Monday, April 25, 2016

සම්බුද්ධ ශාසන චිරස්ථිතිය.






සම්බුද්ධ ශාසනයෙහි චිරස්ථිතිය පිණිස කටයුතු කරන සංවිධානයක් ලෙසට “ථේරවාදී ආර්ය එකමුතුව” වන අපි, කුමක් නිසා සම්බුදු සසුන පරිහානියට පත්වන්නේ දැයි පළමුවම විමසා බැලීමු. එහිදී අපි ප්‍රධාන කාරණා දෙකක් හඳුනා ගතිමු. ඒවා නම් 
       
අභ්‍යන්තර අර්බුද.     
භාහිර තර්ජන.  
            
යන ඒවා වේ. 

අභ්‍යන්තර අර්බුද.


සම්බුද්ධ ශාසන අභ්‍යන්තරය ගත්කල එය උපතේ පටන් නිර්මලය. එනමුත් යම් යම් ශාසන විරෝධී ක්‍රියා මතුවීම තුලින් ඒ නිර්මල බව කෙලෙසීම සිදුවේ. වර්තමානයේ සිදුවන ඇතැම් ක්‍රියා එබඳු ශාසන විරෝධී අධාර්මික අවිනය ක්‍රියා වේ. එබඳු ක්‍රියා නිසා සම්බුද්ධ ශාසනය අභ්‍යන්තරයෙන්ම පිරිහීමට ලක්වී පවතී. එබඳු ක්‍රියාවන්ට උදාහරණ බුද්ධ දේශනාවෙන්ම ගෙනහැර දැක්විය හැකිය. මේ එයට උදාහරණයි.

“කො නු ඛො, භන්‌තෙ, හෙතු කො පච්‌චයො, යෙන පුබ්‌බෙ අප්‌පතරානි චෙව සික්‌ඛාපදානි අහෙසුං බහුතරා ච භික්‌ඛූ අඤ්‌ඤාය සණ්‌ඨහිංසු? කො පන, භන්‌තෙ, හෙතු කො පච්‌චයො, යෙනෙතරහි බහුතරානි චෙව සික්‌ඛාපදානි අප්‌පතරා ච භික්‌ඛූ අඤ්‌ඤාය සණ්‌ඨහන්‌තී

ස්වාමිනි යම් හෙයකින් පෙර ශික්ෂාපද අලප වුයේද බොහෝ භික්ෂුන් රහත්බවෙහි පිහිටීමට හේතු කවරක්ද? ප්‍රත්‍ය කවරක්ද? ස්වාමිනි මෙකල ශික්ෂාපද බොහෝ වුයේද ස්වල්පයක් භික්ෂුන් රහත්බවෙහි පිහිටීමට හේතු කවරක්ද? ප්‍රත්‍ය කවරක්ද?

“එවඤ්‌චෙතං, කස්‌සප, හොති සත්‌තෙසු හායමානෙසු සද්‌ධම්‌මෙ අන්‌තරධායමානෙ, බහුතරානි චෙව සික්‌ඛාපදානි හොන්‌ති අප්‌පතරා ච භික්‌ඛූ අඤ්‌ඤාය සණ්‌ඨහන්‌ති. න තාව, කස්‌සප, සද්‌ධම්‌මස්‌ස අන්‌තරධානං හොති යාව න සද්‌ධම්‌මප්‌පතිරූපකං ලොකෙ උප්‌පජ්‌ජති. යතො ච ඛො, කස්‌සප, සද්‌ධම්‌මප්‌පතිරූපකං ලොකෙ උප්‌පජ්‌ජති, අථ සද්‌ධම්‌මස්‌ස අන්‌තරධානං හොති’’.

කාශ්‍යපය, එය එසේම වෙයි. සත්වයින් පිරිහෙන කල්හි සද්ධර්මය අන්තර්ධාන වන කල්හි බොහෝ ශික්ශාපද ද වෙයි. ස්වල්පයක් භික්ෂුන් රහත්බවෙහි පිහිටයි.  කාශ්‍යපය, යම්තාක් කල් සද්ධර්ම ප්‍රතිරූපකයෝ ලෝකයෙහි නූපදිත්ද ඒතාක් කල් සද්ධර්මය අන්තර්ධාන නොවෙයි. කාශ්‍යපය යම් කලෙක සද්ධර්ම ප්‍රතිරූපකයෝ ලෝකයෙහි උපදිත් ද එකල්හි සද්ධර්මයෙහි අන්තර්ධානය සිදුවෙයි.

“න ඛො, කස්‌සප, පථවීධාතු සද්‌ධම්‌මං අන්‌තරධාපෙති, න ආපොධාතු සද්‌ධම්‌මං අන්‌තරධාපෙති, න තෙජොධාතු සද්‌ධම්‌මං අන්‌තරධාපෙති, න වායොධාතු සද්‌ධම්‌මං අන්‌තරධාපෙති; අථ ඛො ඉධෙව තෙ උප්‌පජ්‌ජන්‌ති මොඝපුරිසා යෙ ඉමං සද්‌ධම්‌මං අන්‌තරධාපෙන්‌ති.”

කාශ්‍යපය පඨවි ධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකරෙයි. ආපෝ ධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකරෙයි. තේජෝ ධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකරෙයි. වායෝ ධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකරෙයි. යමෙක් මේ සද්ධර්මය අන්තර්ධාන කරයිද ඒ හිස් පුරුෂයෝ මේ ශාසනයෙහිම උපදියි.

“සේය්යතාපි කස්සප නාවා ආදිකේනේව ඕපිලවති න ඛෝ කස්සප එවං සද්ධම්මස්ස අන්තරධානං හෝති.”

කාශ්‍යපය, යම් සේ නැව අධිකව බඩු පිරවීමෙන් ගිලේද, කාශ්‍යපය, එසේ (පරියාප්ති ආදිය) පිරීමෙන් සද්ධර්මය අතුරුදන් නොවේ.

“පඤ්‌ච ඛො මෙ, කස්‌සප, ඔක්‌කමනියා ධම්‌මා සද්‌ධම්‌මස්‌ස සම්‌මොසාය අන්‌තරධානාය සංවත්‌තන්‌ති. කතමෙ පඤ්‌ච? ඉධ, කස්‌සප, භික්‌ඛූ භික්‌ඛුනියො උපාසකා උපාසිකායො සත්‌ථරි අගාරවා විහරන්‌ති අප්‌පතිස්‌සා, ධම්‌මෙ අගාරවා විහරන්‌ති අප්‌පතිස්‌සා, සඞ්‌ඝෙ අගාරවා විහරන්‌ති අප්‌පතිස්‌සා, සික්‌ඛාය අගාරවා විහරන්‌ති අප්‌පතිස්‌සා, සමාධිස්‌මිං අගාරවා විහරන්‌ති අප්‌පතිස්‌සා ඉමෙ ඛො, කස්‌සප, පඤ්‌ච ඔක්‌කමනියා ධම්‌මා සද්‌ධම්‌මස්‌ස සම්‌මොසාය අන්‌තරධානාය සංවත්‌තන්‌ති.

කාශ්‍යපය, විනාශයට හේතුවන ධර්මයෝ පසක් සද්ධර්මයෙහි මුලාවිම පිණිස, අන්තර්ධානය පිණිස පවතී. කවර පසක් ද? කාශ්‍යපය මෙසස්නෙහි භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකාවෝ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව රහිතව යටහත් පැවතුම් රහිතව වාසය කරයි. ධර්මය කෙරෙහි ගෞරව රහිතව යටහත් පැවතුම් රහිතව වාසය කරයි. සංඝයා කෙරෙහි ගෞරව රහිතව යටහත් පැවතුම් රහිතව වාසය කරයි. ශික්ෂාව කෙරෙහි ගෞරව රහිතව යටහත් පැවතුම් රහිතව වාසය කරයි. සමාධිය කෙරෙහි ගෞරව රහිතව යටහත් පැවතුම් රහිතව වාසය කරයි. කාශ්‍යපය මේ විනාශයට හේතුවන ධර්මයෝ පස සද්ධර්මයෙහි මුලාවිම පිණිස, අන්තර්ධානය පිණිස පවතී.

“පඤ්‌ච ඛො මෙ, කස්‌සප, ධම්‌මා සද්‌ධම්‌මස්‌ස ඨිතියා අසම්‌මොසාය අනන්‌තරධානාය සංවත්‌තන්‌ති. කතමෙ පඤ්‌ච? ඉධ, කස්‌සප, භික්‌ඛූ භික්‌ඛුනියො උපාසකා උපාසිකායො සත්‌ථරි සගාරවා විහරන්‌ති සප්‌පතිස්‌සා, ධම්‌මෙ සගාරවා විහරන්‌ති සප්‌පතිස්‌සා, සඞ්‌ඝෙ සගාරවා විහරන්‌ති සප්‌පතිස්‌සා, සික්‌ඛාය සගාරවා විහරන්‌ති සප්‌පතිස්‌සා, සමාධිස්‌මිං සගාරවා විහරන්‌ති සප්‌පතිස්‌සා ඉමෙ ඛො, කස්‌සප, පඤ්‌ච ධම්‌මා සද්‌ධම්‌මස්‌ස ඨිතියා අසම්‌මොසාය අනන්‌තරධානාය සංවත්‌තන්‌තී.”

කාශ්‍යපය, පවැත්මට හේතුවන ධර්මයෝ පසක් සද්ධර්මයෙහි මුලා නොවීම පිණිස, අන්තර්ධානය නොවීම පිණිස පවතී. කවර පසක් ද? කාශ්‍යපය මෙසස්නෙහි භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකාවෝ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව සහිතව යටහත් පැවතුම් සහිතව වාසය කරයි. ධර්මය කෙරෙහි ගෞරව සහිතව යටහත් පැවතුම් සහිතව වාසය කරයි. සංඝයා කෙරෙහි ගෞරව සහිතව යටහත් පැවතුම් සහිතව වාසය කරයි. ශික්ෂාව කෙරෙහි ගෞරව සහිතව යටහත් පැවතුම් සහිතව වාසය කරයි. සමාධිය කෙරෙහි ගෞරව සහිතව යටහත් පැවතුම් සහිතව වාසය කරයි. කාශ්‍යපය මේ පැවැත්මට හේතුවන ධර්මයෝ පස සද්ධර්මයෙහි මුලානොවිම පිණිස, අන්තර්ධානය නොවීම පිණිස පවතී.

 

ඒ අනුව අපට වටහාගත හැක්කේ වත්මන සිදුවන යම් යම් ශාසන විරෝධී, ධර්ම විනය විරෝධී ක්‍රියා හේතුවෙන් අභ්‍යන්තර වශයෙන් ශාසනය පරිහානියට පත්වන බවයි. එබැවින් ශාසනය සුරැකීමට පළමුවෙන්ම අභ්‍යන්තරය නිවැරැදි කරගත යුතුය. ඒ සඳහා සංවිධානයක් ලෙස අප සම්බන්ධ කරගෙන සිටින්නේ සිල්වත් භික්ෂුන් වහන්සේලා හා සිල්වත් ගිහි පිරිසකි. ඒ හේතුවෙන්ම බොහෝ පිරිසක් නොමැති සංවිධානයකි. එනමුත් ශක්තිමත් දිගු ගමනක් යා හැකි නිවැරදි දැක්මක් සහිත සංවිධානයකි.

ඒ අපි සීලයට මුල්තැන දෙමින් ධර්ම විනය අනුකූලව පිළිපදිමින් සුදුසු අය එයට සම්බන්ධ කරගනිමින් සෙමෙන් ගමනක් යන්නෙමු.

එයින් අනතුරුව අපට හමුවන්නේ භාහිර අර්බුදයි.

භාහිර අර්බුද දෙස බැලූ කල එය විවිධාකාර වේ. ඉස්ලාම් අන්තවාදය, ක්‍රිස්තියානි මූලධර්මවාදය, ඉන් ප්‍රධාන වේ. එයින්ද ඉස්ලාම්කරණය ඉතාමත් බැරෑරුම් ගැටලුව වේ. ඊට අමතරව බටහිර ගැති මානසිකත්වය නිසා සිදුවන දේශපාලනික, ආර්ථික, සාමජිය, සංස්කෘතික බලපෑම් ද පෙනෙන්නට තිබේ. කෙසේ නමුත් මේ සියල්ල අධර්මය ලෙස එක පිඩකට ගත හැකිය. ඒ අධර්මය නමැති කුලකයේ උපකුලකයන් ලෙස ඉහත දැක්වූ ඉස්ලාම්කරණය, ක්‍රිස්තියානිකරණය ප්‍රධාන අනෙකුත් ගැටළු දක්වියහැකිය. ඒ භාහිර ගැටළු විසඳීමේදී මුලින්ම සදහන් කල අභ්‍යන්තර ගැටළු නිරාකරණය අත්‍යාවශය වේ. ඒ අභ්‍යන්තර නිරවුල් භාවයෙහි පිහිටා සිට භාහිර ගැටලුව විසඳිය යුතුය. නොමැතිනම් එය “වීදුරු ගෙවල් වල සිට ගල් ගැසීමක්” මෙන්ම “ගඟට ඉනි කැපීමක්” ද වේ.
එසේ නිවැරදි ප්‍රතිපදාවෙහි සිටිමින් පළමුකොටම ඉස්ලාමය හා ක්‍රිස්තියානිය මතවාදීව බිඳ හෙළිය යුතුය. එනම් ඉස්ලාම දහම හා කිතු දහම යනු මිනිසාට “සැබෑ සැනසීමක් ” ලබාදෙන දහමක් නොවන බව එම දහම් තුලින්ම ප්‍රත්‍යක්ෂ කල යුතුය. එවිට ඔවුන්ගේ මතවාදී චින්තනය මැඩපැවැත්විය හැකිය. ඉන් අනතුරුව ඒවා පාලනය කිරීම පිණිස නෛතික ක්‍රියාමාර්ග කෙරෙහි යොමු විය යුතුය. ඒ සඳහා සුදුසු ධාර්මික දේශපාලනයක් අප විසින්ම ගොඩනගා ගත යුතුය. කෙසේනමුත් මේ සියල්ල බුදුදහමට අනුකූල විය යුතුය.

“ථේරවාදී ආර්ය එකමුතුව” නම් වූ අපි කටයුතු කරන්නේ ඉහත න්‍යාය අනුකූලව බුද්ධ ධර්මය මුල් කරගනිමිනි. එබැවින් අප සංවිධානයට කිසිදු ආකාරයක අධර්මකාමි සාමාජිකයන් සම්බන්ධ කරගනු නොලැබේ. එසේම මෙය බුද්ධිමය සංවාද, පාණ්ඩිත්‍ය සංවාද තුලින් ගොඩනැගෙන බැවින් උද්ඝෝෂණ ව්‍යාපාර, විරෝධතා ආදිය නොමැති සංවිධානයකි. හුදෙක් ධර්මකාමී සත්පුරුෂ එකමුතුවකි.

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි...!!!!

සිංහල බෞද්ධ සංකල්පය බුදු දහමට පටහැනිද?




සිංහල බෞද්ධ යන සංකල්පය තරම් අභියෝගයනට මුහුණ දෙනු ලබන අනෙකක් වත්මනෙහි නැත්තේමය. සතර දිගින් පැමිණෙන සියලු උපද්‍රවද සිංහල බෞද්ධයා අරමුණු කරගෙනම පවතින්නේ යන්න අමුතුවෙන් පෙන්වා දිය යුත්තක් ද නොවේමය. එසේම ඒ පැමිණෙන්නා වූ අභියෝගයන්ට මුහුණ දීමට ඉදිරිපත් වන්නන් අන්තවාදීන් සේ හංවඩු ගැසීම සංවේගය උපදවන්නකි. කිමද යත් සිංහලයා එසේ අසරණ වන්නේ ස්වකීය උපන් බිම තුලම වීමයි.

කෙසේ නමුත් එසේ සිංහලයන්ව පීඩාවට ලක්කරන කිසිවකු එකී සිංහලයාට පහර ගැසීමට භාවිතා කරනු ලබන ජාතිවාදී පැලැස්තරය අර්ථ දක්වා නැත්තේය. ඔවුන්ට එය අර්ථ දැක්වීමටද නොහැකිය. ඒ ඔවුන් එය තමාට අවැසි පරිදි තම ලාභය සැලසෙන පරිදි භාවිතා කරන්නක් බව ඉඳුරාම පැහැදිලි කරුණකි.

කරුණු එසේ තිබියදී බෞද්ධයන් වන අප සිංහල බෞද්ධ යන සංකල්පය බුදු දහමට පටහැනි කරුණක්ද යන්න මදක් විමසා සිටීම වටින්නේ යැයි සිතේ. මේ වෑයම ඒ උදෙසාය. විමසා බලා වරදක් තිබේ නම් නිවැරදි කිරීම විශාරදයින් විසින් කෙරෙත්වා. යථාර්තය පමණක් නිහතමානීව පිළිගනු ලබන්නෙමු.

එහිදී ඇතැමෙක් සිංහල බෞද්ධ යන සංකල්පය බුදු දහමට අදාළ නොවන්නක් බව පවසයි. එයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ; “බුදු දහම යනු සක්කාය දිට්ඨිය නැති කිරීම පිණිස පිළිපන් දහමක් බවයි. එසේම දෘෂ්ඨීන් අතහැරි දහමක් බවයි. අන්තවාදී නොවන දහමක් බවයි. ඒ ඔවුන් ඇතැමෙක් ඉදිරිපත් කරන ප්‍රධාන කරුණක් නම් පහාරාද සුත්‍ර දේශනාවේ පහත කරුණයි. එනම්,

“සෙය්‍යථාපි පහාරාද යා කාචි මහා නදියෝ සෙය්‍යථිදං, ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී තා මහා සමුද්දං පත්වා ජහන්ති පුරිමානි නාම ගොත්තානි, මහා සමුද්දෝත්වේව සංඛ්‍යං ගච්ඡන්ති. එවමෙව ඛෝ පහාරාද චත්තාරෝ මේ වණ්ණා ඛත්තියා බ්‍රාහ්මණා වෙස්සා සුද්දා තේ තථාගප්පවෙදිතේ ධම්මවිනයේ අගාරස්මා අනගාරියං පබ්බජිත්වා ජහන්ති පුරිමානි නාමගොත්තානි. සමණා සක්‍යපුත්තියා’වේව සංඛ්‍යං ගච්ඡන්ති.” (අ.නි, අට්ඨක නිපාතය, පහාරාද සුත්‍රය.)

පහාරාදය යම් කිසි මහා නදීහු වෙත්ද, එනම් ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී යන මේවායි. ඒ ගංගාවෝ මහසයුරට පැමිණ පෙර නාම ගෝත්‍ර අතහරින්නේ වෙයි. සමුද්‍රය යන සංඛ්‍යාවට යන්නේ වෙයි. පහාරදය එසේම, ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර යන මේ සතර වර්ණයෝ වෙත් ද,  ඔවුන් ද තථාගතප්‍රවෙදිත ධර්මවිනයෙහි ගිහිගෙයින් නික්ම අනගාරිකව පැවිදිව පෙර නාමගෝත්‍ර අත්හරින්නේ වෙයි. ශ්‍රමණ සාක්‍ය පුත්‍ර සංඛ්‍යාවට යයි.” යන්නයි.

යහපති. 

එය ඉතාමත් යහපත් දේශනා පාඨයකි. එනමුත් එය කවරෙකුට අරඹයා දේශනා කරන ලද්දක් දැයි විමසා සිටිය යුතුමය. ඒ සුත්‍ර පාඨය දේශනා කර ඇත්තේ භික්ෂුන් වහන්සේ අරමුණු කරගෙනය. පැවිද්දා අරමුණු කරගෙනය. ගිහි ජීවිතය අත්හල තැනැත්තා අරමුණු කරගෙනය.

පැවිදි වන්නා වූ තැනැත්තා ඒකාන්තව ගිහි දිවිය හා සම්බන්ධ සියල්ල අත්හල යුතුමය. ඒ පිලිබඳ විවාදයක් නැත්තේය. එබැවින් ගිහි නාම ගෝත්‍ර අතහැරීම පිලිබඳ කිසිදු පැනයක් හටගන්නේ නැත. එනමුත් ගිහියා යනු ගිහියෙකු බැවින් ඔහුට පැවිද්දකු කරනු ලබන ක්‍රියාවන් සිදුකිරීමේ හැකියාවක් නොමැති බව එකී ඇදුරෝ වටහා ගත යුතුය. එබැවින්ම බුදුරජාණන්වහන්සේ පැවිදි වූ තැනැත්තා ම පෙර නාම ගෝත්‍ර අතහරින බව දේශනා කර වදාළ සේක.

එහිදී තථාගතයාණන් වහන්සේ කිසිදු අයුරකින් බුදු සරණ ගිය තැනැත්තා යනුවෙන් හෝ දම් සරණ, සඟ සරණ ගිය තැනැත්තා යනුවෙන් හෝ සදහන් කර නැත්තේය. උපාසක උපාසිකා කිසිවක් සඳහන් කර නැත්තේය. සදහන් කර ඇත්තේ ගිහි ජීවිතය අත්හල පැවිදිවූ තැනැත්තා යනුවෙන් පමණකි. එබැවින් ඉහත දේශනා පාඨය ප්‍රත්‍ය කරගනිමින් ගිහි නාම ගෝත්‍ර අතහැරීමක් හෝ බෞද්ධයන් යනු නාම ගෝත්‍ර නැත්තන් යනුවෙන් හෝ ප්‍රකාශ කල නොහැකිය.

ගිහියාට නාම ගෝත්‍ර පවතින්නේ වෙන් කර හඳුනා ගැනීම උදෙසාය. එයට කර්මය මූලිකව ක්‍රියා කරයි. එකී කර්මානුකූලව ඒ ඒ ස්ථානයන්හි ප්‍රතිසන්ධි ගත් කල්හි ඒ ඒ කුල ගොත් අනුව හඳුනාගැනීමේ සඤ්ඤා යොදාගනු ලබයි. එය සම්මුතියයි. ලාංකික, ඉන්දීය, යුරෝපීය, රුසියානු ආදී ලෙස සඤ්ඤා භාවිතා වනුයේ ඒ ඒ කර්ම විපාක මත ඒ ඒ දේශයන් හි උපත ලැබීම නිසාවෙනි. එය හුදෙක් සඤ්ඤා ස්කන්ධයක් පමණකි.

එනමුත් එකී සඤ්ඤා ස්කන්ධය තුල ආවේනික ලක්ෂණ පවතින්නේ වෙයි. ලාංකිකයාට ලාංකික යැයි හඳුනාගත් ලක්ෂණ පවතී. එබැවින් ලොව කොහේ සිටියත් ලාංකිකයා ලාංකිකයකු ලෙස හඳුනා ගත හැකිය. ඒ ආවේනික ස්වභාවය පවතින බැවිනි. ඒ ආවේනික ස්වභාවයම ආවේනික ලක්ෂණම එකිනෙකාගේ අනන්‍යතාවය සුරකින්නේ ද වෙයි. එසේම ඒ එකිනෙකාගේ අනන්‍යතාවය විනාශ කිරීමට කිසිවකුට සාධාරණ අයිතියක් ස්වභාව ධර්මය තුල ද හිමිව නැත්තේය. ඒ ඒ පුද්ගලයාගේ අනන්‍යතාවය හමුවේ තමා සවකීය ගරුත්වය ආරක්ෂා කරගනිමින් අනෙකාට බාධා නොවන අයුරින් හැසීරීම කල යුතුය. එය ද එකී සම්මුතිය තුලම සම්මත වු ධර්මතාවයකි.

තවද බුදු දහම තුලින් බැලුවේද ඒ ඒ කොටස් තුල පවතින ස්වභාව ලක්ෂණ ඒ ඒ කොටස් වල උරුමයකි. එයට බාධා කිරීමට අනෙකෙකුට ඉඩක් නොමැත්තේය. ඒ නිසාවෙන්ම බුදුරජාණන්වහන්සේ කිසිදු අවස්ථාවක ගිහියන්ට නාම ගෝත්‍ර හෝ වෙන් යම් කිසවක් හෝ අතහැරීමට හෝ තවකෙකුට බලපෑම් කිරීමට හෝ මග පෙන්වා නොමැත්තේය. එනමුත් එකී ස්වභාව ලක්ෂණ ස්වකීය අනන්‍යතාවය ලෙස පවත්වාගෙන යාමට ඉඩ හසර මනාව සලසා දී ඇත්තේය.

කෙස්ද යත්,

යුතුකම් හා වගකීම පිලිබඳ කියවෙන සිඟාලෝවාද සුත්‍රයෙහි දරුවන් විසින් මවු පියන්ට කල යුතු යුතුකම් අතර කුල වංශය පැවැත්විය යුතුය යනුවෙන් දක්වා ඇත්තේය.

යම් සේ ඉහත පහාරාද සුත්‍ර පාඨය හුවා දක්වමින් සිංහල බෞද්ධ යන සංකල්පයට පහර දෙන ඔවුන් සිඟාලෝවාද සුත්‍ර පාඨය හමුවේ ක්‍රියා කරනුයේ කෙසේද? ඔවුන් කියන සේ සිංහල බෞද්ධ ආදී සංකල්ප අතහැරිය යුතු නම් දරුවන් විසින් දෙමාපියන්ගේ කුල වංශය පැවැත්විය යුතු ඇයි?
එසේම තවද එක් අවස්ථාවකදී අමබට්ඨ මානවකයා විසින් ක්‍ෂත්‍රියයන් කිඹුල්වත් නුවරදී තමාට අපහාස වන අයුරින් කටයුතු කලේ යැයි ක්ෂත්‍රිය වංශයට බැණ වැදුණු පසු බුදුරජාණන්වහන්සේ දේශනා කර වදාළේ “මානවකය, කිඹුල්වත යනු ක්‍ෂත්‍රියන්ගේ භූමියයි. ස්වකීය භූමිය තුල ඔවුනට රිසි සේ හැසිරීමට ඔවුනට ඉඩ ඇත. කැටකිරිල්ලට පවා තම භූමියෙහි නිදහසේ හැසිරීමට අයිතියක් ඇත.” යනුවෙනි. එසේ වූ බුදුරජාණන්වහන්සේ ගිහි ජාති ගෝත්‍ර කෙරෙහි කුමට බලපෑම් කරනු ලබයිද?
ඒ අනුව අපට වටහා ගත හැකි කරුණක් වන්නේ යමෙකු ස්වකීය උරුමය ඉදිරිපත් කරගනිමින් එකී උරුමය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කටයුතු කිරීම බුදු දහමට අනුව වරදක් නොවන බවයි. එසේම බුදු දහමින් එයට බාධාවක් නොමැති බවද එම අයිතියට බුදු දහම ගරු කරන බවද වටහා ගත යුතුය.

එබැවින් සිංහල බෞද්ධ යනුවෙන් සංකල්පයක් පැවතීම බුදු දහමට පටහැනි කරුණක් නොවන්නේය. ගිහියන්ට ස්වකීය ජාතිය උපයෝගී කරගනිමින් ස්වකීය ආගම උපයෝගී කරගනිමින් ස්වකීය පැවැත්ම ආරක්ෂා කරගැනීමට කටයුතු කිරීම බුදු දහමට පටහැනි නොවන්නකි. එකී සිංහල වංශය පැවැත්වීම සිංහල දරුවන් විසින් තම දෙමවුපියන් වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකමෙකි. ඒ සිංහල සංස්කෘතිය පෝෂණය කළා වූ බුදු දහමද සුරැකීම එයටම අදාළ වූ කරුණකි. එය කිසිම ආකාරයකින් බුදු දහමින් බැහැර වන්නා වූ කරුණක් නොවේමය. අධාර්මික ක්‍රියාවක් නොවේමය. එනමුත් එය ගිහියන්ට පමණක් සීමා වන බව එකාන්තව වටහා ගත යුතුය. පැවිද්දා සිංහල බෞද්ධයකු නොවීමට වගබලා ගත යුතුමය. කිමද යත් පැවිද්දා පැවිද්දෙන් අනතුරුව පෙර නාම ගෝත්‍ර අතහරින බැවිනි. එනමුත් බුදු දහම සුරැකීමට භික්ෂුන් වහන්සේට කිසිදු බාධාවක් නොමැත්තේය.

එසේම සිංහල බෞද්ධයා යනු බුදු දහම තුල විශේෂ තැනක් හිමිවන කොටසක් බවද වටහා ගත යුතුය. ඒ බුදුරජාණන්වහන්සේ තෙවරක්ම වැඩම කොට විශේෂයෙන් පූජනීය කළා වුද ජීවමාන බුදුරජාණන්වහන්සේ වැඩ සිටින්නා සේ රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඩ සිටින්නා වුද දළදා වහන්සේ වැඩ සිටින්නා වුද ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින්නා වුද තවද බොහෝ සර්වඥ ධාතුන් වහන්සේලා මෙන්ම ශ්‍රාවක ධාතුන් වහන්සේලාද වැඩ සිටින්නා වුද මේ පින් බිමේ උරුමක්කාරයින් වූ හා බුදුරජාණන්වහන්සේ උපත ලැබූ පරපුරට උරුමකම් කියන්නා වූ ද ජන කොටසක් බැවිනි. එකී සාක්‍ය වංශය හා ඤාතීත්වයක් පවතින බවට ඉතිහාසය මෙන්ම ආවේනික ක්‍රියා කලාපයද සාක්ෂි දරනු ලබයි. කෙස්ද යත්,

“සචේ භික්ඛවේ ජාතියා සාකියෝ, අඤ්ඤතිත්ථියපුබ්බෝ ආගච්ඡති. සෝ ආගතෝ උපසම්පාදේතබ්බෝ. න තස්ස පරිවාසෝ දාතබ්බෝ. ඉමාහං භික්ඛවේ ඤාතීනං ආවේණිකං පරිහාරං දම්මී’ති.”  (මහාවග්ගපාලි)

ඉදින් මහණෙනි, ජාතියෙන් ශාක්‍ය වූ පෙර අන්‍යතීර්ථක වුවෙක් පැමිණෙයි. පැමිණියා වූ හෙතෙම උපසම්පදා කල යුතුය. මහණෙනි මම ඤාතීන්ට පමණක් ආවේණික වූ මෙම පරිහාරය දෙමි.
එනම් අන්‍යතීර්ථක වූ ශාක්‍ය වංශිකයකු පැවිද්ද ඉල්ලා පැමිණියේ නම් සෙසු අන්‍යතීර්ථකයන්ට (අන්‍ය ආගමිකයන්ට) දිය යුතු වූ පරිවාස කාලය නොදී එකවරම පැවිදි උපසම්පදාව දිය යුතුය. කුමක් නිසාවෙන් දෙනු ලබන්නේද යත්, ජාතියෙන් ශාක්‍ය වූ ඔවුහු තම වංශිකයකු වූ බුදුරජාණන්වහන්සේගේ ශාසනය ස්වකීය වංශයේ උරුමයක් සේ සලකා රකිනා බැවිනි. ඒ ස්වභාවය සිංහලයා තුල ස්වභාවයෙන්ම පවතිනවා නොපෙනේද? එබැවින් සිංහලයා බුදු රජාණන්වහන්සේගේ පරපුරට කෙසේ හෝ ඤාතිත්වයක් පවතින පරපුරක් වන බවට අටුවා ටීකා කුමටද?

එහෙවු පරපුරක උරුමය උදෙසා දැහැමිව ක්‍රියා කිරීමට කිසිවකුගේ අවසර ගන්නේ කුමටද? එබැවින් ඔබ සැබෑ බෞද්ධයකු වී ධර්මුකූල ජිවිත ගත කරමින් බුදු දහම සුරැකීමට එක්වන්න. 

සියලු දෙනාට තෙරුවන් සරණයි...!!!