Thursday, August 18, 2016

සංඝ භේදය සිදුවන නිවැරදි ආකාරය






සංඝභේදය සිදුවන්නේ කෙසේද?

අද සමාජයේ විවිධ පුද්ගලයින් ධර්මය සොයන අතරේ විවිධ පුද්ගලයින් ධර්මය ප්‍රචාරය කරමින් සිටියි. ඒ ධර්ම සොයන අයවලුන් සේම ධර්මය ප්‍රචාරය කරන අයද විවිධ මත දරයි. ඒ කවරෙකු කවර මතයක් දැරුවද ධර්මය නම් එකම වේ. දෙකක් කිසිසේත්ම නොවේ.

එසේ ධර්මය පිලිබඳ විවිධ අදහස් පැතිරෙන අතරේ ඇතැම් පුද්ගලයින් විසින් තම මතයට එරෙහිව යන අයවලුන් බියට පත් කිරීමට, තමාට අවනත කර ගැනීමට භාවිතා කරන ප්‍රසිද්ධ කියමනකි සංඝභේදය.
මෙයට විරුද්ධ නොවන්න, සංඝභේදය වන්නේය. දොස් නොකියන්න, සංඝභේදය වන්නේය. ප්‍රශ්න නොකරන්න, සංඝභේදය වන්නේය..... යනාදී කතා මගින් දැනුමක් තේරුමක් නැති පුද්ගලයින් රැවටීම සිදුකර තම පක්ෂය වර්ධනය කිරීම සිදුවෙන සිදුවීමකි.

සැබෑවටම සංඝභේදය යනු කුමක්ද?

සංඝභේදය යනු ආනන්තරිය අකුසලයකි. එනම් අනතුරු ජීවිතයේදීම විපාක දෙන්නකි. අවීචි මහා නරකයේ විපාක දෙනු ලබන බරපතල අකුසලයකි. 

කෙසේ නමුත් එය මදුරුවකු තලා දමනවා සේ ක්ෂණිකව සිදු නොවන්නකි. පියවර ගණනාවකින් සිදු වන්නකි.
එහිදී පළමුකොටම එකට එක්වී විනය කර්ම කරන පිරිසිදු උපසම්පදාවෙන් යුතු භික්ෂුන් වහන්සේලා නවයක් හෝ වැඩියෙන් සිටිය යුතුමය. ඊට අඩු වන්නේ නම් සංඝභේද අකුසලය සම්පූර්ණ නොවේ.
එසේ නවයක් වූ සංඝයා වහන්සේලා සතර දෙනා බැගින් දෙපිරිසකට වෙන් විය යුතුය. සතර දෙනා බැගින් යනුවෙන් දක්වන්නේ අවමය සතරකි. හේතුව නම් විනය තුල සංඝයා යනු සතර නමක් වීමයි.
එසේ වෙන්වූ කල ඉතිරි වූ භික්ෂුන් වහන්සේ අධර්ම පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත් විය යුතුය. ඉදිරිපත් වී යම් විනය කර්මයක් කල යුතුය. එය සිදුකරන කල්හිද සෙසු සිව් නම එම සීමාවෙහිම වැඩසිටිය යුතුය. එසේ නොවුනහොත් සංඝභේදය සිදු නොවේ. 

මෙසේ සරලව දැක්වුවද එය ඒක මොහොතකින් ඉටු වන්නක් නොව මතු දැක්වෙන කරුණු දහ අටෙන් එකක් හෝ කිහිපයක් හෝ මුල්කොට ගෙන විවාදයක් හටගත යුතුය. එහිදී ඒ වාදය දරන පුද්ගලයාට තෙවරක් අනුසාවණය කල යුතුය. අනුසාවණය නම් විනය කර්මයකි. ඒ අනුසාවණ තුන අනතුරුවද එය දරන්නේ නම් පළමුව සංඝාදිශේස වේ. අනතුරුව වෙන්ව විනය කර්ම කිරීමෙන් සංඝභේදය සිදු වේ. එය මෙසේ වටහාගත යුතුය.

“ඒකතෝ උපාලි චත්තාරෝ හොන්ති ඒකතෝ චත්තාරෝ. නවමෝ අනුසාවේති සලාකං ගාහේති’ අයං ධම්මෝ අයං විනයෝ ඉදං සත්ථු සාසනං ඉමං ගණ්හථ ඉමං රෝචේථා ‘ති. ඒවම්පි ඛෝ උපාලි සංඝරාජී චේව හෝති සංඝභේදෝ ච. නවන්නං වා උපාලි අතිරේක නවන්නං වා සංඝරාජී චේව හෝති සංඝභේදෝ ච”
උපාලිය එක්පසකින් සතර දෙනෙක් වෙත්, අනෙක් පසින් සතර දෙනෙක් වෙත්. නවවැන්නා ‘මෙය ධර්මය, මෙය විනය, මෙය ශාස්තෘ සාසනය, මෙය ගනිවු, මෙය රුචිකරවු, යැයි අනුසාවණය කරයි. උපාලිය මෙසේද සංඝරාජිය ද සංඝභේදය ද වෙයි. උපාලිය නවයකින් හෝ නවයට අතිරේක පිරිසෙකින් සංඝරාජිය ද සංඝභේදය ද වෙයි.

“න ඛෝ උපාලි භික්ඛුණී සංඝං භින්දති. අපිච භේදාය පරක්කමති. න සික්ඛමානා සංඝං භින්දති. අපිච භේදාය පරක්කමති. සංඝං භින්දති. අපිච භේදාය පරක්කමති. න සාමණේරෝ සංඝං භින්දති. අපිච භේදාය පරක්කමති. න සාමණේරී සංඝං භින්දති. අපිච භේදාය පරක්කමති. න උපාසකෝ සංඝං භින්දති. අපිච භේදාය පරක්කමති. න උපාසිකා සංඝං භින්දති. අපිච භේදාය පරක්කමති. භික්ඛු ඛෝ උපාලි පකතත්තෝ සමානසංවාසකෝ සමානසීමායං ඨිතෝ සංඝං භින්දේති.”
උපාලිය භික්ෂුණිය සංඝයා නොබිඳියි. එසේ වුයේද සංඝභේදයට උත්සහ කෙරෙයි. සික්ඛාමානාව සංඝයා නොබිඳියි. එසේ වුයේද සංඝභේදයට උත්සහ කෙරෙයි. සාමණේරයා සංඝයා නොබිඳියි. එසේ වුයේද සංඝභේදයට උත්සහ කෙරෙයි. සාමණේරිය සංඝයා නොබිඳියි. එසේ වුයේද සංඝභේදයට උත්සහ කෙරෙයි. උපාසකයා සංඝයා නොබිඳියි. එසේ වුයේද සංඝභේදයට උත්සහ කෙරෙයි. උපාසිකාව සංඝයා නොබිඳියි. එසේ වුයේද සංඝභේදයට උත්සහ කෙරෙයි. උපාලිය සමාන සංවාසක වූ සමාන සීමාවක සිටියා වූ ප්‍රකෘති භික්‍ෂුව සංඝයා බිඳින්නේ වෙයි.

“ඉධූපාලි භික්ඛු අධම්මං ධම්මෝති දීපෙන්ති. ධම්මං අධම්මෝති දීපෙන්ති. අවිනයං විනයෝති දීපෙන්ති. විනයං අවිනයෝති දීපෙන්ති. අභාසිතං අලපිතං තථාගතේන භාසිතං ලපිතං තථාගතේනාති දීපෙන්ති. භාසිතං ලපිතං තථාගතේන අභාසිතං අලපිතං තථාගතේනාති දීපෙන්ති. අනාචිණ්ණං තථාගතේන ආචිණ්ණං තථාගතේනාති දීපෙන්ති. ආචිණ්ණං තථාගතේන අනාචිණ්ණං තථාගතේනාති දීපෙන්ති. අපඤ්ඤත්තං තථාගතේන පඤ්ඤත්තං තථාගතේනාති දීපෙන්ති. පඤ්ඤත්තං තථාගතේන අපඤ්ඤත්තං තථාගතේනාති දීපෙන්ති. අනාපත්තිං ආපත්තීති දීපෙන්ති. ආපත්තිං අනාපත්තීති දීපෙන්ති. ලහුකං ආපත්තිං ගරුකා ආපත්තීති දීපෙන්ති. ගරුකං ආපත්තිං ලහුකා ආපත්තීති දීපෙන්ති. සාවසේසං ආපත්තිං අනවසේසා ආපත්තීති දීපෙන්ති. අනවසේසං ආපත්තිං සාවසේසා ආපත්තීති දීපෙන්ති. දුට්ඨුල්ලං ආපත්තිං අදුට්ඨුල්ලා ආපත්තීති දීපෙන්ති. අදුට්ඨුල්ලං ආපත්තිං දුට්ඨුල්ලා ආපත්තීති දීපෙන්ති. තේ ඉමේහි අට්ඨාරසහි වත්ථූහි අපකස්සන්ති, විපකස්සන්ති, ආවේණිං උපෝසථං කරොන්ති, ආවේණිං පවාරණං කරොන්ති, ආවේණිං සංඝකම්මං කරොන්ති. එත්තාවතා ඛෝ උපාලි සංඝෝ භින්නෝ හෝති.”
උපාලිය මෙසස්නෙහි භික්‍ෂුව අධර්මය ධර්මය යැයි දක්වයි. ධර්මය අධර්මය යැයි දක්වයි. අවිනය විනය යැයි දක්වයි. විනය අවිනය යැයි දක්වයි. තථාගත අභාසිතය අලපිතය, තථාගත භාසිතය ලපිතය යැයි දක්වයි. තථාගත භාසිතය ලපිතය, තථාගත අභාසිතය අලපිතය යැයි දක්වයි. තථාගත  අනාචිණ්ණය, තථාගත ආචිණ්ණය යැයි දක්වයි. තථාගත ආචිණ්ණය, තථාගත අනාචිණ්ණය යැයි දක්වයි. තථාගත අපඤ්ඤත්තය, තථාගත පඤ්ඤත්තය යැයි දක්වයි. තථාගත පඤ්ඤත්තය, තථාගත  අපඤ්ඤත්තය යැයි දක්වයි. අනාපත්තිය ආපත්තිය යැයි දක්වයි. ආපත්තිය අනාපත්තිය යැයි දක්වයි. ලහුක ආපත්තිය ගරුක ආපත්තිය යැයි දක්වයි. ගරුක ආපත්තිය ලහුක ආපත්තිය යැයි දක්වයි. සාවසේස ආපත්තිය අනවසේස ආපත්තිය යැයි දක්වයි. අනවසේස ආපත්තිය සාවසේස ආපත්තිය යැයි දක්වයි. දුට්ඨුල්ල ආපත්තිය අදුට්ඨුල්ල ආපත්තිය යැයි දක්වයි. අදුට්ඨුල්ල ආපත්තිය දුට්ඨුල්ල ආපත්තිය යැයි දක්වයි. ඔවුන් මේ වස්තු දහඅටෙන් සංඝයා ආපසු අදින්නේ වෙයි. දැඩිසේ ආපසු අදින්නේ වෙයි. වෙන්ව (ඔවුනට පමණක් ආවේනික ව) උපෝසථය කරයි. වෙන්ව පවාරණය කරයි. වෙන්ව සංඝකර්ම කරයි. උපාලිය මෙපමණකින් සංඝයා බිඳුනේ වෙයි. (චුල්ලවග්ග පාලි, සංඝභේදක්ඛන්ධකය.)

 මෙහි පැහැදිලිවම “භික්ඛු ඛෝ උපාලි පකතත්තෝ සමානසංවාසකෝ සමානසීමායං ඨිතෝ සංඝං භින්දේති.” යනුවෙන් දැක්වෙන බැවින් යම් ගිහියකු හෝ පැවිද්දකු හෝ අධර්මයට එදිරිවන සිතින් කරුණු දැක්වීම සිදු කලද ඒ නිසා වාද හටගත්තේ ද සංඝභේදය සිදු නොවන බව දත යුතුය. එනමුත් යම් අධර්ම ක්‍රියාවක් සිදුවන කල ගැටීමෙන් තොරව එය දුරු කිරීමට කටයුතු කල යුතුය. එය තමාට අනුනට මෙලොව පරලොව යහපත පිණිස මෙන්ම නිවන පිණිසද හේතු වේ.

එබැවින් මිත්‍යා දෘෂ්ටිකයන්ගේ මතයන්ට හසු නොවී විමසුම් නුවණින් කටයුතු කරන මෙන් සියලු දෙනාට කරුණාවෙන් මතක් කර සිටිමු. තෙරුවන් සරණයි...!!!

1 comment: