මේ ශාසනය තුල පුද්ගලයෝ සතර දෙනෙක් විද්‍යාමාන වෙයි. ඒ සතර දෙනා නම්,
1. //නෙවත්තහිතාය පටිපන්නො නො පරහිතාය//
තමාගේ හිත පිනිස නොපිලිපදින, අනුන්ගේ හිත පිනිස නොපිලිපදින පුද්ගලයා.
2. //පරහිතාය පටිපන්නො නො අත්තහිතාය//
අනුන්ගේ හිත පිනිස පිලිපදින, තමාගේ හිත පිනිස නොපිලිපදින පුද්ගලයා.
3. //අත්තහිතාය පටිපන්නො නො පරහිතාය//
තමාගේ හිත පිනිස පිලිපදින, අනුන්ගේ හිත පිනිස නොපිලිපදින පුද්ගලයා.
4. //අත්තහිතාය චෙව පටිපන්නො පරහිතාය ච//
තමාගේ හිත පිනිස පිලිපදින, අනුන්ගේ හිත පිනිස පිලිපදින පුද්ගලයා.
මෙසේ වූ සතරක් පුද්ගලයින් අතුරෙන් බුදුරජාණන් වහන්සේ වඩාත් ගරුකොට සලකන්නේ තමාගේත් අනුන්ගේත් යහපත පිනිස පිළිපන් පුද්ගලයායි. ඒ කුමක් නිසා ද යත්, එකී පුද්ගලයා ශාසන අභිවෘද්ධිය පිනිස පිළිපන් හෙයිනි.
භාග්‍යවතුන් වහන්සේ විසින්, තමාගේ යහපත පිනිස පමණක් පිලිපදින, අනුන්ගේ යහපත පිලිනොපදින පුද්ගලයා කෙරෙහි පොදුවේ දක්වන අනුකම්පාව දක්වන නමුත් විශේෂ සැලකීමක් නොමැත. එනමුත් එකී පුද්ගලයා තමාගේ හිත පිනිස පිලි නොපදින පුද්ගලයන්ට වඩා උසස් බව ද දේශනා කර තිබේ.
එහිදී බුදුරජාණන් වහන්සේ අග්‍රම පුද්ගලයා ලෙස තමාගේත් අනුන්ගේත් යහපත පිනිස පිලිපදින පුද්ගලයා දැක්වීමට හේතුව විමසා සිටිමු.
ඡවාලාත සූත්‍රය තුල මෙසේ දැක්වේ.
//තත්‍ර, භික්ඛවෙ, ය්වායං පුග්ගලො අත්තහිතාය චෙව පටිපන්නො පරහිතාය ච, අයං ඉමෙසං චතුන්නං පුග්ගලානං අග්ගො ච සෙට්ඨො ච පාමොක්ඛො ච උත්තමො ච පවරො ච.
සෙය්‍යථාපි, භික්ඛවෙ, ගවා ඛීරං, ඛීරම්හා දධි, දධිම්හා නවනීතං, නවනීතම්හා සප්පි, සප්පිම්හා සප්පිමණ්ඩො, සප්පිමණ්ඩො තත්ථ අග්ගමක්ඛායති; එවමෙවං ඛො, භික්ඛවෙ, ය්වායං පුග්ගලො අත්තහිතාය චෙව පටිපන්නො පරහිතාය ච, අයං ඉමෙසං චතුන්නං පුග්ගලානං අග්ගො ච සෙට්ඨො ච පාමොක්ඛො ච උත්තමො ච පවරො ච.//
මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමාට හිත පිණිස ද මෙරමාහට හිතපිණිස ද පිළිපන්නේ වේ නම්, මේ සතර පුද්ගලයන් අතුරෙන් මෙ තෙම අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උත්තම ද ප්‍රවරද වෙයි.
මහණෙනි, යම් පරිදි දෙනගෙන් කිරි ද, කිරියෙන් දිහි ද, දිහියෙන් වෙඬරු ද, වෙඬරුයෙන් ගී ද, ගීයෙන් ගීමඬ වේ ද, එහි ගීමඬ අග්‍රය යි කියනු ලැබේ ද, මහණෙනි, එපරිද්දෙන් ම යම් පුද්ගලයෙක් තමාට හිත පිණිසත් මෙරමාහට හිතපිණිසත් පිළිපන්නේ වේ නම්, හෙතෙම මේ සතර පුද්ගලයන් අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උත්තම ද ප්‍රවර ද වේ. (ජයන්ති පරිවර්තනය)
එහි අටුවාව මෙසේය.
//යො පන සයං දසන්නං කථාවත්ථූනං ලාභී, පරම්පි තෙහි ඔවදති, අයං අත්තහිතාය චෙව පරහිතාය ච පටිපන්නො නාම සාරිපුත්තමොග්ගල්ලානමහාකස්සපාදයො අසීතිමහාථෙරා විය, එවරූපං භික්ඛුං පුච්ඡති. කස්මා? මය්හං සාසනස්ස වුඩ්ඪිපක්ඛෙ ඨිතොති.//
යමෙක් වනාහී තමා දස කථා වස්තු ලාභියකු වෙයි ද, අනුන්ට ද ඒවායින් අවවාද කරයි, මෙතෙමේ තමාගේ හිත පිනිස ද අනුන්ගේ හිත පිනිස ද පිලිපන්නා වූ සාරිපුත්ත මොග්ගල්ලාන මහාකාශ්‍යප ආදී අසූ මහා තෙරුන් වහන්සේලා මෙනි. එබඳු භික්ෂුව ගැන විමසයි. කවරක් හෙයින් ද? මාගේ ශාසනයෙහි වෘද්ධි පක්ෂයේ සිටියේය යනුවෙනි.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වඩාත් ගරුකොට සලකන්නේ ශාසනයෙහි වෘද්ධිය පිනිස කටයුතු කරන්නා වූ භික්ෂූන් වහන්සේලා පිලිබඳවයි.
තමාගේ නිවන පමණක් සිතනා භික්ෂූන් වහන්සේලාට වෙනසකින් තොරව අනුග්‍රහ කරන නමුත, උන්වහන්සේලාගේ නිවනට උපකාර වන්නේ තමා ද නිවන් දැක අනුන්ගේ නිවනට ද උපකාර වන භික්ෂූන් වහන්සේලා වන බැවින්, එහිලා එබඳු භික්ෂූන් වහන්සේලාට ස්වභාවයෙන්ම ගෞරවය හිමි වන්නේමය.
එබැවින් උත්තම පුද්ගලයකු වන කැමැත්තහු විසින් තමාගේත් අනුන්ගේත් නිවන පිනිස පිලිපැදිය යුතුය. උසස් වන්නේ එයයි.

No comments:
Post a Comment