Monday, August 29, 2016

මහමෙව්නාවේ ධර්ම විකෘතිය.





බොහෝ ජනතාවකගේ හිත දිනාගත් එසේම බොහෝ පින්කම් තුල හැසිරෙන මහමෙව්නාව අසපුව පිලිබඳ විවිධ මතිමතාන්තර තිබේ. එසේම මහමෙව්නාවට යමකු විරුද්ධ වන කල රංචු පිටින් විරෝධය දක්වන අයද සිටියි. ඒ එකමුතු කම යහපති. එනමුත් මහමෙව්නාවෙන් දිය රෙද්දෙන් බෙල්ල කපන්නා සේ ධර්මය සියුම් ව මකා දැමීම විමසුම් නුවණින් බලා අවබෝධ කල යුතු නුවණින් බැහැර කල යුතු අධර්ම ක්‍රියාවකි. ඒ පිළිබඳව මෙසේ කරුණු දක්වන්නෙමු.

1. ත්‍රිපිටකය පරිවර්තනය.

මහමෙව්නාවේ බෝධිඥාන ත්‍රිපිටක පරිවර්තනය පරිවර්තනයක් ලෙස යම් මට්ටමක තිබිය හැකිය. එනමුත් එය හුදෙක් සිංහලට පරිවර්තනය කිරීම හා කවි සංස්කෘතියට බරව පරිවර්තනය නිසාවෙන් අනාගතයේදී බරපතල ගැටළු මතු කරයි. කෙසේද යත්;

සත් තිස් බෝධිපාක්ෂික ධර්ම ප්‍රකාශ කල හැක්කේ මාගධී සංඛ්‍යාත පාලියෙන් පමණි. ඒවා අන්‍ය භාෂාවකින් ප්‍රකාශ කලේ නමුදු නිවැරදි අර්ථය ගම්‍ය නොවේ. ඒ පාලිය නම් සබ්බලෝක සාධාරණ භාෂාව බැවිනි.

ඒ භාෂාවෙන් ප්‍රකාශ කල අර්ථයක් අන් භාෂාවක වචන සිය දහසකින් වුවද ගත නොහේ. උදාහරණයකට ලෝභය යන්න වචන සියයකින් අභිධර්මය තුල විස්තර කෙරේ. ඒ අර්ථ දීමට සිංහල වචන ද නොමැත්තේය. එබඳු අර්ථ පාලියෙන් තොරව හුදෙක් අන් භාෂාවකින් ප්‍රකාශ කර ඇති අවස්ථාවන්හිදී අර්ථය වැළලී වැළලී යාම පිලිබඳ අමුතුවෙන් කිව යුතු නැත. එය සරල කරුණක් පමණකි.

ඉහත කී සත් තිස් බෝධිපාක්ෂික ධර්ම පිලිබඳ ප්‍රකාශ මාධ්‍ය වන අර්ථ ධර්ම නිරුක්ති පට්භාන යන සිවු පිළිසිඹියා තුල අර්ථය ධර්මය මනාව වෙනකොට එහි දිය යුතු නිරුක්තිය දීමේදී ලබාදිය හැකි හොඳම නිරුක්තිය ඇත්තේ පාලියෙහි පමණි. කෙසේද යත්,

අර්ථය වූ පග්ගහයත් එහි ධර්මය වූ වීර්යයත් වෙන් කොට ප්‍රකාශ කල හැක්කේ පාලියෙන් පමණි. අන් භාෂාවකින් පැවසීමේදී පග්ගහය යනු කුමක්දැයි වෙනම විස්තර කල යුතුය. එනමුත් පාලියෙන් අවැසි වන්නේ එක් වචනයක් පමණි. එබඳු පාලියෙන් එක වචනයකින් හා අන් භාෂාවකින් බොහෝ වචන භාවිතා කොට ප්‍රකාශ කල යුතු අර්ථයක් හෝ ධර්මයක් හුදෙක් තනි සිංහල වචනයකින් ප්‍රකාශ කිරීම තුලින් මත්තෙහිදී අර්ථය අර්ථය ලෙසත් ධර්මය ධර්මය ලෙසත් වෙන් කොට වටහා ගැනීමේදී වියවුල් ඇති වන්නේය. ඒ වනවිට පෙල නොතිබුණහොත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය සම්පූර්ණයෙන්ම වැළලී යන්නේය.

එබැවින් පාලිය හුදෙක් සිංහලට හෝ වේවා වෙනත් භාෂාවකට හෝ වේවා පාලියෙන් තොරව පරිවර්තනය කිරීම ධර්මය විනාශ වීමේ අති ප්‍රභල සාධකයකි. එබැවින්ම තථාගතයාණන් වහන්සේ පාලිය වෙන භාෂාවකට පරිවර්තනය තහනම් කල අතර හුදෙක් පාලියෙන්ම උගෙනීම, භාවිතා කිරීම අනුදැන වදාරන ලදී.

2. නිවන මගහැරීම.

ආරම්භයේදී මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම චතුරාර්‍ය සත්‍ය අවබෝධ කිරීමේ වීර්යයෙන් ඇරඹි මහමෙව්නාව මේ වන විට ඒ වීර්යය මදක් ලිහිල්ව ගොස් තවුතිසාව බලා යාමේ වැඩපිළිවෙලක නිරත වෙයි. එහිලා පැවසිය යුත්තේ නිවන ද්වෙනි කොට සුගතිය පළමුකොට සිදු කරනු ලබන්නා වූ ක්‍රියාවෝ නම් හීන ග්‍රාමය පෘතජ්ජනික අනාර්ය අනර්ථ සහිත බවයි. එනම් ලෞකිකත්වයට මු තැනදී කරනු ලබන පින්කම් ඤාණ සම්පයුක්ත නොවන බැවින් මහමෙව්නාවේ එකී ක්‍රියාකලාපය තුලින් අර්ථයක් බලාපොරොත්තු නොවිය හැකි බවයි. එසේම එය ද ධර්මය වැළලී යාමට වක්‍රාකාරව සහය වන්නකි. කෙසේද යත්;

හීන වීර්යයෙන් නිවන දෙවැනි කොට කටයුතු කිරීම යනු කෙලෙසුන්ට යට වීමේ මුලයි. ආරම්භයේදී චතුරාර්ය සත්‍යය ද මැදදී සුගතියද නම් අවසාන වන විට කුමක් වේ දැයි කිව හැකිද? කුමක් නමුත් නිවන් මගින් අපගමනය වූ ලෞකික ප්‍රාර්ථනාවක් පමණක් වේ. එයද කාලයත් සමග කෙලෙසුන්ට වසගවීම හරහා සුදු වන්නකි.

3. කෙලෙස් උද්දීපනය.

මහමෙව්නාව තුලින් කෙලෙස් බැහැර කිරීමට වඩා කෙලෙස් උද්දීපනයට තැනක් දෙනු ලැබේ. එනම් මහමෙව්නාවේ භාවනාව උවද “ආසේවේති කුසල ධම්මේ භාවේති වඩ්ඩේතී,ති භාවනා” යන අර්ථයෙන් භාහිරව උච්චස්ස්වරයෙන් පටන් ගෙන පහත් ස්වරය දක්වා තාලයකට සජ්ඣායනා කිරීම මගින් අකුසල සමාපත්තියකට සමවැදීම මහමෙව්නාවේ භාවනාව වේ. එසේ තාලයකට ගායනය පල්ලියෙන් උපුටාගන්නා ලද්දක් යැයි ප්‍රකශ කල බව අසන්නට ලැබේ. එසේම විදර්ශනාව ගත්තේද අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියා ගායනා කරනු මිසෙක සප්ත විශුද්ධිය හෝ විදර්ශනා ඤාණ වැඩීමක් සිදුවන්නේ හෝ සිදු කරන්නේ හෝ නොමැත. ඒ භාවනාව හරහා සිදු කරනුයේ හුදෙක් සින්දු කීමක් පමණකි.

එසේම මහමෙව්නාවේ ප්‍රතිමා තුලින්ද ශෘංගාරය උලුප්පා දක්වනු මිසෙක සමාධි පිළිම වහන්සේගේ ලෙසින් ලෝකෝත්තර හැඟීම් ප්‍රකට නොකරන්නේය. එයද කෙලෙස් වසඟයේ එක පැතිකඩකි.

මෙසේ ලෝකයා ඉදිරියේ ඔලාරිකව නොපෙනුනද සියුම්ව ශාසනික ප්‍රතිගාමීත්වයක් සිදු කිරීම මහමෙව්නාවෙන් සිදුවේ. එය පින්වත් ලොකු ස්වාමීන්වහන්සේසරණ ගිය අසරණයින්ට චිත්ත පීඩා ගෙන දෙන්නක් වුවද සිදුවීම එයම වේ. නැත කියා කියන්නකු වැදගත් ලෙසින් සාකච්චාවට පැමිණෙත්වා....!!!

Thursday, August 18, 2016

සංඝ භේදය සිදුවන නිවැරදි ආකාරය






සංඝභේදය සිදුවන්නේ කෙසේද?

අද සමාජයේ විවිධ පුද්ගලයින් ධර්මය සොයන අතරේ විවිධ පුද්ගලයින් ධර්මය ප්‍රචාරය කරමින් සිටියි. ඒ ධර්ම සොයන අයවලුන් සේම ධර්මය ප්‍රචාරය කරන අයද විවිධ මත දරයි. ඒ කවරෙකු කවර මතයක් දැරුවද ධර්මය නම් එකම වේ. දෙකක් කිසිසේත්ම නොවේ.

එසේ ධර්මය පිලිබඳ විවිධ අදහස් පැතිරෙන අතරේ ඇතැම් පුද්ගලයින් විසින් තම මතයට එරෙහිව යන අයවලුන් බියට පත් කිරීමට, තමාට අවනත කර ගැනීමට භාවිතා කරන ප්‍රසිද්ධ කියමනකි සංඝභේදය.
මෙයට විරුද්ධ නොවන්න, සංඝභේදය වන්නේය. දොස් නොකියන්න, සංඝභේදය වන්නේය. ප්‍රශ්න නොකරන්න, සංඝභේදය වන්නේය..... යනාදී කතා මගින් දැනුමක් තේරුමක් නැති පුද්ගලයින් රැවටීම සිදුකර තම පක්ෂය වර්ධනය කිරීම සිදුවෙන සිදුවීමකි.

සැබෑවටම සංඝභේදය යනු කුමක්ද?

සංඝභේදය යනු ආනන්තරිය අකුසලයකි. එනම් අනතුරු ජීවිතයේදීම විපාක දෙන්නකි. අවීචි මහා නරකයේ විපාක දෙනු ලබන බරපතල අකුසලයකි. 

කෙසේ නමුත් එය මදුරුවකු තලා දමනවා සේ ක්ෂණිකව සිදු නොවන්නකි. පියවර ගණනාවකින් සිදු වන්නකි.
එහිදී පළමුකොටම එකට එක්වී විනය කර්ම කරන පිරිසිදු උපසම්පදාවෙන් යුතු භික්ෂුන් වහන්සේලා නවයක් හෝ වැඩියෙන් සිටිය යුතුමය. ඊට අඩු වන්නේ නම් සංඝභේද අකුසලය සම්පූර්ණ නොවේ.
එසේ නවයක් වූ සංඝයා වහන්සේලා සතර දෙනා බැගින් දෙපිරිසකට වෙන් විය යුතුය. සතර දෙනා බැගින් යනුවෙන් දක්වන්නේ අවමය සතරකි. හේතුව නම් විනය තුල සංඝයා යනු සතර නමක් වීමයි.
එසේ වෙන්වූ කල ඉතිරි වූ භික්ෂුන් වහන්සේ අධර්ම පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත් විය යුතුය. ඉදිරිපත් වී යම් විනය කර්මයක් කල යුතුය. එය සිදුකරන කල්හිද සෙසු සිව් නම එම සීමාවෙහිම වැඩසිටිය යුතුය. එසේ නොවුනහොත් සංඝභේදය සිදු නොවේ. 

මෙසේ සරලව දැක්වුවද එය ඒක මොහොතකින් ඉටු වන්නක් නොව මතු දැක්වෙන කරුණු දහ අටෙන් එකක් හෝ කිහිපයක් හෝ මුල්කොට ගෙන විවාදයක් හටගත යුතුය. එහිදී ඒ වාදය දරන පුද්ගලයාට තෙවරක් අනුසාවණය කල යුතුය. අනුසාවණය නම් විනය කර්මයකි. ඒ අනුසාවණ තුන අනතුරුවද එය දරන්නේ නම් පළමුව සංඝාදිශේස වේ. අනතුරුව වෙන්ව විනය කර්ම කිරීමෙන් සංඝභේදය සිදු වේ. එය මෙසේ වටහාගත යුතුය.

“ඒකතෝ උපාලි චත්තාරෝ හොන්ති ඒකතෝ චත්තාරෝ. නවමෝ අනුසාවේති සලාකං ගාහේති’ අයං ධම්මෝ අයං විනයෝ ඉදං සත්ථු සාසනං ඉමං ගණ්හථ ඉමං රෝචේථා ‘ති. ඒවම්පි ඛෝ උපාලි සංඝරාජී චේව හෝති සංඝභේදෝ ච. නවන්නං වා උපාලි අතිරේක නවන්නං වා සංඝරාජී චේව හෝති සංඝභේදෝ ච”
උපාලිය එක්පසකින් සතර දෙනෙක් වෙත්, අනෙක් පසින් සතර දෙනෙක් වෙත්. නවවැන්නා ‘මෙය ධර්මය, මෙය විනය, මෙය ශාස්තෘ සාසනය, මෙය ගනිවු, මෙය රුචිකරවු, යැයි අනුසාවණය කරයි. උපාලිය මෙසේද සංඝරාජිය ද සංඝභේදය ද වෙයි. උපාලිය නවයකින් හෝ නවයට අතිරේක පිරිසෙකින් සංඝරාජිය ද සංඝභේදය ද වෙයි.

“න ඛෝ උපාලි භික්ඛුණී සංඝං භින්දති. අපිච භේදාය පරක්කමති. න සික්ඛමානා සංඝං භින්දති. අපිච භේදාය පරක්කමති. සංඝං භින්දති. අපිච භේදාය පරක්කමති. න සාමණේරෝ සංඝං භින්දති. අපිච භේදාය පරක්කමති. න සාමණේරී සංඝං භින්දති. අපිච භේදාය පරක්කමති. න උපාසකෝ සංඝං භින්දති. අපිච භේදාය පරක්කමති. න උපාසිකා සංඝං භින්දති. අපිච භේදාය පරක්කමති. භික්ඛු ඛෝ උපාලි පකතත්තෝ සමානසංවාසකෝ සමානසීමායං ඨිතෝ සංඝං භින්දේති.”
උපාලිය භික්ෂුණිය සංඝයා නොබිඳියි. එසේ වුයේද සංඝභේදයට උත්සහ කෙරෙයි. සික්ඛාමානාව සංඝයා නොබිඳියි. එසේ වුයේද සංඝභේදයට උත්සහ කෙරෙයි. සාමණේරයා සංඝයා නොබිඳියි. එසේ වුයේද සංඝභේදයට උත්සහ කෙරෙයි. සාමණේරිය සංඝයා නොබිඳියි. එසේ වුයේද සංඝභේදයට උත්සහ කෙරෙයි. උපාසකයා සංඝයා නොබිඳියි. එසේ වුයේද සංඝභේදයට උත්සහ කෙරෙයි. උපාසිකාව සංඝයා නොබිඳියි. එසේ වුයේද සංඝභේදයට උත්සහ කෙරෙයි. උපාලිය සමාන සංවාසක වූ සමාන සීමාවක සිටියා වූ ප්‍රකෘති භික්‍ෂුව සංඝයා බිඳින්නේ වෙයි.

“ඉධූපාලි භික්ඛු අධම්මං ධම්මෝති දීපෙන්ති. ධම්මං අධම්මෝති දීපෙන්ති. අවිනයං විනයෝති දීපෙන්ති. විනයං අවිනයෝති දීපෙන්ති. අභාසිතං අලපිතං තථාගතේන භාසිතං ලපිතං තථාගතේනාති දීපෙන්ති. භාසිතං ලපිතං තථාගතේන අභාසිතං අලපිතං තථාගතේනාති දීපෙන්ති. අනාචිණ්ණං තථාගතේන ආචිණ්ණං තථාගතේනාති දීපෙන්ති. ආචිණ්ණං තථාගතේන අනාචිණ්ණං තථාගතේනාති දීපෙන්ති. අපඤ්ඤත්තං තථාගතේන පඤ්ඤත්තං තථාගතේනාති දීපෙන්ති. පඤ්ඤත්තං තථාගතේන අපඤ්ඤත්තං තථාගතේනාති දීපෙන්ති. අනාපත්තිං ආපත්තීති දීපෙන්ති. ආපත්තිං අනාපත්තීති දීපෙන්ති. ලහුකං ආපත්තිං ගරුකා ආපත්තීති දීපෙන්ති. ගරුකං ආපත්තිං ලහුකා ආපත්තීති දීපෙන්ති. සාවසේසං ආපත්තිං අනවසේසා ආපත්තීති දීපෙන්ති. අනවසේසං ආපත්තිං සාවසේසා ආපත්තීති දීපෙන්ති. දුට්ඨුල්ලං ආපත්තිං අදුට්ඨුල්ලා ආපත්තීති දීපෙන්ති. අදුට්ඨුල්ලං ආපත්තිං දුට්ඨුල්ලා ආපත්තීති දීපෙන්ති. තේ ඉමේහි අට්ඨාරසහි වත්ථූහි අපකස්සන්ති, විපකස්සන්ති, ආවේණිං උපෝසථං කරොන්ති, ආවේණිං පවාරණං කරොන්ති, ආවේණිං සංඝකම්මං කරොන්ති. එත්තාවතා ඛෝ උපාලි සංඝෝ භින්නෝ හෝති.”
උපාලිය මෙසස්නෙහි භික්‍ෂුව අධර්මය ධර්මය යැයි දක්වයි. ධර්මය අධර්මය යැයි දක්වයි. අවිනය විනය යැයි දක්වයි. විනය අවිනය යැයි දක්වයි. තථාගත අභාසිතය අලපිතය, තථාගත භාසිතය ලපිතය යැයි දක්වයි. තථාගත භාසිතය ලපිතය, තථාගත අභාසිතය අලපිතය යැයි දක්වයි. තථාගත  අනාචිණ්ණය, තථාගත ආචිණ්ණය යැයි දක්වයි. තථාගත ආචිණ්ණය, තථාගත අනාචිණ්ණය යැයි දක්වයි. තථාගත අපඤ්ඤත්තය, තථාගත පඤ්ඤත්තය යැයි දක්වයි. තථාගත පඤ්ඤත්තය, තථාගත  අපඤ්ඤත්තය යැයි දක්වයි. අනාපත්තිය ආපත්තිය යැයි දක්වයි. ආපත්තිය අනාපත්තිය යැයි දක්වයි. ලහුක ආපත්තිය ගරුක ආපත්තිය යැයි දක්වයි. ගරුක ආපත්තිය ලහුක ආපත්තිය යැයි දක්වයි. සාවසේස ආපත්තිය අනවසේස ආපත්තිය යැයි දක්වයි. අනවසේස ආපත්තිය සාවසේස ආපත්තිය යැයි දක්වයි. දුට්ඨුල්ල ආපත්තිය අදුට්ඨුල්ල ආපත්තිය යැයි දක්වයි. අදුට්ඨුල්ල ආපත්තිය දුට්ඨුල්ල ආපත්තිය යැයි දක්වයි. ඔවුන් මේ වස්තු දහඅටෙන් සංඝයා ආපසු අදින්නේ වෙයි. දැඩිසේ ආපසු අදින්නේ වෙයි. වෙන්ව (ඔවුනට පමණක් ආවේනික ව) උපෝසථය කරයි. වෙන්ව පවාරණය කරයි. වෙන්ව සංඝකර්ම කරයි. උපාලිය මෙපමණකින් සංඝයා බිඳුනේ වෙයි. (චුල්ලවග්ග පාලි, සංඝභේදක්ඛන්ධකය.)

 මෙහි පැහැදිලිවම “භික්ඛු ඛෝ උපාලි පකතත්තෝ සමානසංවාසකෝ සමානසීමායං ඨිතෝ සංඝං භින්දේති.” යනුවෙන් දැක්වෙන බැවින් යම් ගිහියකු හෝ පැවිද්දකු හෝ අධර්මයට එදිරිවන සිතින් කරුණු දැක්වීම සිදු කලද ඒ නිසා වාද හටගත්තේ ද සංඝභේදය සිදු නොවන බව දත යුතුය. එනමුත් යම් අධර්ම ක්‍රියාවක් සිදුවන කල ගැටීමෙන් තොරව එය දුරු කිරීමට කටයුතු කල යුතුය. එය තමාට අනුනට මෙලොව පරලොව යහපත පිණිස මෙන්ම නිවන පිණිසද හේතු වේ.

එබැවින් මිත්‍යා දෘෂ්ටිකයන්ගේ මතයන්ට හසු නොවී විමසුම් නුවණින් කටයුතු කරන මෙන් සියලු දෙනාට කරුණාවෙන් මතක් කර සිටිමු. තෙරුවන් සරණයි...!!!

Monday, August 8, 2016

දහසක් වටිනා සඳුන් අරටු කුණු කොල්ලයට විකිණීම.



තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝසත් අවධියේදී විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට අසම සම පාරමිතා සපුරා බුද්ධත්වයට පත්වුයේ සකල ලෝ වැසි සියලු සත්වයන් කෙරෙහි පතලා වූ මහා කරුණාවෙනි. ඒ කරුණාවේ උපරිමයෙන් යුතුව ධර්මය දේශනා කරන සේක. එසේ ධර්මය දේශනා කරනු ලබන්නේ සත්වයා සසර දුකින් එතෙරවේවා යන අධ්‍යාශයෙන් යුතුවය. එසේ වූ ධර්මය අමිල වූ නිර්වාණය ශාක්ෂාත් කරන බැවින් අමිල වේ.

ඒ අමිල වූ ධර්මය අවභාවිතයේ යෙදවීම හෙවත් නිර්වාණය උදෙසා දේශනා කල ධර්මය ලෞකිකත්වය උදෙසා භාවිතා කිරීම පිලිබඳ උපමාවක් බුදුරජාණන්වහන්සේම සපයා ඇත. එය නම් මහා සුපින ජාතකයෙහි දැක්වෙන දහසක් වටිනා සඳුන් අරටුව කුණුමෝරු වලට විකිණීමයි.

සඳුන් ඉතා අගනේය. ඉතා සුවඳවත්ය. දුර්ලභය. බොහෝ රෝගයන්ට ගුණ දෙන දිව ඔසුවකි. එබැවින්ම මහෝෂධ පණ්ඩිතයන් උපදින කල්හි සක්දෙවි රජු අතෙහි සඳුන් ගැටයක් තැබීමෙන් පැහැදිලි වේ. කෙසේ නමුත් එබඳු උතුම් වස්තුවක් කුණුමෝරු (පිළුණු වූ දියකරගත් මිදුණු කිරි) විකිණීම මහත් අලාභයකි. මුග්ධ ක්‍රියාවකි.එනමුත් එබන්දක් වත්මනෙහි සිදුවෙමින් පවතී.

බුද්ධ දේශනාව ඇත්තේ සසර දුකින් එතෙරවීමටය. මලගිය උන් සැනසීමට නොවේය. එනමුත් අද ව්‍යාපාරික මාධ්‍ය ආයතන (රේඩියෝ ටීවී කඩකාරයන්) ධර්මය අමු අමුවේ විකුණාගෙන කමින් සිටියි. අහවලාගේ මලගිය උන්ට පින් තකා ධර්ම දේශනාව ප්‍රචාරය කරවනවාය, අහවලාගේ අපල දුරුවීමට බණ කියවනවාය, අහවලාගේ අහවල් කටයුත්ත සාර්ථක වීමට බණ කියවනවාය ..... යනාදී ලෙස විවිධ විවිධ අරමුණු ඔස්සේ බණ කියවන්නේය.

ධර්ම ප්‍රචාරය උතුම්ය. නමුත් අරමුණ සලකා බැලිය යුතුය.

අද බොහෝ ධර්ම දේශනා පවත්වන්නේ ඉහත අරමුණ ඔස්සේය. එසේම එකී ධර්ම දේශනා පවත්වන දේශකයාණන් වහන්සේලා ද බණ කියන්නේ ගිහියා සැනසීමටය. ඛේදවාචකය එයම වේ. එකී ඉල්ලුම අනුව සැපයුම ක්‍රියාවලිය ඔස්සේ යමින් ලෞකිකත්වය උදෙසා බණ කියනවා මිසෙක ධර්ම ස්වාමි වූ බුදුරජාණන්වහන්සේගේ ආධ්‍යාශය මුදුන් පමුණුවා ගැනීමට වෙහෙසීමක් නැත. ධර්ම චක්‍රය අනුපැවත්වීමක් නැත.

නිර්වාණය නම් උතුම් අරමුණ ඉවත දමා ලෞකිකත්වය නම් වූ හීන ග්‍රාමය පෘතජ්ජනික අනාර්ය කටයුතු උදෙසා දහසක් වටිනා සඳුන් අරටු කුණුමෝරු වලට විකුණාගෙන කන රටකට කෙසේනම් යහපතක් වන්නේද?

Saturday, August 6, 2016

දුක්ඛාර්ය සත්‍යය.







 


බුද්ධ දේශිත දුක්ඛාර්ය සත්‍යය තුල ප්‍රධාන ආකාර තුනක් විග්‍රහ වේ. ඒවා නම්

1.       දුක්ඛ දුක.
2.       විපරිනාම දුක.
3.       සංඛාර දුක.
යන ඒවා වේ. 

එහි දුක්ඛ දුක යනු කායික දුක හා මානසික (චෛතසික) දුක වේ. එනම් දුක්ඛ වේදනාවයි.

විපරිනාම යනු චිත්ත චෛතසික රූප ධර්මයෝ විපරිනාම අඤ්ඤතාභාවයට පත්වන කල්හි ඇතිවන පීඩාවයි.

සංඛාර දුක යනු ස්කන්ධ පරම්පරාවේ පැවතීම නොහොත් සසර පැවැත්ම නම් වූ පීඩාවයි. නොහොත් සංස්කාරයන් නිසා පෙලීමට ලක් වීමයි.

මෙසේ දුක් ත්‍රිත්වයක් එක් කොට දක්වන්නේ සියලුම දුක් එකම ප්‍රභවයකින් හට නොගන්නා බැවිනි. යම් යම් දුක් හටගැනීමේ හේතුව ඒ ඒ දුකට අනුරූප පරිදි වෙනස් වේ. උදාහරණයකට කායික දුක හටගැනීමේ හේතුව මානසික දුක හටගැනීමේ හේතුව නොවන්නේය. කිමද යත් කායික දුක භූතරූප ප්‍රත්‍ය කර පවතින අතර මානසික දුක ප්‍රියවස්තු ප්‍රත්‍ය කර පවතින බැවිනි.

මෙසේ ඒ ඒ දුක හටගැනීමේ හේතුව ඒ ඒ ආකාර වන බැවින් දුක්ඛාර්ය සත්‍යය ප්‍රධාන කොටස් තුනක එකතුවකින් දක්වයි.

එහි දුක්ඛ දුක යටතේ ඇති සෝකපරිදේව දෝමනස්ස උපායාස හුදෙක් ප්‍රිය වස්තු නිසාවෙන්ම හටගනී. අනෙකකින් හට නොගනී. කායික දුක්ඛය ප්‍රිය වස්තු නිසාද අනෙකක් නිසාද හටගන්නේ වෙයි.
විපරිනාම දුක විපරිනාමය නිසා හටගන්නේ වෙයි. විපරිනාමය යනු චිත්ත චෛතසික රූප ධර්මයෝ අනිත්‍යතාවයට ලක් වීමයි. ස්ථිරව නොපැවතීමයි. වෙනස් වීමයි. 

මෙසේ චිත්ත චෛතසික රූප ධර්මයෝ විපරිනාම අඤ්ඤතාභාවයට පත්වන බැවින්ම සියලු දුක් හටගනී. ජාති ජරා ව්‍යාධි මරණ දුක් සේම සෝක පරිදේවදුක්ඛ දෝමනස්සඋපායාස යන සියලුම දුක්ඛයෝ අනිත්‍යතාවය නිසා හටගනී. අනිත්‍ය නොවන්නේ නම් දුකක් නොමැත. ඒ මෙසේයි.

ජාතිය යනු මරණය ප්‍රත්‍ය කොට පවතින්නකි. මරණයක නොමැත්තේ නම් ජාතියක් නොමැත. මරණය සිදුවන්නේ අනිත්‍ය බැවිනි. ඒ අනිත්‍යතාවය හේතුවෙන් ජාතිය හටගනී. ජාතිය අනිත්‍ය බැවින් මරණය ඇහැට ගනී. ජාතිය අනිත්‍ය නොවුනේ නම් මරණයක් නොමැත. එසේම නාම රූප ධර්මයෝ අනිත්‍ය බැවින් ජරා ව්‍යාධි ධර්මතවයෝ හට ගනී. මෙසේ ඒ දුක් අනිත්‍යතාවය නිසාම හටගනී. අනිත්‍ය නොවන්නේ නම් නිත්‍ය වන්නේ නම් ජාති ජරා ව්‍යාධි මරණ හට නොගනී.

එකී දුක් නියතවේ. එනමුත් සෝකපරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස නියත නොවේ. අනියත වේ.
කිමද යත් සෝකපරිදේවයෝ හටගන්නේ ප්‍රිය වස්තු නිසාවෙනි. ප්‍රිය වස්තු නොමැත්තේ නම් සෝකපරිදේව නොමැත. චතුර්ථ ධ්‍යාන ලාභී උතුමනට මෙනි. චතුර්ථ ධ්‍යාන ලාභී උතුමනට ඇත්තේ උපේක්ෂාව පමණකි. එබැවින් ප්‍රිය වස්තු නොමැත. ප්‍රිය වස්තු නොමැති බැවින් දුක් දොම්නස් නොමැත.

මෙහිදී වටහාගත යුතු විශේෂ කරුණක් ඇත. එනම් කැමති සේ නොපවතින බැවින් දුකයි යනුවෙන් මිත්‍යා මත පතුරවන්නවුන් පටලවාගත් කරුණ මෙය වේ. ඔවුන් සිතන්නේ දුක්ඛාර්ය සත්‍යයෙහි දක්වන්නේ දුක් දොම්නස් පමණක් බවයි. සෙසු විපරිනාම සංඛාර දුක් පිලිබඳ ඔවුනට වැටහීමක් නොමැත. ඒ නොදැනුවත් කම පිලිබඳ අනුකම්පා කරමු. එනමුත් වරද වරදමය. 

ඒ ඔවුන් දුක්ඛාර්ය සත්‍ය යනු දුක් දොම්නස්ය. දුක් දොම්නස් හටගන්නේ ප්‍රිය වස්තු නිසාවෙන්ය. එබැවින් දුක්ඛාර්ය සත්‍යය හටගන්නේ ප්‍රිය වස්තු නිසාය යැයි මුලාවක වැටී ලෝකයාද මුලා කරමින් සිටියි. එනමුත් ඔවුනට නොවැටහෙන කරුණ නම් ප්‍රිය වස්තු වලින් දුක හටගන්නේද ඒවා අනිත්‍ය බැවින් යන සරල අර්ථයයි. ප්‍රිය වස්තුද නිත්‍ය වන්නේ නම් එයින් දුකක් හටගන්නේ කෙසේද? නොවන්නේමය. ඒ සරලාර්ථය වටහාගැනීමට නුවණක් නැත්තෝ දුක්ඛාර්ය සත්‍යය අර්ථ දක්වනවා යන්න හාස්‍යයට කරුණක් පමණකි.
එසේම දත යුතු අනෙක් කරුණ නම් සංඛාර දුකයි. සංඛාර දුක යනු සංස්කාර හෙවත් පංච උපාදානස්කන්ධය පැවතීම නිසා පවතින දුකයි. 

සියලු සංස්කාරයෝ අනිත්‍ය බැවින් දුක හට ගනී. එසේම අනිත්‍යතාවයට පත්වන සංස්ඛාර පැවතීම යනු සියලු දුක්වල මූලයයි. සංස්ඛාර නොමැති නම් අනිත්‍ය වන්නේ නැත. අනිත්‍ය නොවන්නේ නම් දුක නොමැත. එබැවින් දුක පවතින්නේ සංස්ඛාර පවතින බැවිනි. එයම “සංඛිත්තේන පංචුපාදානක්ඛන්ධා දුක්ඛා” යනුවෙන් දේශනා කර ඇත.

එබැවින් නුවණ මෙහෙයවා විමසා බලන කල වැටහෙන කරුණ නම් සියලු දුක් හටගන්නේ සංඛාර පවතින බැවින් හා ඒවා අනිත්‍ය වන බැවිනි. ඒ අනිත්‍ය වන ධර්මයන් කෙරෙහි ප්‍රිය භාවය ඇතිකර ගන්නේ නම් සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාස හටගනී. ප්‍රිය භාවය නොමැති නම් දුක්  දොම්නස් නොමැත. එයම වර්ධනය කරගැනීමෙන් ස්කන්ධ පරම්පරාව සිඳී සංඛාර අහෝසි වීම නිර්වාණයයි. සීලය තුල පිහිටා ස්වකීය නාම රූප සංඛ්‍යාත පංචඋපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනත්ත යන ත්‍රිලක්ෂණයෙහි බහා බැලීම නම් වූ විදර්ශනාව නිවනට මයි. එහිලා සියලු සත්වයෝ අප්‍රමාදී වෙත්වා...!!!