Monday, February 27, 2017

අසමසම ශාස්තෘවරයාණෝ




ඉතිපිසෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණසම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝපුරිසදම්මසාරථි සත්ථාදේවමනුස්සානං බුද්ධෝ භගවා’ති.
ඒ භාගවතුන් වහන්සේ මෙසේද අරහං සම්මාසම්බුද්ධ විජාචරණසම්පන්න සුගත ලෝකවිදූ අනුත්තරපුරිසදම්මසාරථි සත්ථාදේවමනුස්සානං බුද්ධ භගවා වන සේක.
කෙසේද යත්,

අරහං.


ඒ භාග්‍යවතුන් වහන්සේ ;

• ක්ලේශයන් කෙරෙන් ආරකව - දුරුව සිටීන බැවින්ද,
• ක්ලේශ අරීන් - සතුරන් නැසූ බැවින් ද,
• පුඤ්ඤාභිසංඛාර ආදී අර නැසූ බැවින්ද,
• ප්‍රත්‍යාදියට අර්හ - සුදුසු බැවින්ද,
• රහස් පාප කර්මයන් නැතිබැවින්ද අරහං වනසේක.

“ආරකත්තා හතත්තා ච - කිලෙසාරීන සෝ මුනි
හතසංසාර චක්කාරෝ - පච්චයාදීනචාරහෝ
න රහෝ කරෝති පාපානී-අරහං තේන පවුච්චති”

මෙසේ බුදුරජාණන් වහන්සේ ක්ලේශයන්ගෙන් ආරක බැවින්ද,ක්ලේශාරී හත බැවින්ද,සංසාර චක්‍රයාගේ අර හත බැවින්ද, ප්‍රත්‍යාදින්ට අර්හ බැවින්ද,රහසවත් පව් නොකරන බැවින්ද අරහ නම් වනසේක.

සම්මාසම්බුද්ධ.


“සම්මා සාමඤ්ච සබ්බ ධම්මානං බුද්ධත්තා පන සම්මා සම්බුද්ධෝ” ඒ භාග්‍යවතුන් වහන්සේ අවිපරීත කොට සියලු ධර්මයන් පරෝපදේශ රහිතව තමන් වහන්සේම අවබෝධ කල සේක.එබැවින් උන්වහන්සේ සම්මා සම්බුද්ධය.

ඒ එසේමය;උන්වහන්සේ සියලු ධර්මයන් අවබෝධකළ සේක්මය. උන්වහන්සේ අභිඤ්ඤෙය්‍ය ධර්ම අභිඤ්ඤෙය්‍ය වශයෙන් අවබෝධ කළ සේක.පරිඤ්ඤෙය්‍ය ධර්ම පරිඤ්ඤෙය්‍ය වශයෙන්ද, ප්‍රහාතව්‍ය ධර්ම ප්‍රහාතව්‍ය වශයෙන්ද, ශාක්ෂාත් කරණීය ධර්ම ශාක්ෂාත් කරණීය වශයෙන්ද, භාවිතව්‍ය ධර්ම භාවිතව්‍ය වශයෙන්ද අවබෝධ කළසේක.

“අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං - භාවෙතබ්බංච භාවිතං
පහාතබ්බං පහීනං මේ - තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ”

එසේය. උන්වහන්සේ චක්ෂුරායතනය දුක්ඛ සත්‍යය යැයිද, ඒ චක්ෂුරායතනය උපදවීමට මූලකාරන වූ තෘෂ්ණාව සමුදය සත්‍යය යැයිද, ඒ චක්ෂුරායතන - තෘෂ්ණා දෙකෙහි නොපැවැත්ම නිරෝධ සත්‍යය යැයිද, නිරෝධ ප්‍රතිවේධ කරන ප්‍රතිපදාව මාර්ග සත්‍යය යැයිද මෙසේ එක් එක් ධර්මය උද්ධරණය කිරීම් වශයෙන් සියලු ධර්මයන් මනා කොට තමන් වහන්සේම අවබෝධ කළසේක. සොතායතන, ඝාණායතන, ජිව්හායතන, කායායතන, මනායතන මෙසේ යොදා දත යුතුය. මෙසේම රූපාදිවූ බාහිරායතන සයද, චක්ඛු විඤ්ඤාණාදී විඤ්ඤාණ කාය සයද, චක්ඛු සම්ඵස්සාදී ඵස්ස සයද, චක්ඛුසම්ඵස්සජ වේදනාදී වේදනා සයද, රූප සඤ්ඤාදී සඤ්ඤා සයද, රූපසඤ්චේතනාදී චේතනා සයද, රූප තණ්හාදී තණ්හා සයද, රූපවිතර්කාදී විතර්ක සයද, රූපවිචාරාදී විචාර සයද, රූපස්ඛන්ධාදී පඤ්චස්ඛන්ධද, දස කසිනද, දස අනුස්සතිද, උද්ධුමාතකාදී දස සංඥාද, කේසාදී දෙතිස් කුනුපද, ද්වදසායතනද, චක්ඛුධාතු ආදී අටළොස් ධතුද, කාම භවාදී නව භවද, ප්‍රථමධ්‍යානාදී ධ්‍යාන සතරද, මෙත්තාදී සතර අප්පමඤ්ඤද, ආකාසානඤ්චායතනාදී අරූප සමාපත්ති සතරද, ප්‍රතිලෝම වශයෙන් ජරා - මරණාදී වුද අනුලෝම වශයෙන් අවිද්‍යාදීවුද පටිච්චසමුප්පාදාඞගද යොදා දත යුතුය. එහි අවසන දැක්වුණු ජරා - මරණ යොදන සැටි මෙසේය. ජරා - මරණ දුක්ඛ සත්‍යයි.ජරා - මරණයට ප්‍රත්‍යවන ජාතිය සමුදය සත්‍යයි. ඒ ජරා-මරණ, ජාති දෙක්හිම නිස්සරණය නිරෝධ සත්‍යයි. නිරෝධය ප්‍රතිවේධ කරන ප්‍රතිපදාව මාර්ග සත්‍යයි.

මෙසේ එක් එක් ධර්මය උද්ධරණය කිරීම් වශයෙන්ද උන්වහන්සේ සියලු ධර්මයන් මනාකොට තමන් වහන්සේම අවබෝධ කළසේක. එහෙයින් උන්වහන්සේ සම්මා සම්බුද්ධ වන සේක.

විජ්ජාචරණ සම්පන්න.


ඒ භාග්‍යවතුන් වහන්සේ විද්‍යායෙන්ද චරණයෙන්ද සම්පන්න බැවින් - යුක්ත බැවින් විජ්ජාචරණ සම්පන්න වනසේක.

එහි විද්‍යා නම් ත්‍රිවිද්‍යා හා අෂ්ට විද්‍යායි. ත්‍රිවිද්‍යා නම් පුබ්බේනිවාසානුස්සති ඥානය, දිබ්බචක්ඛු ඥානය, ආසවක්ඛය ඥානය යි. අෂ්ට විද්‍යා නම් විදර්ශනා ඥානය, මනෝමය ඉර්ධි ඥානය, ඉද්ධිවිධ ඥානය, දිබ්බසොත ඥානය, පරචිත්ත විජානන ඥානය, පුබ්බේනිවාසානුස්සති ඥානය, දිබ්බචක්ඛු ඥානය, ආසවක්ඛය ඥානය යන අටයි.
චරණ නම් සීල සංවරය, ඉන්ද්‍රිය සංවරය, භෝජනයෙහි පමණ දන්නා බව, ජාගරියානුයෝගය, සද්ධා, හිරි, ඔතප්, බහුශ්‍රුත බව ,විරිය, සති, පඥ්ඥා, රූපාවචර ධ්‍යාන සතර යන මේ පසළොස් ධර්මයි. මේ පසළොස් ධර්ම කරන කොට ආර්ය ශ්‍රාවකයා නිවන දෙසට චරණය - ගමන් කරයි. එහෙයින් ඒ ධර්ම පසළොස චරණ ධර්ම යැයි හදුන්වයි.
මේ විජ්ජා - චරණ අතුරෙන් විද්‍යා සම්පත්තිය උන්වහන්සේගේ සර්වඥාතාඥානයද, චරණ සම්පත්තිය මහා කාරුණිකත්වයද පුරා සිටියේය. උන්වහන්සේ ස්ර්වඥාතාඥානයෙන් ලෝකයාගේ අර්ථානාර්ථ දැන වදාරා මහාකාරුණිකත්වයෙන් අනර්ථය හැරපියා අර්ථයෙහි යොදන සේක. විජ්ජා - චරණ සම්පන්නයෙකු බවට පත්කරන්නේ එසේය.එහෙයින් උන්වහන්සේගේ ශ්‍රාවකයෝ සුපටිපන්න වෙති. දුප්පටිපන්න නොවෙති.

උන්වහන්සේ ඉහත විද්‍යාවන්ගෙන්ද චරණයන්ගෙන්ද සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න වන සේක.

සුගත.


ඒ භාග්‍යවතුන් වහන්සේ ශෝභන ගමන් ඇති බැවින්ද, සුන්දර තැනට ගිය බැවින්ද, මනා කොට ගිය බැවින්ද, මනා තෙපුල් ඇති බැවින්ද සුගත වනසේක.

• ගත නම් ගමනය. භාග්‍යවතුන් වහන්සේගේ ගත - ගමන ශෝභනය. පරිශුද්දය. නිරවද්‍යය. ඒ ගමන නම් කීම? ආර්ය මාර්ගයයි. උන්වහන්සේ ආර්ය මාර්ග නම් ගතයෙහි නොලැගෙමින් නිවනට පැමිණි සේක. එබැවින් උන්වහන්සේ සුගත නම් වන සේක.

• සුන්දර තැන නම් නිවනයි. ඒ නිර්වාන සංඛ්‍යාත සුන්දර තැනට ගිය බැවින් ද උන්වහන්සේ සුගතය.

• උන්වහන්සේ මනාකොට‍ ගිය සේක. ඒ ඒ මාර්ගයෙන් ප්‍රහීන කෙලෙස් කරා පෙරලා නොගිය සේක. එහෙයින්ද උන්වහන්සේ සුගතය.

• උන්වහන්සේ මනාකොට ගදනය කරන සේක. එනම් මනාකොට කියන සේක. යුතු තන්හි යුතු වුම තෙපුල් තෙපලන සේක. එහෙයින්ද සුගත නම් වන සේක.

ලෝකවිදූ.


ඒ භාග්‍යවතුන් වහන්සේ සර්වප්‍රකාරයෙන් ලෝකය දන්නා බැවින් ලෝකවිදූ වන සේක.
ඒ එසේමය. උන්වහන්සේ ස්වභාව වශයෙන්ද, සමුදය වශයෙන්ද, නිරෝධ වශයෙන්ද, නිරෝධෝපාය වශයෙන්ද යන සර්වාකාරයෙන් ලෝකය දත් සේක.

ලෝකය, සංස්කාර ලෝක සත්ත්ව ලෝක අවකාශ ලෝක යයි ත්‍රිවිධ වේ.

“ඒකෝ ලෝකෝ සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා” යන තැන්හි සංස්කාර ලෝකය දැක්වේ. (එක් ලෝකයකි.සියලු සත්වයෝ ප්‍රත්‍යයෙන් පවත්නෝය.) මෙහි ආහාර ශබ්දයෙන් ප්‍රත්‍ය වදාල බව දත යුතුය. ප්‍රත්‍යයෙන් උපදනා සියල්ල සංස්කාර ලෝක නම් වේ.

“සස්සතෝ ලෝකෝති වා අසස්සතෝ ලෝකෝති වා” යන තැන්හි සත්ත්ව ලෝකය දැක්වේ. දෘෂ්ටිගතිකයන්ගේ ශාස්වතාදී වශයෙන් ආත්මය ලෝකය වශයෙන් ගැනීම සත්ව විෂය වේ. සත්ත්ව ලෝකය නම් සත්ත්වයෝයි.

“යාවතා චන්දිමසුරියා පරිහරන්ති දිසා හන්ති විරෝචනා තාව සහස්සධා ලෝකෝ එත්ථ තේ වත්තතේ වසෝ” යන මේ දේශනාවෙහි දැක්වෙනුයේ අවකාශ ලෝකයයි. (සඳහිරු දෙදෙනා යම් තාක් තැන් පරිහරණය කරත්ද, බබුලුවත්ද ඒතාක් සහශ්‍රී ලෝකධාතුවයි. එය ඔබගේ වසඟයේ පවතින්නේය යනු එහි අර්ථයි.)

භාග්‍යවතුන් වහන්සේ මේ සංස්කාර, සත්ත්ව, අවකාශ යන ත්‍රිවිධ ලෝකම දන්නා සේක. එහෙයින් උන්වහන්සේ ලොකවිදූ ය.

අනුත්තර පුරිසදම්මසාරථි.


තථාගතයන් වහන්සේ, තමන්ට වඩා ගුණයෙන් විශිෂ්ටතර වූ කිසිවකු නැති බැවින් අනුත්තර වන සේක.

ඒ එසේ මැයි:- උන්වහන්සේ සීල ගුණයෙන්ද, සමාධි ගුණයෙන්ද, ප්‍රඥා ගුණයෙන්ද, විමුක්ති ගුණයෙන්ද, විමුක්ති ඥානදර්ශන ගුණයෙන්ද යන සියලු ගුණයෙන් සියලු ලෝකය මැඩ සිටින සේක.

බුදුරජාණන්වහන්සේ, ඒ ශීලාදී ගුණයන්ගෙන් තමන් හා සම අයකු නැති බැවින් අසම වන සේක. අසම වූ අතීත බුදුරජාණන්වහන්සේලා හා සම බැවින් අසමසම වන සේක.
තමන් වහන්සේගේ ප්‍රතිමා හා සමාන ප්‍රතිමා කල නොහැකි බැවින් අප්‍රතිම වන සේක. දේශනා කරන ලද සතිපට්ඨානාදී ධර්මයන් එසේ නොවේය යැයි විරුද්ධ විය නොහැකි බැවින් අප්‍රතිභාග වන සේක.

“ඔබ බුදු නොවුනි මම බුදු වුනෙමි” යැයි කිය හැකි පුද්ගලයකු නොමැති බැවින් අප්‍රතිපුද්ගල වන සේක.

“න මේ ආචරියෝ අත්ථි සදිසෝ මේ න විජ්ජති
සදේවකස්මිං ලෝකස්මිං නත්ථි මේ පටිපුග්ගලෝ” (මහාවග්ග පාලි, අභිසම්බෝධි කථා.)

“මට ආචාර්යයෙක් නැත.මට සමානයෙක්ද නැත.දෙවියන් සහිත ලෝකයෙහි මට ප්‍රතිවිරුද්ධයෙක්ද නැත.” යනු අර්ථයි.

පුරිසදම්මසාරථි.


දමනය කල යුතු පුරුෂයන් දමනය කරයි යන අර්ථයෙන් භාග්‍යවතුන් වහන්සේ පුරිසදම්මසාරථි වන සේක.

ඒ එසේ මැයි :- උන්වහන්සේ අපලාල නාගරාජය, චූලෝදර-මහෝදර නාගරාජයෝ දෙදෙනය, අග්ගිසිඛ-ධූමසිඛ නාගරාජයෝ දෙදෙනය, ආරවාල නාගරාජය, ධනපාලක හස්තිය යන මේ තිරශ්චීන පුරුෂයන් දමනය කරන ලද්දේය.

සච්චක නිගණ්ඨය, අම්බට්ඨ මානවකය, පොක්ඛරසාති, සොණදන්ඩ, කූටදන්ත බ්‍රාහ්මණ යන මනුෂ්‍ය පුරුෂයන්ද, ආලවක, සුචිරෝම, ඛරරෝම යක්ෂයන් ද, සක්දෙව්රජ ද, බක බ්‍රහ්මය යනාදී අමනුෂ්‍ය පුරුෂයන්ද විචිත්‍ර වූ විනයන උපායයෙන් දමනය කරන ලද්දේය.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ අනුත්තර පුරිසදම්මසාරථි වන සේක.

සත්ථාදේවමනුස්සානං.


තථාගතයාණන් වහන්සේ දෙව් මිනිසුන්ට දිට්ඨධම්මික සම්පරායික පරමත්ථ යන මේ ත්‍රිවිධ අර්ථයෙන් සුදුසු පරිදි අනුශාසනා කරන්නේය යනාර්ථයෙන් ශාස්තෘ වන සේක. දිට්ඨධම්මික නම් මෙලොවින් වන අර්ථයයි. සම්පරායික නම් පරලොවින් වන අර්ථයයි. පරමත්ථ නම් පරමාර්ථ වූ නිවනයි.

එසේම සත්ථ යන අර්ථයෙන් ගැල් පදවන්නන්ද දැක්වේ. යම් සේ සාර්ථවාහ නම් වූ ගැල් පදවන්නන් චෝල කාන්තාර, වාල කාන්තාර, දුර්භික්ෂ කාන්තාර, නිරුදක කාන්තාරයන්ගෙන් එතෙර කරන්නේ වේද එසේම භාග්‍යවතුන් වහන්සේ සත්වයන් ජාති ජරා මරණාදී කාන්තාරයන්ගෙන් එතෙර කරනවන බැවින් ද සත්ථා නම් වන සේක.

බුද්ධෝ.


දත යුතු වන යමක් වේද ඒ සියල්ලම අවබෝධ කල බැවින් භාග්‍යවතුන් වහන්සේ බුද්ධ නම් වන සේක.

තවද උන්වහන්සේ චතුසත්‍යය තමන් වහන්සේද අවබෝධ කල සේක. අන්‍යයන්ට ද අවබෝධ කරවන සේක. එහෙයින් උන්වහන්සේ බුද්ධය.

කේනට්ඨේන බුද්ධෝ? බුජ්ඣිතා සච්චානීති බුද්ධෝ, බෝධේතා පජායාති බුද්ධෝ, සබ්බඤ්ඤුතාය බුද්ධෝ, සබ්බදස්සාවිතාය බුද්ධෝ, අනඤ්ඤඤනෙය්‍යතාය බුද්ධෝ, විසවිතාය බුද්ධෝ, ඛීණාසව සංඛාතේන බුද්ධෝ, නිරූපක්කිලේස සංඛාතේන බුද්ධෝ, ඒකන්තවීතරාගෝති බුද්ධෝ, ඒකන්තවීතදෝසෝති බුද්ධෝ, ඒකන්තවීතමෝහෝති බුද්ධෝ, ඒකන්තනික්කිලේසෝති බුද්ධෝ, ඒකායනමග්ගං ගතෝති බුද්ධෝ, ඒකෝ අනුත්තරං අභිසම්බෝධිං අභිසම්බුද්ධෝති බුද්ධෝ, අබුද්ධිවිහතත්තා බුද්ධිපටිලාභත්තා බුද්ධෝ, බුද්ධෝති නේතං නාමං මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත්තා මච්චේහි කතං, න ඤාතිසාලෝහිතේහි කතං, න සමණබ්‍රාහ්මණේහි කතං, න දේවතාහි කතං, විමොක්ඛන්තිකමේතං බුද්ධානං භගවන්තානං බෝධියා මූලේ සහසබ්බඤ්ඤුතඤාණස්ස පටිලාභා සච්ඡිකා පඤ්ඤත්ති යදිදං බුද්ධෝති. (මහානිද්දේස පාලිය, සාරිපුත්තසුත්‍ර නිද්දේසය.)

කවර අර්ථයකින් බුද්ධ නම් වේද? චතුසත්‍යය තමන් අවබෝධ කල බැවින් බුද්ධ නම් වේ. අන්‍යයන්ට අවබෝධ කරවූ බැවින් බුද්ධ නම් වේ. සියල්ල දන්නා බැවින් බුද්ධ නම් වේ. සියල්ල දක්නා බැවින් බුද්ධ නම් වේ. අනෙකෙකු විසින් අවබෝධ නොකරවන ලද බැවින් බුද්ධ නම් වේ. ක්ලේශ නිද්‍රාවෙන් පිබිදි බැවින් බුද්ධ නම් වේ. ඛීණාශ්‍රව බැවින් බුද්ධ නම් වේ. උපක්ලේශ නැතිබැවින් බුද්ධ නම් වේ. ඒකාන්තයෙන් වීතරාග බැවින් බුද්ධ නම් වේ. ඒකාන්තයෙන් වීතදෝස බැවින් බුද්ධ නම් වේ. ඒකාන්තයෙන් වීතමෝහ බැවින් බුද්ධ නම් වේ. ඒකාන්ත නික්ලේශ බැවින් බුද්ධ නම් වේ. ඒකායන මාර්ගයට ගිය බැවින් බුද්ධ නම් වේ. තනිව අනුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කල බැවින් බුද්ධ නම් වේ. අබුද්ධිය නැසූබැවින් බුද්ධිය ලැබූ බැවින් බුද්ධ නම් වේ. බුද්ධ යන මේ නාමය මව විසින් නොතබන ලදී. පියා විසින් නොතබන ලදී. සහෝදරයා විසින් නොතබන ලදී. සහෝදරිය විසින් නොතබන ලදී. මිත්‍රාමිත්‍රාමාත්‍යයන් විසින් නොතබන ලදී. ලේ ඤාතීන් විසින් නොතබන ලදී. ශ්‍රමණබ්‍රාහ්මණයන් විසින් නොතබන ලදී. දෙවියන් විසින් නොතබන ලදී. බුද්ධ යන මේ නාමය භාග්‍යවත් බුදුරජාණන්වහන්සේලාට බෝධි මූලයේ සර්වඥතා ඥානය සාක්ෂාත් කිරීම සමග විමොක්ෂාන්තික වශයෙන් ලැබුණු ප්‍රඥප්තියකි.
එසේ හෙයින් භාග්‍යවතුන් වහන්සේ බුද්ධ නම් වන සේක.

භගවා.


“භගවත්’ යනු ගුණයෙන් විශිෂ්ඨ වූ සියළු සත්වයන්ට උතුම් වූ ගෞරවාර්හ වූ තථාගතයන් වහන්සේට කියයුතු ගෞරව නාමයකි.

“භගවාති වචනං සෙට්ඨං භගවාති වචනමුත්තමං - ගරුගාරවයුත්තෝ සෝ භගවා තේන වුච්චති.”

භගවත් යන මේ නාමය ශ්‍රේෂ්ඨ නාමයකි. භගවත් යන මේ නාමය උතුම් නාමයකි. ගරු ගෞරවයන්ගෙන් යුක්ත වූ ඒ තථාගතයාණන් වහන්සේට මෙනිසා භගවත් යැයි කියනු ලැබේ.

“භගී භජී භාගි විභත්තවා ඉති - අකාසි භග්ගං’ති ගරූති භාග්‍යවා
බහූහි ඤායේහි සුභාවිතත්තතෝ - භවන්තගෝ සෝ භගවා ති වුච්චති.”

ඒ තුන්ලෝ ගුරු වූ ශාස්තෘන් වහන්සේ ඓශ්වර්යාදී භේද ඇති භග ධර්ම ඇත්තේය, පන්ත සේනාසන භජනය කළේය, අර්ථ ධර්ම විමුක්ති රස භාග ඇත්තේය, ලෞකික ලෝකෝත්තර ධර්ම විභාගය කළේය, රාගාදිය භේද කළේය, භාග්‍ය ඇත්තේය, කාය භාවනාදී අනෙක භාවනා ක්‍රමයන්ගෙන් වඩන ලද සිත් ඇත්තේය, භවයෙහි අන්තයට ගියේය යන අර්ථයන්ගෙන් භගවා නම් වනසේක.

(භදන්ත ආචාර්ය බුද්ධඝෝෂ මහතෙරුන් වහන්සේ රචිත මාතර ශ්‍රී ධර්මවංස හිමියන් පරිවර්තනය කල සිංහල විසුද්ධි මාර්ගය ග්‍රන්ථයෙන් උපුටා සංස්කරණය කරන ලදී.)

බුදු ගුණ නම් අපමණය. අපට නොවැටහේමය. එබැවින් බුදු ගුණ මෙතෙකැයි නොගත යුතුය. මේ ගුණ ස්වල්පය නම් හිමාලය පර්වතයෙන් වැලි කැටයක් තරම් වත් නොවන්නේය. සතරමහා සාගරයෙන් දිය දෝතක් තරම්වත් නොවන්නේය. එතරම් බුදු ගුණ ඇත්තේය.

තවද මෙසේ ගුණ වැනිය හැකි අන් ශාස්තෘවරයකු තුන් ලොව කිසිලෙසකත් නොමැති බැවින් ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සුගත තථාගත දසබලධාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ අසමසම වන සේක.

එබඳු වූ අනන්ත බුදු ගුණයන්ගෙන් බිඳක් ගෙන හැර දැක්වූ මේ කුසලය නිවනින් සැනසීම පිණිසම හේතු වේවා...!!!

No comments:

Post a Comment