාය – ‘ඉතො පුබ්‌බෙ අවිජ්‌ජා නාහොසි, අථ පච්‌ඡා සමභවී’ති.// (අ.නි, ද.නි, අවිජ්ජා සූත්‍රය)

මහණෙනි, “මින් පෙර අවිද්‍යාව නොතිබුණි. ඉන් පසුව හටගත්තේය” යැයි අවිද්‍යාවේ පෙර ඉමක් නොපෙනෙන්නේය. 

එනම්, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අනන්ත අපරිමාණ ප්‍රමාණයක් බුදු වී වදාලා වූ මේ ලෝක ධාතුවෙහි මූලාරම්භය පැනවිය නොහැකි බැවින්, එපමණ කාලයක් පැරණි වූ, එපමණ කාලයක් තිස්සේ මුල් බැස ගත්තා වූ, එපමණ කාලයක් පුරාවට වර්ධනය වූ, සියලු අකුසලයට මුල වූ, සසර පැවැත්මේ මූල බීජය වූ අවිද්‍යාව, කඩුවෙන් කෙටූ කෙසෙල් කඳක් සේ එකවර සිඳිය නොහැක්කකි. වැනසිය නොහැක්කකි. මුලිනුපුටා දැමිය නොහැක්කකි.

යම් සේ එක් පුරුෂයකුට, හිමාලය බඳු මහා පර්වතයක්, කුළු ගෙඩියකින් කඩා බිඳ හෙලා, මුහුදු මට්ටමේ උස ඇති සමතලා බිමක් සැකසීමට, එක් ජීවිත කාලයක් ප්‍රමාණවත් නොවන්නේ යම් සේද, නැවත නැවත ඉපදි ඉපදී, ආත්මභාව බොහෝ ගණනක් ගත කිරීමට හැකි නම්, එය කල හැකි වන්නේ වෙයි ද, ඊටත් වඩා අතිශය බැරෑරුම් උත්සහයකින් පසුවම, අවිද්‍යාව දුරලා, කෙලෙස් කඩා දමා, නිවන ශාක්ෂාත් කිරීම කල හැකිය. 

අවිද්‍යාව ඒ තරම් බරපතලය. අන්ධකාරය. ඝනකම්ය.

එබඳු වූ අවිද්‍යාව, එකවර හෝ ක්ෂණිකව හෝ කෙටි ක්‍රම මගින් හෝ කඩා දැමිය නොහැකි බවත්, ඒ උදෙසා අනු පිළිවෙලින් සීල සමාධි ප්‍රඥා වඩා බොහෝ භව ගණනක් කැපවීම් කල යුතු බවත් වටහා ගැනීමට නොහැකි වීමම අවිද්‍යාවේ බරපතල බව ප්‍රකට කරන්නකි. 

අවිද්‍යාව යම් මට්ටමකට හෝ තුනී වූ අයකුට පමණක්, චතුරාර්ය සත්‍ය පිලිබඳ සත්‍ය ඤාණය ඇතිකරගත හැකිය. ඒ චතුරාර්ය සත්‍යය පිලිබඳ සත්‍ය ඤාණය ඇතිකර ගැනීමට නම්, පෙර සේ අනු පිළිවෙලින් සීල සමාධි ප්‍රඥා වඩා බොහෝ භව ගණනක් කැපවීමෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩිය යුතුය. ඒ උදෙසා ශ්‍රද්ධාව තිබිය යුතුය. ශ්‍රද්ධාව වර්ධනය වීම උදෙසා සත්පුරුෂ සංසේවනය තිබිය යුතුය. සත්පුරුෂ සංසේවනය ලැබීමට ද පුණ්‍ය ශක්තිය තිබිය යුතුය.

එබැවින් අවිද්‍යාව සිඳ දැමීම යනු අහසින් වැටුනාක් මෙන් සිදු වන්නක් නොව, අනු පිළිවෙලින් සීල සමාධි ප්‍රඥා වඩා බොහෝ භව ගණනක් කැපවීමෙන් ලැබිය හැකි තත්වයකි.

නොඑසේ නම්,

අවිද්‍යාවෙන් අන්ධ සත්වයා, චතුරාර්ය සත්‍ය පිලිබඳ අල්ප මාත්‍ර ශ්‍රවනයක් නොමැති වූයේද, අන්ධ භක්තියෙන් හෝ සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් ඇසුර ලබන්නේ නම්, ඒ ඔහුට දානයට, සීලයට මග විවර වන්නේය. සිත නැමෙන්නේය. අවස්ථාව ලැබෙන්නේය.

ඒ ඔහු සත්පුරුෂයන් විසින් සිදු කරනු ලබන, දාන, සීල, භාවනා දී පුණ්‍යක්‍රියා හමුවේ කිසිදු අවබෝධයකින් තොරව නමුදු සහය වන්නේ නම්, එක් වන්නේ නම්, උපකාර කරන්නේ නම්, ඉන් ඒ පුද්ගලයාට ඉතා දුර්වල නමුදු කුසල් සිත් පහල වේ. එකී කුසල් සිත් ආසේවනය වීමෙන්, පසු පසුව කරනු ලබන කුසල් පෙරට වඩා දියුණු වන්නේය. ඉන් පසුව තව තවද කුසල් සිත බලවත් වන්නේ වෙයි.

ඒ ඔහු අන්ධ භක්තියෙන් නමුදු කුසලයකට සම්බන්ධ වී යම් දුර්වල හෝ කුසලයක් රැස් කරගත්තේ ද, ඒ කුසලය ප්‍රත්‍ය වීමෙන් ඒ ජීවිතය තුල දී හෝ පසු ජීවිතයකදී හෝ පෙරට වඩා බලවත් කුසල් රැස් කරගැනීමට මාර්ගය විවර වන්නේ වෙයි. ඉන් පසුව රැස් කරනා කුසල් පෙරට වඩා බලවත් වීම හේතුවෙන් මතු මතු අවස්ථා හා මතු මතු ජීවිත වලදී පුණ්‍ය ශක්තිය වඩවඩාත් බලවත් වන්නේ වෙයි.

එසේ වෙමින් අන්ධ භක්තියෙන් නමුදු අන්‍යයන්ගේ මෙහෙයවීමෙන් නමුදු කුසලය ආරම්භ වූ යම් පුද්ගලයෙක් වේ ද, ඒ ඔහු එකී මාර්ගය තුල භව ගණනාවක් ගමන් කරන්නේ වේද, එකී මාර්ගය භව ගණනාවක් පුරුදු කරන්නේ වේද, ඒ පුරුදු කිරීම, ඒ ගමන් කිරීම, ක්‍රමක්‍රමයෙන් අවිද්‍යාව තුනී කිරීමට හේතු පාදක වේ. ක්‍රමක්‍රමයෙන් ප්‍රඥාව දියුණු කිරීමට හේතු පාදක වේ.

ඒ ඔහු සීල සමාධි ප්‍රඥා වඩමින් සසරේ බොහෝ කාලයක් පුරුදු පුහුණු වෙද්දී, චතුරාර්ය සත්‍යය පිලිබඳ සත්‍ය ඤාණය ඇති කර ගැනීමට තරම් අවිද්‍යාව තුනී වේ. ප්‍රඥාව දියුණු වේ.

ඒ ඔහු එකී අවස්ථාවෙදී සතිපට්ඨානය වඩන්නේ නම්, මගපල ලැබීම ඉතා පහසු වේ. ඒ පහසුව ලැබීම පිණිස පෙර කී භව ගණනාවක පුහුණුව ඉතා වැදගත් වේ.

මේ දක්වන ලද භව ගණනාවක පුහුණුව නොමැතිව, අහසින් වැටුනාක් මෙන්, එකවර හෝ ක්ෂණිකව හෝ කෙටි ක්‍රම මගින් හෝ නිවන් ලැබීමක් ලොව නොමැත. එබැවින් කිසිදු භාග්‍යවතුන් වහන්සේ නමක්, එකවර හෝ ක්ෂණිකව හෝ කෙටි ක්‍රම මගින් හෝ ලැබිය හැකි නිවනක් දේශනා කරන්නේ නැත.

මෙසේ භව ගණනාවක් පුරාවට දාන සීල භාවනා, සීල සමාධි ප්‍රඥා, පුහුණු වීම, දියුණු කිරීම, ශක්තිමත් කිරීම පාරමිතා පිරීම නම් වේ. ඒ පාරමිතා නොමැතිව පෙර කී සේ එකවර අවිද්‍යාව දුරු කිරීම යනු සිදු නොවන්නක් බව ඉඳුරාම දත යුතුය.

එසේම පාරමිතා පිරීම යනු මතු ශාසන පතාගෙන නිවන කල් දැමීම නොව, මේ ජීවිතය තුලදීම නිවන් දැකීමට උපරිම උත්සහ කිරීම තුලින් සිදු වන්නකි. එසේ මේ ජීවිතය තුලදීම නිවන් දකින්නට උත්සහ කරන්නාට පමණක්ම මාර්ගය වැඩේ. පාරමිතා සපිරේ.

මිත්‍යාදෘෂ්ඨිය හා මිත්‍යාදෘෂ්ඨිකයා



ලෝකයේ මිත්‍යා දෘෂ්ඨි දහයකි. ඒවා නම් ‘නත්‌ථි දින්‌නං, නත්‌ථි යිට්‌ඨං, නත්‌ථි හුතං, නත්‌ථි සුකට දුක්‌කටානං කම්‌මානං ඵලං විපාකො, නත්‌ථි අයං ලොකො, නත්‌ථි පරො ලොකො, නත්‌ථි මාතා, නත්‌ථි පිතා, නත්‌ථි සත්‌තා ඔපපාතිකා, නත්‌ථි ලොකෙ සමණබ්‍රාහ්‌මණා සම්‌මග්‌ගතා සම්‌මාපටිපන්‌නා යෙ ඉමඤ්‌ච ලොකං පරඤ්‌ච ලොකං සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා පවෙදෙන්‌තී’ති යන ඒවා වේ. 

එනම්, දන් දීමෙහි විපාක නැත, මහා යාගයෙහි විපාක නැත, පිදීමෙහි විපාක නැත, යහපත් අයහපත් ක්‍රියාවන්ගේ විපාක නැත, පරලොව සිට මෙලොවට පැමිණීමක් නැත, මෙලොව සිට පරලොව යාමක් නැත, මවට කරන හොඳ නරකෙහි විපාක නැත, පියාට කරන හොඳ නරකෙහි විපාක නැත, ඕපපාතිකව උපදින සත්වයෝ නැත, මෙලොව පරලොව පිලිබඳ විශේෂයෙන් දන්නා, මනාවූ අභිඥාලාභී උතුමන් නැත යන මිත්‍යා දෘෂ්ඨීන් වේ.

මෙකී මිත්‍යාදෘෂ්ඨීන් කල්පයේ මුල් කාලයේ පටන් පවතින අතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහල වීමෙන් පසුව ඒවා කඩා දමා ලෝක සත්‍යය ලොවට හෙළි කරන සේක.

එසේ හෙලිකල සත්‍යය හෙවත් සම්මා දිට්ඨිය සෑම සියලු සත්වයකුටම පහසුවෙන් අවබෝධ කල හැකි නොවේ. වටහාගත හැකි නොවේ. ඒ උදෙසා විශේෂයෙන් දියුණු කල මනසක් පැවතිය යුතු අතර, මනස දියුණු කිරීමට නම් බොහෝ පුණ්‍ය ශක්තියක් ද පැවතිය යුතු වේ. 

ඒ පුණ්‍ය ශක්තිය කරණකොටගෙන මනස දියුණු වීම ද, මනස දියුණුවීම කරණකොටගෙන පුණ්‍ය ශක්තිය වර්ධනය වීම ද සිදුවේ. ඒ තුලින් සම්‍යක්දෘෂ්ඨිය මිත්‍යාදෘෂ්ඨිය වෙන් කර වටහා ගැනීමේ හැකියාව ඇතිවේ. නමුත්, 

ලෝකයෙහි සත්වයෝ අතරින් කුසල සංස්කාර රැස් කරන්නෝ ඉතාමත් අල්පය. එයින් ද උත්කෘෂ්ඨ කුසල් රැස් කරන්නෝ අතිශයින්ම දුලබය. එබැවින් සම්‍යක්දෘෂ්ඨිය මිත්‍යාදෘෂ්ඨිය වෙන් කර වටහා ගැනීමේ හැකියාව ලබන්නේ අතිශයින් සුළු පිරිසකි. 

තවද, අකුසලය රජයන වර්තමානය වැනි අධාර්මික කාල වලදී, ලෝකයෙහි පංච දුශ්චරිතය බහුල වීම විශේෂයෙන් සිදුවේ. එසේම පූර්ව අකුසල ගෙවා දමා සතර අපායෙන් චුත වන සත්වයන් මනුෂ්‍ය තලයෙහි ප්‍රතිසන්ධි ගැනීම ද අධාර්මික සමයන්හිදී බහුලව සිදුවේ. ඒ අවශේෂ අකුසල් ගෙවා දමනු පිණිසය. එබැවින් ද ලෝකයෙහි ප්‍රාණඝාත ආදී අකුසලයෝ බහුල වේ. එසේ විවිධාකාරයෙන් අකුසල බහුල වන බැවින් සත්වයන්ගේ අකුසල විපාක බහුල වන අතර, කුසල විපාක සීමා සහිත වේ. කාල විපත්ති හා පයෝග විපත්ති බලපාන බැවිනි.

එසේ අකුසලය හා අකුසල විපාක බහුල වී, කුසලය හා කුසල විපාක අල්ප වන විට, මිත්‍යාදෘෂ්ඨියේ පැතිරීම බලවත්ව සිදු වේ. මිත්‍යාදෘෂ්ඨිය බලවත් වන විට නැවත ද සෙසු අකුසල බලවත් වේ. නමුත්, 

මිත්‍යාදෘෂ්ඨිකයා මිත්‍යාදෘෂ්ඨිය පැතිරවීම බහුල කිරීමේදී අවසානයේ හානිය වන්නේ ඔහුටමය. කිමද යත්, මිත්‍යා දෘෂ්ඨිය බහුල වෙද්දී බොහෝ දෙනා ඒ පිළිබඳව සාකච්චා කරන්නේය. සංවාද කරන්නේය. විවාද කරන්නේය. එවිට මිත්‍යාදෘෂ්ඨියේ මිත්‍යා ලක්ෂණ ලොවට ප්‍රකට වන්නේය. සාවද්‍ය බව ලොවට ප්‍රකට වන්නේය. අකුසල ස්වභාවය ලොවට ප්‍රකට වන්නේය. එමගින් මිත්‍යාව වැනසී යතාර්ථය ලොව බබලන්නේය.

එසේ යථාර්තය ලොව බබලවා මිත්‍යාව වනසා දැමීමට නම්, මිත්‍යාවේ මිත්‍යා ස්වභාවය, ධර්මානුකූලව, විනයානුකූලව, බුද්ධ දේශනාවට අනුකූලවම ලොවට හෙළි කල යුතුය. 

අතින් පයින් කරනා සටනකින් මිත්‍යාදෘෂ්ඨිය විනාශ කල නොහැක. එය විනාශ කල හැක්කේ ධර්මය අනුව මිත්‍යාවේ බොරුව ලොවට හෙළි කිරීමෙනි. 

එබැවින් ධර්මකාමී සියල්ලෝ මිත්‍යාවට එරෙහිව තම තමන්ගේ ධර්ම සංවාද ලොවට ඉදිරිපත් කල යුතුය. ලිපි ලිවිය යුතුය. වීඩියෝ නිර්මාණය කල යුතුය. සංවාද කල යුතුය. ධර්ම ප්‍රචාරය කල යුතුය.

එමගින් අධර්මය නැසිය යුතුය.

ධර්මය ස්ථාපිත කල යුතුය.

එක්වෙමු. නැගිටිමු. පරවාද සුන් කරමු. නිවනින් සැනසෙමු.

සැමට සම්මා සම්බුදු සරණයි...!!! 

බුද්ධාගමේ බේරගන්න දෙයක් නැද්ද?



පසුගිය කාලයේ විශේෂයෙන් ප්‍රචාරය වූ දෘෂ්ටි අතර එක් මතයක් වූයේ //බුද්ධාගමේ බේරගන්න දෙයක් නෑ. බුද්ධාගමේ තියෙන්නේ උඹලට බේරෙන හැටි..!// යන මිත්‍යා මතවාදයයි. එය පැහැදිලිවම සාවද්‍ය මතයකි. එනමුත් ඒ මතවාදය නැවතද ප්‍රචාරය වනු දුටුහෙයින් මෙසේ ලිපියකින් පිළිතුර තැබීමට සිත් විය.  

එකී මතයේ ඇති සාවද්‍ය බව කුමක්ද, සම්බුද්ධ ශාසනය ආරක්ෂා කල යුතුද නැතිද, ආරක්ෂා කල යුතු නම් ඒ කෙසේද, යන කාරණා පිළිබඳව මේ ලිපිය තුලින් සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙමි. නුවණින් පමණක් විමසන සේක්වා.

ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය යනු සුවිශේෂී ශාසනයකි. කිමද යත්, සාමාන්‍යයෙන් බුදුරජාණන්වහන්සේ නමක් ලොව පහල වනවාට වඩා අති සීඝ්‍රගාමී පාරමිතා ගමනක වැඩියාවූ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ, බොහෝ දුෂ්කර ක්‍රියා මධ්‍යයෙහි ලොවට ධර්ම දායාදය ලබා දී ශාසනය පිහිටුවා තිබීමයි. එකී ශාසනය බොහෝ ආකාර වලින් බෙදා විස්තර සහිතව දේශනා කර ඇත්තේ බොහෝ කාලයක් සත්වයාට අනුග්‍රහ ලබා දීම පිණිසයි.

ඒ උතුම් බුද්ධ දේශනාව ධර්මය, ශාසනය, ආගම, පරියත්තිය යනාදී විවිධ නම් වලින් හඳුන්වනු ලැබේ. එහි ආගම යන්න පිලිබඳ විවිධ මත තිබුණද, පාලි භාෂාවෙන් බුද්ධ දේශනාව ආගමකි. බටහිර චින්තනය අනුව ආගමක් නොවේ. 

බටහිර චින්තනය අනුව ආගම - Religion යනු දෙවියන් හෝ ඒ හා සම්බන්ධ ආධ්‍යාත්මික නායකයන්ගේ ක්‍රියා කලාප එකතුවකි.

01. Religion - the belief in the existence of a god or gods, and the activities that are connected with the worship of them, or in the teachings of a spiritual leader - Oxford Advanced Learner's Dictionary 

02. Religion - the belief in and worship of a god or gods, or any such system of belief and worship - Cambridge Dictionary.

ඒ අනුවම බුදු දහම යනු Religion නොවේ.

නමුත් පාලි භාෂාව අනුව ආගම යනු පැමිණීම, අවබෝධය, බුද්ධ දේශනාව, ධර්මය, ශාසනය  යනාදී අර්ථ දෙන වචනයකි.

//නත්‌ථි තතොනිදානං පාපං, නත්‌ථි පාපස්‌ස ආගමො.// ( පූරණකස්‌සපවාදො)

ඒ හේතුවෙන් පාපයක් නැත. පාපයේ පැමිණීමක් නැත.

//ථෙරො භික්‌ඛු විහරති බහුස්‌සුතො ආගතාගමො ධම්‌මධරො විනයධරො මාතිකාධරො.// (චතුමහාපදෙසකථා, මහාපරිනිබ්බානසූත්‍රය)

බහුශ්‍රැත, ආගත ආගම, ධම්මධර, විනයධර, මාතිකාධර ථේර භික්ෂුන් වහන්සේ නමක් වාසය කරයි.

//තත්‌ථ දීඝාගමො නාම සීලක්‌ඛන්‌ධවග්‌ගො, මහාවග්‌ගො, පාථිකවග්‌ගොති වග්‌ගතො තිවග්‌ගො හොති; සුත්‌තතො චතුත්‌තිංසසුත්‌තසඞ්‌ගහො// (දීඝනිකායෙ සීලක්‌ඛන්‌ධවග්‌ගට්‌ඨකථා)

එහි දීඝ ආගම නම් සීලස්කන්ධ වර්ගය, මහා වර්ගය, පාථිකවර්ගය යැයි වර්ග වශයෙන් වර්ග තුනක් වෙයි. සූත්‍ර වශයෙන් තිස් හතරක සංග්‍රහයකි.

//ආගතාගමොති වාචුග්‌ගතපරියත්‌තිධම්‌මො//

ආගත ආගම යනු වාචෝද්ගත (වචනයෙන් හුරු කල) පර්යාප්ති ධර්මයයි.

//සඞ්‌ඝෙන අනුමතෙන පුග්‌ගලෙන අනුවිජ්‌ජකෙන අනුවිජ්‌ජිතුකාමෙන න උපජ්‌ඣායො පුච්‌ඡිතබ්‌බො....... න ආගමො පුච්‌ඡිතබ්‌බො..... // (පරිවාරපාලි)

සංඝයා විසින් අනුමත කල විනිශ්චය කරනු කැමති නඩු විසඳන්නා වූ පුද්ගලයා විසින් උපාධ්‍යායන් වහන්සේ නොවිමසිය යුතුය .... ආගම නොවිමසිය යුතුය.....

//න ආගමොති ‘‘දීඝභාණකොසි ත්‌වං මජ්‌ඣිමභාණකො’’ති එවං ආගමො න පුච්‌ඡිතබ්‌බො. //(පරිවාරපාලි අටුවා)

ආගම නොවිමසිය යුතුය යනු “ඔබ දීඝ නිකාය දේශනා කරන්නෙක් ද මධ්‍යම නිකාය දේශනා කරන්නෙක් ද” යැයි මෙසේ ආගම (දීඝාදී නිකාය, බුද්ධ දේශනාව හැදෑරීම) නොවිමසිය යුතුය. 

මෙකී උදාහරණ තුලින් පෙනී යන්නේ බුද්ධ දේශනාව උදෙසා ආගම යන වචනය බුදුරජාණන්වහන්සේ විසින්ම භාවිතා කර ඇති පදයක් යන්නයි. එබැවින් බුද්ධ දේශනාව ආගමකි. ඒ පාලි භාෂාවෙන් හා බුදුරජාණන්වහන්සේගේ අර්ථයෙනි. බටහිර චින්තනය අදාළ කරගත යුතු නැත.

එසේ වූ බුද්ධ ආගම යනු කුමක්දැයි විමසිය යුතුය. ඒ ශාසනය නම් සුත්‌ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්‌තක, ජාතක, අබ්‌භුතධම්‌ම, වෙදල්‌ල යනාදී වශයෙන් නව ආකාරයකට ද, නිර්වාණ රස වශයෙන් එක් ආකාරයකට ද, ධර්ම විනය වශයෙන් දෙයාකාරයකට ද, සූත්‍ර, විනය, අභිධර්ම වශයෙන් තුන් ආකාරයකට ද, ආර්ය සත්‍ය වශයෙන් සිව් ආකාරයකට ද, දීඝ ආදී නිකාය වශයෙන් පස් ආකාරයකට ද, ස්කන්ධ අසූහාර දහසක් ලෙස ද බෙදා දැක්විය හැකි බුදුරජාණන්වහන්සේ දේශනා කල ධර්මයයි. බුද්ධ දේශනාවයි. බුද්ධ වචනයයි. 

ඒ බුද්ධ දේශනාව වනාහී පිළිපැදීම තුලින් පමණක් 100% ආරක්ෂා කල හැක්කක් නොවේ. පිළිපැදීම තුලින් ආරාක්ෂා කල හැක්කේ ප්‍රතිපත්ති ප්‍රතිවේධ දෙක පමණි. ඒ දෙක ද තනි පුද්ගලයෙක් ආරක්ෂා කල පමණින් ශාසනය ආරක්ෂා කල හැකි නොවේ. උදාහරණයකට උපසම්පදාව සලකා බැලිය යුතුය. 

උපසම්පදාව ලබා දීමේදී මාධ්‍ය දේශයේ නම් පිරිසිදු උපසම්පදාව සහිත භික්ෂූන් වහන්සේලා දහ නමක්, පාරිශුද්ධ සීමාවකට රැස්ව නවකයා උපසම්පදා කල යුතුය. ප්‍රත්‍යන්ත ජනපදයේ නම් අඩුම පස් නමක් සිටිය යුතුය.

පිරිසිදු උපසම්පදාව සහිත භික්ෂූන් වහන්සේලා පස් නමක් නොමැති නම් ප්‍රතිපත්ති ශාසනය අතුරුදහන් වේ. එබැවින් තනි පුද්ගලයකු රහත් වූයේ නමුදු ශාසනය රැකිය නොහැක. 

එසේම ප්‍රතිපත්තිය රැකීමට නම් පර්යාප්තිය සුරක්ෂිත වී පැවතිය යුතුය.

එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ධර්ම සංගායනා නොකළේ නම් අද පර්යාප්තිය අතුරුදහන් වී යනු ඇත. පර්යාප්තිය නැති තැන ප්‍රතිපත්තිය නැත. ප්‍රතිපත්තිය නැති තැන ප්‍රතිවේධය නැත. එබැවින් ප්‍රතිපත්ති රැකි පමණින් ශාසනය රැකෙන්නේ නැත. නිවන් දුටු පමණින් ශාසනය රැකෙන්නේ නැත. පර්යාප්තිය රැකිය යුතුමය. 

එහි පර්යාප්තිය රැකීම යනු වෙනමම කර්තව්‍යයකි. 

වජ්ජිපුත්තක භික්ෂූන්ගේ දස අකැප වස්තුවේ පටන් අශෝක අධිරාජ්‍යයාගේ සමයෙහි තීර්ථකයන්ගේ ශාසන විලෝමය ද, නාලන්දා ආදී විශ්ව විද්‍යාල ගිනි තබා විනාශ කිරීම ද, බැමිණිතියා සාය වැනි උවදුරු ද යනාදී අනේකවිධ අතුරු අන්තරා මධ්‍යයෙහි, //බුද්ධාගමේ බේරගන්න දෙයක් නෑ. බුද්ධාගමේ තියෙන්නේ උඹලට බේරෙන හැටි..!// යන ගොබ්බ නපුංසක අධාර්මික මිත්‍යා මතය කරපින්නා ගත් රාජ රාජ මහාමාත්‍යයන් සහ භික්ෂූන් වහන්සේලා වැඩ සිටියේ නම්, අද වන විට ධර්මය වෙනුවට ඇත්තේ, මලකඩ ඇණ පිරුණු ආණි බෙරය වැනි වූ, සද්ධර්ම ප්‍රතිරූපක මත ගොඩක් පමණි. එවිට පර්යාප්තිය නැත. ප්‍රතිපත්ති ප්‍රතිවේද ගැන කවර කතා ද?

ඒ පර්යාප්තිය යනු වෙර යොදා රැකිය යුත්තකි. එනම්, බහුස්‌සුතා හොන්‌ති ධාතා වචසා පරිචිතා මනසානුපෙක්‌ඛිතා දිට්‌ඨියා සුප්‌පටිවිද්‌ධා යනාදී ආකාරයෙන් මනාව අසා ධාරණය කොටගෙන වචනයෙන් හුරුකොට මනසින් විමසා සම්‍යක් දෘෂ්ටියෙන් මනාව දැක පර්යාප්තිය දරාගෙන සිටිය යුතුය. එනම් මනාසේ ත්‍රිපිටකධාරී විය යුතුය. ඉන් අනතුරුව බොහෝ ශිෂ්‍ය පිරිසකට ධර්ම විනය ඉගැන්විය යුතුය. 

ඒ කටයුතු නිකං හිටියාට වෙන දේවල් හෝ තමන් රහත් වූ පමණින් හෝ සිදුවන දේවල් නොවේය. ඒවා උත්සාහයෙන් යුතුව ධර්ම ප්‍රචාරය පිණිස වෑයම් කිරීමෙන් ලද යුතු ප්‍රතිපලයකි. එසේ නොකරන්නේ නම් පර්යාප්තිය අතුරුදන් වන්නේය.

එසේම වර්තමානයේ ත්‍රිපිටකය ඇත්තේ ග්‍රන්ථාරූඩ කිරීම් වශයෙන් හා තාක්ෂණික ක්‍රම වශයෙනි. එකී ග්‍රන්ථ විකෘති කර මුද්‍රණය කිරීම හරහා ද ධර්මය අතුරුදන් කරවීමට හැකිය. විකෘති ප්‍රචාරය බහුල වන්නේ නම් ප්‍රකෘතිය අතුරුදන් වීම පහසුවෙන් සිදු වන්නකි.

එසේම අධාර්මික බලය හරහා ධාර්මික භික්ෂුන් වහන්සේලා මර්ධනය කිරීම ද, ධර්ම විනය විනාශ කිරීම ද කල හැකි වේ. ඉන්දියාවේ, පාකිස්තානයේ ශාසනය අතුරුදහන් වූ ආකාරයෙනි.

එසේම භික්ෂූන් වහන්සේලා ධර්ම විනය නොම හදාරන්නේ නම් එයින් ද ධර්ම විනය අතුරුදහන් වීම සිදුවේ.

මේ ආකාරයට උත්සහ කර පර්යාප්ති ශාසනය ආරක්ෂා නොකරන්නේ නම් පර්යාප්තිය අතුරුදහන් වන්නේය. පර්යාප්තිය අතුරුදහන් වූ කල ප්‍රතිපත්තිය අතුරුදහන් වන්නේය. ප්‍රතිපත්තිය අතුරුදහන් වූ කල ප්‍රතිවේධය අතුරුදහන් වන්නේය. 

ඒ ආකාරයෙන් ශාසනය වෙර යොදා, ශක්තිය යොදා, උත්සාහයෙන් ආරක්ෂා නොකරන්නේ නම්, වහා අතුරැදහන් වන්නේය. එබැවින් //බුද්ධාගමේ බේරගන්න දෙයක් නෑ.// යනුවෙන් යමෙක් පවසයි ද, ඔහු මුසාවක් පවසා ඇත. ශාසනයට බාධා පමුණුවා ඇත. ශාසන විලෝමයක් සිදු කොට ඇත. අකුසලයක් රැස් කරගෙන ඇත.

කුමක් නිසා ශාසනය රැකිය යුතුද යන්න විමසා සිටීම ශාසනය රැකීමට මහෝපකාරී වන්නේය. එබැවින් ශාසනය රැකිය යුත්තේ ඇයි ද යන්න මෙසේ විමසා සිටිමු.

භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කලේ සකල ලෝක වාසී සකල සත්ව වර්ගයාම දුකින් එතෙර කරවනු පිණිසය. එනම්, ජාති, ජරා, ව්‍යාධි, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස, අප්‍රිය සම්ප්‍රයෝග, ප්‍රිය විප්‍රයෝග යනාදී දුක්ඛස්කන්ධයෙන් මිදීම පිණිසය. 

දුකින් මිදිය යුත්තේ දුකක් පවතින නිසාය. ඒ සත්වයා හට පවතින දුක පෙන්වා දී, එයින් මිදීම ද පෙන්වා දී, මිදෙන මාර්ගය ද පෙන්වා තිබේ නම්, සත්වයා මාර්ගය අනුගමනය කර දුකින් මිදෙන්නේය. එබැවින් දුකින් මිදෙන මාර්ගය පෙන්වා ඇති බුද්ධ ධර්මය ලොව පවතින තාක් සත්වයා එය අනුගමනය කර දුකින් මිදෙන්නේය. එබැවින් ධර්ම විනය ආරක්ෂා කල යුතුමය. අතීත උතුමන් වහන්සේලා ධර්ම විනය ආරක්ෂා කල නිසා වර්තමාන අපට එය ලැබී ඇත. අපද එය ආරක්ෂා කර අනාගත පරම්පරාවට නිර්මලව පිරිසිදුව ලබා දිය යුතුමය. 

එනමුත් සත්වයා දුකින් මිදෙනවාට මාර පාක්ෂික බලවේග කැමති නැත. එබැවින් ධර්ම විනය විනාශ කිරීම පිණිස ඒ මාර පාක්ෂික බලවේග දැඩිව ක්‍රියාත්මක වන්නේය. ඒ වෙනුවෙන් //බුද්ධාගමේ බේරගන්න දෙයක් නෑ. බුද්ධාගමේ තියෙන්නේ උඹලට බේරෙන හැටි..!// වැනි අධාර්මික මතවාද මෙන්ම තවත් බොහෝ අශාසනික කටයුතු සිදු කරමින් ශාසනය විනාශ කිරීමට කටයුතු කරන්නේය. ඒ බව කල් තියා දැක, ශාසනය ආරක්ෂා කිරීම සත්පුරුෂ සැමගේ ශාසනික වගකීමකි. ඒ සඳහා සියලු සත්පුරුෂයෝ එකසේ කැප වෙත්වා...!!! 

ශාසනය චිරාස්ථායී වේවා...!!! 

අධර්මය නැසේවා...!!!

ධර්මය ස්ථාපිත වේවා...!!!