Monday, April 25, 2016

සිංහල බෞද්ධ සංකල්පය බුදු දහමට පටහැනිද?




සිංහල බෞද්ධ යන සංකල්පය තරම් අභියෝගයනට මුහුණ දෙනු ලබන අනෙකක් වත්මනෙහි නැත්තේමය. සතර දිගින් පැමිණෙන සියලු උපද්‍රවද සිංහල බෞද්ධයා අරමුණු කරගෙනම පවතින්නේ යන්න අමුතුවෙන් පෙන්වා දිය යුත්තක් ද නොවේමය. එසේම ඒ පැමිණෙන්නා වූ අභියෝගයන්ට මුහුණ දීමට ඉදිරිපත් වන්නන් අන්තවාදීන් සේ හංවඩු ගැසීම සංවේගය උපදවන්නකි. කිමද යත් සිංහලයා එසේ අසරණ වන්නේ ස්වකීය උපන් බිම තුලම වීමයි.

කෙසේ නමුත් එසේ සිංහලයන්ව පීඩාවට ලක්කරන කිසිවකු එකී සිංහලයාට පහර ගැසීමට භාවිතා කරනු ලබන ජාතිවාදී පැලැස්තරය අර්ථ දක්වා නැත්තේය. ඔවුන්ට එය අර්ථ දැක්වීමටද නොහැකිය. ඒ ඔවුන් එය තමාට අවැසි පරිදි තම ලාභය සැලසෙන පරිදි භාවිතා කරන්නක් බව ඉඳුරාම පැහැදිලි කරුණකි.

කරුණු එසේ තිබියදී බෞද්ධයන් වන අප සිංහල බෞද්ධ යන සංකල්පය බුදු දහමට පටහැනි කරුණක්ද යන්න මදක් විමසා සිටීම වටින්නේ යැයි සිතේ. මේ වෑයම ඒ උදෙසාය. විමසා බලා වරදක් තිබේ නම් නිවැරදි කිරීම විශාරදයින් විසින් කෙරෙත්වා. යථාර්තය පමණක් නිහතමානීව පිළිගනු ලබන්නෙමු.

එහිදී ඇතැමෙක් සිංහල බෞද්ධ යන සංකල්පය බුදු දහමට අදාළ නොවන්නක් බව පවසයි. එයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ; “බුදු දහම යනු සක්කාය දිට්ඨිය නැති කිරීම පිණිස පිළිපන් දහමක් බවයි. එසේම දෘෂ්ඨීන් අතහැරි දහමක් බවයි. අන්තවාදී නොවන දහමක් බවයි. ඒ ඔවුන් ඇතැමෙක් ඉදිරිපත් කරන ප්‍රධාන කරුණක් නම් පහාරාද සුත්‍ර දේශනාවේ පහත කරුණයි. එනම්,

“සෙය්‍යථාපි පහාරාද යා කාචි මහා නදියෝ සෙය්‍යථිදං, ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී තා මහා සමුද්දං පත්වා ජහන්ති පුරිමානි නාම ගොත්තානි, මහා සමුද්දෝත්වේව සංඛ්‍යං ගච්ඡන්ති. එවමෙව ඛෝ පහාරාද චත්තාරෝ මේ වණ්ණා ඛත්තියා බ්‍රාහ්මණා වෙස්සා සුද්දා තේ තථාගප්පවෙදිතේ ධම්මවිනයේ අගාරස්මා අනගාරියං පබ්බජිත්වා ජහන්ති පුරිමානි නාමගොත්තානි. සමණා සක්‍යපුත්තියා’වේව සංඛ්‍යං ගච්ඡන්ති.” (අ.නි, අට්ඨක නිපාතය, පහාරාද සුත්‍රය.)

පහාරාදය යම් කිසි මහා නදීහු වෙත්ද, එනම් ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී යන මේවායි. ඒ ගංගාවෝ මහසයුරට පැමිණ පෙර නාම ගෝත්‍ර අතහරින්නේ වෙයි. සමුද්‍රය යන සංඛ්‍යාවට යන්නේ වෙයි. පහාරදය එසේම, ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර යන මේ සතර වර්ණයෝ වෙත් ද,  ඔවුන් ද තථාගතප්‍රවෙදිත ධර්මවිනයෙහි ගිහිගෙයින් නික්ම අනගාරිකව පැවිදිව පෙර නාමගෝත්‍ර අත්හරින්නේ වෙයි. ශ්‍රමණ සාක්‍ය පුත්‍ර සංඛ්‍යාවට යයි.” යන්නයි.

යහපති. 

එය ඉතාමත් යහපත් දේශනා පාඨයකි. එනමුත් එය කවරෙකුට අරඹයා දේශනා කරන ලද්දක් දැයි විමසා සිටිය යුතුමය. ඒ සුත්‍ර පාඨය දේශනා කර ඇත්තේ භික්ෂුන් වහන්සේ අරමුණු කරගෙනය. පැවිද්දා අරමුණු කරගෙනය. ගිහි ජීවිතය අත්හල තැනැත්තා අරමුණු කරගෙනය.

පැවිදි වන්නා වූ තැනැත්තා ඒකාන්තව ගිහි දිවිය හා සම්බන්ධ සියල්ල අත්හල යුතුමය. ඒ පිලිබඳ විවාදයක් නැත්තේය. එබැවින් ගිහි නාම ගෝත්‍ර අතහැරීම පිලිබඳ කිසිදු පැනයක් හටගන්නේ නැත. එනමුත් ගිහියා යනු ගිහියෙකු බැවින් ඔහුට පැවිද්දකු කරනු ලබන ක්‍රියාවන් සිදුකිරීමේ හැකියාවක් නොමැති බව එකී ඇදුරෝ වටහා ගත යුතුය. එබැවින්ම බුදුරජාණන්වහන්සේ පැවිදි වූ තැනැත්තා ම පෙර නාම ගෝත්‍ර අතහරින බව දේශනා කර වදාළ සේක.

එහිදී තථාගතයාණන් වහන්සේ කිසිදු අයුරකින් බුදු සරණ ගිය තැනැත්තා යනුවෙන් හෝ දම් සරණ, සඟ සරණ ගිය තැනැත්තා යනුවෙන් හෝ සදහන් කර නැත්තේය. උපාසක උපාසිකා කිසිවක් සඳහන් කර නැත්තේය. සදහන් කර ඇත්තේ ගිහි ජීවිතය අත්හල පැවිදිවූ තැනැත්තා යනුවෙන් පමණකි. එබැවින් ඉහත දේශනා පාඨය ප්‍රත්‍ය කරගනිමින් ගිහි නාම ගෝත්‍ර අතහැරීමක් හෝ බෞද්ධයන් යනු නාම ගෝත්‍ර නැත්තන් යනුවෙන් හෝ ප්‍රකාශ කල නොහැකිය.

ගිහියාට නාම ගෝත්‍ර පවතින්නේ වෙන් කර හඳුනා ගැනීම උදෙසාය. එයට කර්මය මූලිකව ක්‍රියා කරයි. එකී කර්මානුකූලව ඒ ඒ ස්ථානයන්හි ප්‍රතිසන්ධි ගත් කල්හි ඒ ඒ කුල ගොත් අනුව හඳුනාගැනීමේ සඤ්ඤා යොදාගනු ලබයි. එය සම්මුතියයි. ලාංකික, ඉන්දීය, යුරෝපීය, රුසියානු ආදී ලෙස සඤ්ඤා භාවිතා වනුයේ ඒ ඒ කර්ම විපාක මත ඒ ඒ දේශයන් හි උපත ලැබීම නිසාවෙනි. එය හුදෙක් සඤ්ඤා ස්කන්ධයක් පමණකි.

එනමුත් එකී සඤ්ඤා ස්කන්ධය තුල ආවේනික ලක්ෂණ පවතින්නේ වෙයි. ලාංකිකයාට ලාංකික යැයි හඳුනාගත් ලක්ෂණ පවතී. එබැවින් ලොව කොහේ සිටියත් ලාංකිකයා ලාංකිකයකු ලෙස හඳුනා ගත හැකිය. ඒ ආවේනික ස්වභාවය පවතින බැවිනි. ඒ ආවේනික ස්වභාවයම ආවේනික ලක්ෂණම එකිනෙකාගේ අනන්‍යතාවය සුරකින්නේ ද වෙයි. එසේම ඒ එකිනෙකාගේ අනන්‍යතාවය විනාශ කිරීමට කිසිවකුට සාධාරණ අයිතියක් ස්වභාව ධර්මය තුල ද හිමිව නැත්තේය. ඒ ඒ පුද්ගලයාගේ අනන්‍යතාවය හමුවේ තමා සවකීය ගරුත්වය ආරක්ෂා කරගනිමින් අනෙකාට බාධා නොවන අයුරින් හැසීරීම කල යුතුය. එය ද එකී සම්මුතිය තුලම සම්මත වු ධර්මතාවයකි.

තවද බුදු දහම තුලින් බැලුවේද ඒ ඒ කොටස් තුල පවතින ස්වභාව ලක්ෂණ ඒ ඒ කොටස් වල උරුමයකි. එයට බාධා කිරීමට අනෙකෙකුට ඉඩක් නොමැත්තේය. ඒ නිසාවෙන්ම බුදුරජාණන්වහන්සේ කිසිදු අවස්ථාවක ගිහියන්ට නාම ගෝත්‍ර හෝ වෙන් යම් කිසවක් හෝ අතහැරීමට හෝ තවකෙකුට බලපෑම් කිරීමට හෝ මග පෙන්වා නොමැත්තේය. එනමුත් එකී ස්වභාව ලක්ෂණ ස්වකීය අනන්‍යතාවය ලෙස පවත්වාගෙන යාමට ඉඩ හසර මනාව සලසා දී ඇත්තේය.

කෙස්ද යත්,

යුතුකම් හා වගකීම පිලිබඳ කියවෙන සිඟාලෝවාද සුත්‍රයෙහි දරුවන් විසින් මවු පියන්ට කල යුතු යුතුකම් අතර කුල වංශය පැවැත්විය යුතුය යනුවෙන් දක්වා ඇත්තේය.

යම් සේ ඉහත පහාරාද සුත්‍ර පාඨය හුවා දක්වමින් සිංහල බෞද්ධ යන සංකල්පයට පහර දෙන ඔවුන් සිඟාලෝවාද සුත්‍ර පාඨය හමුවේ ක්‍රියා කරනුයේ කෙසේද? ඔවුන් කියන සේ සිංහල බෞද්ධ ආදී සංකල්ප අතහැරිය යුතු නම් දරුවන් විසින් දෙමාපියන්ගේ කුල වංශය පැවැත්විය යුතු ඇයි?
එසේම තවද එක් අවස්ථාවකදී අමබට්ඨ මානවකයා විසින් ක්‍ෂත්‍රියයන් කිඹුල්වත් නුවරදී තමාට අපහාස වන අයුරින් කටයුතු කලේ යැයි ක්ෂත්‍රිය වංශයට බැණ වැදුණු පසු බුදුරජාණන්වහන්සේ දේශනා කර වදාළේ “මානවකය, කිඹුල්වත යනු ක්‍ෂත්‍රියන්ගේ භූමියයි. ස්වකීය භූමිය තුල ඔවුනට රිසි සේ හැසිරීමට ඔවුනට ඉඩ ඇත. කැටකිරිල්ලට පවා තම භූමියෙහි නිදහසේ හැසිරීමට අයිතියක් ඇත.” යනුවෙනි. එසේ වූ බුදුරජාණන්වහන්සේ ගිහි ජාති ගෝත්‍ර කෙරෙහි කුමට බලපෑම් කරනු ලබයිද?
ඒ අනුව අපට වටහා ගත හැකි කරුණක් වන්නේ යමෙකු ස්වකීය උරුමය ඉදිරිපත් කරගනිමින් එකී උරුමය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කටයුතු කිරීම බුදු දහමට අනුව වරදක් නොවන බවයි. එසේම බුදු දහමින් එයට බාධාවක් නොමැති බවද එම අයිතියට බුදු දහම ගරු කරන බවද වටහා ගත යුතුය.

එබැවින් සිංහල බෞද්ධ යනුවෙන් සංකල්පයක් පැවතීම බුදු දහමට පටහැනි කරුණක් නොවන්නේය. ගිහියන්ට ස්වකීය ජාතිය උපයෝගී කරගනිමින් ස්වකීය ආගම උපයෝගී කරගනිමින් ස්වකීය පැවැත්ම ආරක්ෂා කරගැනීමට කටයුතු කිරීම බුදු දහමට පටහැනි නොවන්නකි. එකී සිංහල වංශය පැවැත්වීම සිංහල දරුවන් විසින් තම දෙමවුපියන් වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකමෙකි. ඒ සිංහල සංස්කෘතිය පෝෂණය කළා වූ බුදු දහමද සුරැකීම එයටම අදාළ වූ කරුණකි. එය කිසිම ආකාරයකින් බුදු දහමින් බැහැර වන්නා වූ කරුණක් නොවේමය. අධාර්මික ක්‍රියාවක් නොවේමය. එනමුත් එය ගිහියන්ට පමණක් සීමා වන බව එකාන්තව වටහා ගත යුතුය. පැවිද්දා සිංහල බෞද්ධයකු නොවීමට වගබලා ගත යුතුමය. කිමද යත් පැවිද්දා පැවිද්දෙන් අනතුරුව පෙර නාම ගෝත්‍ර අතහරින බැවිනි. එනමුත් බුදු දහම සුරැකීමට භික්ෂුන් වහන්සේට කිසිදු බාධාවක් නොමැත්තේය.

එසේම සිංහල බෞද්ධයා යනු බුදු දහම තුල විශේෂ තැනක් හිමිවන කොටසක් බවද වටහා ගත යුතුය. ඒ බුදුරජාණන්වහන්සේ තෙවරක්ම වැඩම කොට විශේෂයෙන් පූජනීය කළා වුද ජීවමාන බුදුරජාණන්වහන්සේ වැඩ සිටින්නා සේ රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඩ සිටින්නා වුද දළදා වහන්සේ වැඩ සිටින්නා වුද ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින්නා වුද තවද බොහෝ සර්වඥ ධාතුන් වහන්සේලා මෙන්ම ශ්‍රාවක ධාතුන් වහන්සේලාද වැඩ සිටින්නා වුද මේ පින් බිමේ උරුමක්කාරයින් වූ හා බුදුරජාණන්වහන්සේ උපත ලැබූ පරපුරට උරුමකම් කියන්නා වූ ද ජන කොටසක් බැවිනි. එකී සාක්‍ය වංශය හා ඤාතීත්වයක් පවතින බවට ඉතිහාසය මෙන්ම ආවේනික ක්‍රියා කලාපයද සාක්ෂි දරනු ලබයි. කෙස්ද යත්,

“සචේ භික්ඛවේ ජාතියා සාකියෝ, අඤ්ඤතිත්ථියපුබ්බෝ ආගච්ඡති. සෝ ආගතෝ උපසම්පාදේතබ්බෝ. න තස්ස පරිවාසෝ දාතබ්බෝ. ඉමාහං භික්ඛවේ ඤාතීනං ආවේණිකං පරිහාරං දම්මී’ති.”  (මහාවග්ගපාලි)

ඉදින් මහණෙනි, ජාතියෙන් ශාක්‍ය වූ පෙර අන්‍යතීර්ථක වුවෙක් පැමිණෙයි. පැමිණියා වූ හෙතෙම උපසම්පදා කල යුතුය. මහණෙනි මම ඤාතීන්ට පමණක් ආවේණික වූ මෙම පරිහාරය දෙමි.
එනම් අන්‍යතීර්ථක වූ ශාක්‍ය වංශිකයකු පැවිද්ද ඉල්ලා පැමිණියේ නම් සෙසු අන්‍යතීර්ථකයන්ට (අන්‍ය ආගමිකයන්ට) දිය යුතු වූ පරිවාස කාලය නොදී එකවරම පැවිදි උපසම්පදාව දිය යුතුය. කුමක් නිසාවෙන් දෙනු ලබන්නේද යත්, ජාතියෙන් ශාක්‍ය වූ ඔවුහු තම වංශිකයකු වූ බුදුරජාණන්වහන්සේගේ ශාසනය ස්වකීය වංශයේ උරුමයක් සේ සලකා රකිනා බැවිනි. ඒ ස්වභාවය සිංහලයා තුල ස්වභාවයෙන්ම පවතිනවා නොපෙනේද? එබැවින් සිංහලයා බුදු රජාණන්වහන්සේගේ පරපුරට කෙසේ හෝ ඤාතිත්වයක් පවතින පරපුරක් වන බවට අටුවා ටීකා කුමටද?

එහෙවු පරපුරක උරුමය උදෙසා දැහැමිව ක්‍රියා කිරීමට කිසිවකුගේ අවසර ගන්නේ කුමටද? එබැවින් ඔබ සැබෑ බෞද්ධයකු වී ධර්මුකූල ජිවිත ගත කරමින් බුදු දහම සුරැකීමට එක්වන්න. 

සියලු දෙනාට තෙරුවන් සරණයි...!!!

No comments:

Post a Comment