වර්තමානයේ සමාජය තුල වඩාත් ප්‍රචලිත දුර්මතයක් වන්නේ බෞද්ධයා හෙවත් බුදු දහම අනුගමනය කරන පුද්ගලයා යනු ආර්ථික වශයෙන් දුර්වල වූ මානසික වශයෙන් පිරිහුණු අසාර්ථක පුද්ගලයකු වන බවයි. ඒ බව සාධනය කරනු වස් බොහෝ උදාහරණ මෙන්ම ප්‍රචාරක කටයුතු බලවත්ව සිදු වන බව ද පැහැදිලිව පෙනෙන්නට තිබේ.
එසේ නමුත් සත්‍යතාවය නම්, බෞද්ධයා යනු ආර්ථික අතින් ශක්තිමත් වූ මානසික වශයෙන් ද බලවත් වූ පුද්ගලයකු බවයි. ඒ බවට බුද්ධ දේශනාව තුල බොහෝ උදාහරණ පෙනෙන්නට තිබේ.
//චතුනවුතෙ ඉතො කප්‌පෙ, යං කම්‌මමකරිං තදා;
දුග්‌ගතිං නාභිජානාමි, පුඤ්‌ඤකම්‌මස්‌සිදං ඵලං.//
//චතුන්‌නවුතිතො කප්‌පෙ, යං ථම්‌භමදදං තදා;
දුග්‌ගතිං නාභිජානාමි, එකත්‌ථම්‌භස්‌සිදං ඵලං.//
//තිංසකප්‌පසහස්‌සම්‌හි, යං දානමදදිං තදා;
දුග්‌ගතිං නාභිජානාමි, ගන්‌ධාලෙපස්‌සිදං ඵලං.//
//එකනවුතෙ ඉතො කප්‌පෙ, යං කම්‌මමකරිං තදා;
දුග්‌ගතිං නාභිජානාමි, ඵලං සම්‌මජ්‌ජනායිදං.//
//සතසහස්‌සිතො කප්‌පෙ, යං දුස්‌සමදදිං තදා;
දුග්‌ගතිං නාභිජානාමි, එකදුස්‌සස්‌සිදං ඵලං.//
//ද්‌වෙනවුතෙ ඉතො කප්‌පෙ, යං කම්‌මමකරිං තදා;
දුග්‌ගතිං නාභිජානාමි, පදපූජායිදං ඵලං.//
ඉහත දක්වන ලද්දේ ඛුද්දක නිකායේ අපදාන පාලියෙහි දැක්වෙන ගාථා පාඨ කිහිපයකි. එයින් දැක්වෙන්නේ යම් එක් කුසලයක් හේතුවෙන් අති දීර්ඝ කාලයක් දෙව් මිනිස් සුගති ලෝකවල රජ සම්පත්, සිටු සම්පත්, දිව්‍ය සම්පත් භුක්ති විඳි සත්පුරුෂයන්ගේ කතා ප්‍රවෘත්තීන් වේ. ඒ උත්තම ජීවිත අවසානයේ ලොව්තුරා අමා මහ නිවනින් සැනසීමට පත් වූ බව ද ඒ කතා පුවත් තුල මනාව විස්තර කෙරේ.
බෞද්ධයා යනු එවැන්නෙකි. එනම් මනුෂ්‍ය ලෝකයේ බොහෝ රජ සම්පත්, සිටු සම්පත් පමණක් නොව සක්විති රාජ්‍ය සම්පත්තීන් පවා භුක්ති විඳින, ඉන් නොනැවතී දිව්‍ය තලවල පවා උසස් සම්පත් භුක්ති විඳින, ඒ සම්පත් සහිතවම ධර්මය දකින, එකී ලෞකික සම්පත් තුල ඇලී ගැලී නොසිට, ඒවා හැර දමා නිවන ද ශාක්ෂාත් කරන අසමසම පුද්ගලයෙකි.
ඒ බෞද්ධයා දුගතියකට පත් නොවන්නේද?
දුගතියකට නොයන්නේ යැයි නියතයක් මගපල නොලත් කිසිවකුට නැත. එබැවින් බෞද්ධ වූයේ නමුදු දුගතියට වැටීමට නියතවම ඉඩ තිබේ. වැටෙන්නේ ද වේ. එය වනාහී හුදෙක් ශ්‍රාවකයන්ට පමණක් නොව මහා බෝසතාණන් වහන්සේලාට ද උරුම වූ ධර්මතාවයකි.
එනමුත්,
බෞද්ධයා යනු සදාකාලික දුගතියෙහි දුක් විඳින්නකු හෝ සුගතියට පැමිණ ආර්ථික වශයෙන් දුර්වල වූ මානසික වශයෙන් පිරිහුණු අසාර්ථක පුද්ගලයකු නොවන්නේ වේ. ඒ කිමද යත්, තෙරුවන් සරණ ගිය සත්පුරුෂයා ලද සෑම අවස්ථාවකම කුසලයෙහි නිරත වන බැවිනි.
ලද සියලු තැන්හි කුසලයෙහි යෙදෙනා සත්පුරුෂයා එකී කුසලයන්ගේ විපාක වශයෙන් සුගති භව තුල උසස් සම්පත්තීන් භුක්ති විඳින්නේ වෙයි. යම් වැරදීමකින් දුගතියට යා හැකි නමුත්, වහ වහා ඉන් මිදෙන්නේය. ඒ බව බෝසතාණන් වහන්සේගේ මෙන්ම ශ්‍රාවක උතුමන් වහන්සේලාගේ චරිත තුලින් ද මනාව වටහා ගත හැකිය. එසේම බුද්ධ කාලයේ පැවිදිව මගපල ලැබුවෝ මෙන්ම ගිහිව මගපල ලැබුවෝ ද ඇති බහුතරය මහා ධනවතුන්, කුලවතුන්, බලවතුන් වූහ. ඒ ඔවූහු සැබෑ බෞද්ධයන් වී සසර පුරා කුසල් දහම් සිදු කල නිසාවෙනි.
එබැවින්,
යමකු විසින්, // බෞද්ධයා යනු ආර්ථික වශයෙන් දුර්වල වූ මානසික වශයෙන් පිරිහුණු අසාර්ථක පුද්ගලයකු// යැයි පවසයි නම්, එය වනාහී ඒකාන්තයෙන්ම මුසාවකි. ප්‍රලාපයකි. අසත්‍යයකි. බැහැර කල යුත්තකි.
යමෙකු බෞද්ධ නොවන්නේ නම්, ඔහු ආර්ථිකව ශක්තිමත් විය හැකි නමුත්, සසර හමුවේ අසරණ වූ හිස පුඟුලෙකු පමණක් බව ඉඳුරාම පැවසිය හැකිය.
එබැවින්, නොපමාව කුසල් දහම්හි හැසිරෙමින්, සුඛා පටිපදාවෙන් නිවන් මග ශාක්ෂාත් කරගැනීමට, සියල්ලෝ උත්සහ කෙරෙත්වා.
සියලු දෙනාටම, තෙරුවන් සරණයි...!!!

No comments:
Post a Comment