"යං මයා සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං තං මම සාවකා ජීවිතහෙතුපි නාතික්කමන්ති"
මවිසින් ශ්‍රාවකයනට යම් ශික්ෂා පදයක් පනවන ලද්දේ ද, එය මාගේ ශ්‍රාවකයෝ ජීවිත හේතුවෙන් ද නොයික්මවන්නේය.
මෙසේ බුදුරජාණන් වහන්සේ විසින් සැබෑ ශ්‍රාවක තත්වය පනවා තිබිය දී, අන්ධ බාල ලාමක හීන පෘතජ්ජනයන්ගේ මනදොල පිනිවන, භික්ෂූන් මෙන්ම භික්ෂු ප්‍රතිරූපකයන් ද එන්න එන්න වැඩවෙමින් පවතී.
බලු බත් අනන්නා සේ වලඳක දමා අනා රඟනා රංගනයන් අතරේ ඉඳුල් හිඟමනේ යන නිකමෙකු ද දුටු කල සිහි වූයේ ජම්බුක ආජීවකයන් වැනි රඟන චරිත පමණකි.
ධර්මය ඇත්තේ සුවසේ කෙලෙස් නසනු පිනිස මිස, කෙලෙස් නැසීමේ නාටක රැඟීමට නොවන බව ගිහි පැවිදි දෙපාර්ශවයම දත යුතුය.
එසේම "අප්පසන්නානං පසාදාය, පසන්නානං භිය්‍යොභාවාය" යනුවෙන් දේශනා කල පරිදි නොපැහැදුනවුන්ගේ පැහැදීම පිනිසත් පැහැදුනවුන්ගේ දියුණුව පිනිසත් ධර්ම විනය අනුව පිළිපදිනු විනා නිගණ්ඨ වෘත අනුගමනය කල යුතු නැත.
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ වනාහී පිණ්ඩපාතයේ යෙදුනත් ගෞරවාන්විතව පිණ්ඩපාතයේ හැසැරෙන්නෝ වෙති. හිඟා නොකා සිඟමනේ වඩිති. නොඉල්ලති. නොම යදිති.
අද මේ රඟන පුඟුලන් වනාහී එකී සීමාවෙන් පිට පැන පුටුවේ වාඩි වී සිටිනා ගිහියන් ළඟ දෙකට නැවී ඉඳුල් කති. එය වනාහී පෙරේත හැසිරීම් ය. තිරස්චීන හැසිරීම් ය. භික්ෂු ප්‍රතිපදා නොවේමය.
එසේම ගිහියන් ඉදිරියේ බලුබත් සේ අනා කා පෙන්වීම ද එබඳුම පෙරේත ආත්ම හැසිරීම් විනා භික්ෂු ප්‍රතිපදා නොවන බව සිවුවනක් පිරිසම තරයේ අවධාරණය කල යුතුය.
ඉඳුල් අතින් පැන් භාජනය ඇල්ලීම පවා තහනම් ශාසනයක, ඉඳුල් සහිත කටින් කතා නොකළ යුතු ධර්ම විනයක, බත් කකා බණ කියනා එකා මොකාද?
මේ අශාසනික හැසිරම් ලත් තැනම දමනය නොකරන්නේ නම්, මේ අයුරින් බල්ලන් සේ නොහැසිරෙන භික්ෂූන් වහන්සේලාට දානය පවා නොදී සිටින සමාජයක් නිර්මාණය වීමේ මූලාරම්භයකි.
එබැවින් සිවුවනක් පිරිස "තෙරුවන් සරණ යන්නෝ වෙමු" යි එකාවන්ව අධර්මයට විරුද්ධව කටයුතු කල යුතුය.
අයං කාලො ධම්මං සංගායිතුං
No comments:
Post a Comment