Saturday, September 3, 2016

ආනාපානසතිය


සියල්ලෝම දන්නා පරිදි, ධර්මයෙහි විස්තර වන පරිදි ආනාපානසතිය කල යුත්තේ ආශ්වාස ප්‍රශ්වාස අනුව යමිනි. එනමුත් අද ඊයේ පහළවුණු රහත් යැයි කියාගන්නා කිහිපදෙනෙකු එකී ධර්මය විකෘති කරමින් අලුත් බණක් දෙසන්නේය. ඒ ඔවුන් පවසන පරිදි ආනාපානසතියෙහි අස්සාස පස්සාස යනු ආශ්වාස ප්‍රශ්වාස නොව අනෙකකි. ඒ පිලිබඳ ඔවුන් විවිධ කාරණා ගෙනහැර පාන්නේ වෙයි. එම කාරණා ධර්මානුකූලව විග්‍රහ කර බැලිය යුතුය.

ආනාපානසතියෙහි අස්සාස පස්සාස යනු ආශ්වාස ප්‍රශ්වාස නොවන්නේ නම් ආන අපාන යනු ද වෙනස් අර්ථ විය යුතුය. එනමුත් ආන අපාන යනු ආශ්වාස ප්‍රශ්වාස යන අර්ථ දෙන වදන් දෙකකි. එබැවින් ආරම්භයේ පටන් අර්ථය හුස්ම රැල්ල හා බැඳී පවතී.

තවද ආනාපානසතිය ආශ්වාස ප්‍රශ්වාස සමග සිදු නොකරන්නක් බව පවසන පුද්ගලයෝ පවසන කරුණක් නම් සතරමහා භූත රූප අරමුණු කර භාවනා කිරීමක් බුද්ධ දේශනාවේ නොමැති බවයි. එය නම් සංවේගයට කරුණක් පමණකි. කිමද යත් බුද්ධ දේශනාවේ පැහැදිලිවම චතු ධාතු ව්‍යවස්ථාන කර්මස්ථානය දක්වන බැවිනි. ඒ මෙසේයි.

“පුන ච පරං භික්ඛවේ භික්ඛු ඉමමේව කායං යථාඨිතං යථාපණිහිතං ධාතුසෝ පච්චවෙක්ඛති. අත්ථි ඉමස්මිං කායේ පඨවිධාතු ආපෝධාතු තේජෝධාතු වායෝධාතූ’ති.”(මහා සතිපට්ඨාන සුත්‍රය)
තව ද මහණෙනි භික්‍ෂුව මේ කය සිටි පරිදිම පිහිටි පරිදිම ධාතු වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කරයි. මේ කයෙහි පඨවිධාතු ඇත. ආපෝධාතු, වායෝධාතු, තේජෝධාතු ඇත යනුවෙනි.

එසේම අංගුත්තර නිකායේ දසක නිපාතයෙහි මහවග්ගයයෙහි කසිණ සුත්‍රය තුල දස කසිණ කර්මස්ථාන දක්වා ඇත. එහි පඨවි ආපෝ තේජෝ වායෝ මෙන්ම නීල පීත ලෝහිත ඕදාත ආකාස විඤ්ඤාණ යන කසිණ දසය මනාව දක්වා තිබේ.
ඉදින් යමෙකු සතර මහා ධාතු අරමුණු කර භාවනා කිරීමක් බුද්ධ දේශනාවෙහි නැත යනුවෙන් පවසන්නේ නම් ඔහු මුග්දයෙකු පමණකි.

තවද නෙත්තිප්පකරණයෙහි පාඨයක් උපුටා ගනිමින් සුරංගනා කතාවක් ගොතමින් සිටිනු පෙනෙයි. එය නම්,

“න ච පඨවිං නිස්සාය ඣායතී ඣායී ඣායති ච, න ච ආපං නිස්සාය ඣායතී ඣායී ඣායති ච, න ච තේජං නිස්සාය ඣායතී ඣායී ඣායති ච, න ච වායුං නිස්සාය ඣායතී ඣායී ඣායති ච -පෙ- න ච ඉමං ලෝකං නිස්සාය න ච පරං ලෝකං නිස්සාය ඣායතී ඣායී ඣායති ච”

පඨවිය නිසා ධ්‍යාන නොකරෙයි. එනමුත් ධ්‍යාන කෙරෙයි. ආපෝ නිසා ධ්‍යාන නොකරෙයි. එනමුත් ධ්‍යාන කෙරෙයි. තේජෝ නිසා ධ්‍යාන නොකරෙයි. එනමුත් ධ්‍යාන කෙරෙයි. වායෝ නිසා ධ්‍යාන නොකරෙයි. එනමුත් ධ්‍යාන කෙරෙයි.
එහි අටුවා අර්ථ මෙසේය.

“න ච පඨවිං නිස්සායා’ති පඨවිං විසය සංඛාතං නිස්සයං කත්වා පඨවිං ආලම්භිත්වාති අත්ථෝ. ඣායීති ඵලසමාපත්තිඣානේන ඣායී. සෝ හි සබ්බසංඛාරනිස්සටං නිබ්බාණං ආලම්බිත්වා සමාපජ්ජනවසේන ඣායති.”
න ච පඨවිං නිස්සාය යනු පඨවිය සංඛ්‍යාත විෂය නිශ්‍රය කොට පඨවිය ආලම්භනය කොට යන අර්ථයි. ඣායී යනු ඵලසමාපත්ති ධ්‍යානයෙන් ධ්‍යාන කෙරෙයි. හෙතෙම සියලු සංස්කාර අත්හල නිර්වාණය අරමුණු කොට සමවතට සමවැදීම් වශයෙන් ධ්‍යාන කෙරෙයි.

ඒ අනුව පෙනෙන්නේ පඨවි ආදී සංඛත ධර්ම අරමුණු නොකොට ධ්‍යාන කිරීම නම් පල සමවතට සමවැදීම බවයි. එයද නිවැරදි බව ධාතුමනසිකාර කසිණ ආදී කර්මස්ථාන විග්‍රහ කරන කල පෙනෙන්නේ වෙයි. එය වැරදි ලෙස අර්ථ වටහා ගැනීම ගැන අනුකම්පා කල යුතුය.

පසුව ඒ ඔවුන් අස්සාස පස්සාස යන වචන අර්ථ දක්වමින් හුස්ම ගැනීම හා පිටකිරීම යන ක්‍රියාදෙක හැඳින්වීමට ආශ්වාස ප්‍රාශ්වාස යොදාගන්නා නිසා ආශ්වාස යනු ඇසුරු කිරීමත් ප්‍රාශ්වාස යනු පහ කිරීමත් ලෙසින් අර්ථ දක්වයි. එයම අනුව අකුසල පස්සාස කල යුතු බවත් කුසල් අස්සාස කල යුතු බවත් පවසයි.
එය මදකට එසේම තබමු. තබා ඔවුන් පවසන අනෙක් කරුණක් දෙස විමසා සිටිමු.

“අස්සාසප්පත්තෝ අස්සාසප්පත්තෝ’ති ආවුසෝ සාරිපුත්ත වුච්චති. කිත්තාවතා නු ඛෝ ආවුසෝ සාරිපුත්ත අස්සාසප්පත්තෝ හෝතී’ති.” (සං.නි, අනමතග්ග සංයුක්තය)
ඇවැත්නි සාරිපුත්තය අස්වැසීමට පත්වූයේය, අස්වැසීමට පත්වූයේය යැයි කියනු ලැබෙයි. ඇවැත්නි සාරිපුත්තයෙනි කොපමණකින් අස්වැසීමට පත් වුනේ වෙයි ද?

එපමණක් නොව තවද එවැනි සුත්‍ර ගෙනහැර දක්වමින් අස්වැසීම යන අර්ථය ප්‍රකට කරමින් කරුණු දක්වයි. ඒ සඳහා සංයුක්ත නිකායේ අනමතග්ග සංයුක්තයෙහිම පරමඅස්සාසප්පත්ත සුත්‍රය, /සං. නි, අභිසමය සංයුක්තය, කළාර සුත්‍රය, / අංගුත්තර නිකායේ තික නිපාතයේ කාලාම සුත්‍රය, / අං.නි, ඡක්ක නිපාතයේ නාග සුත්‍රය ආදී සුත්‍ර යොදාගනු ලබයි.

ඒ ඔවුන්ගේ උදාහරණ සැපැයීම මගින් ඔවුන්ගේම තර්කය බිඳෙන සුන්දරත්වය දෙස නොබලා සිටින්නේ කෙසේද?

ඔවුන් අස්සාස යනු ආශ්වාස නොවේ යැයි පවසමින් අස්සාසප්පත්ත යන්න උපුටා ගෙන අස්සාස යනු අස්වැසීම යැයි පවසයි. එනමුත් එහිදී ඔවුන්ම පවසන ඇසුරු කිරීම යන්න පෙන්විය නොහැකි වී තිබේ. ඔවුන් පවසන පරිදි අස්සාසප්පත්ත යන පාඨය නිසාවෙන් අස්සාස යන්නට අස්වැසීම යන අර්ථය පමණක් තිබිය යුතුය. ඒ අනුව ආනාපනසතියෙහි සතෝව අස්සසති යන තැන සිහියෙන් අස්වැසීමට පැමිණේ යන්නෙන් අර්ථ නැංවිය යුතුය. එනමුත් ඔවුන් එතැනදී අස්වැසීම යන අර්ථය හලා දමා ඇසුරු කිරීම යන අර්ථය ගෙනහැර දක්වයි. එමගින් ප්‍රකට වන්නේ ඔවුනට පවසාගත යුතු වූ අර්ථය ඔවුන්ම කඩා දැමු බවයි.

ඒ නිරුක්ති ඔවුනටම වේවා.

අස්සාස යන්නෙහි අර්ථ දෙකකි. ආශ්වාසය හා අස්වැසීම යන දෙකයි. එහිදී ආනාපානසතියෙහි අස්සාස යනු අස්වැසීම නොව අශ්වාසයයි. අස්සාසප්පත්ත ආදී සුත්‍ර තුල අස්සාස යනු අසවසීමයි. එනම් නිවනයි.

එසේ අර්ථ දෙකක් තිබීම ගැටලුවක් නොවේ. එසේ අර්ථ කිහිපයක් ඇති වචන තවද පෙල දහම තුල ඇති බැවිනි.

උදා:-
පාවුස - වස්සාන කාලය, ලූලා.
පිටක - පර්යාප්ති ධර්මය, භාජනය.
මක්ඛ - ගුණමකු කම, රැස් කිරීම.

මෙසේ තවද අර්ථ දැක්විය හැකිය.

එබැවින් වටහාගත යුතු කරුණ වන්නේ අස්සාස යන්න අස්වැසීම යන අර්ථයෙන් යම් තැනක තිබුණේද එය සෑම තැනකටම යෙදිය යුතු යැයි නියතයක් නැත. ආශ්වාස අර්ථය ද එසේමය.

තවද අග්ග කියන පදයත් වරදවා ගෙන විකෘතියක් දැක්වීම සිදු කරනු පෙනේ. එනම් අනමතග්ග යනු න අමත අග්ග යනුවෙන් විකෘති ලෙස විසන්ධි කර අර්ථ ගැනීම මගින්. එතැනදී ඔවුන් පවසන අර්ථය නම් පටිච්චසමුප්පාදය කෙළවර නිවන නැහැ කියන අර්ථයයි. එනම් පටිච්චසමුප්පාදඅග නිවන වෙනුවට ඇත්තේ දුක යැයි ඔවුන් පවසයි. කෙසේ නමුත් ඔවුන් මෙතැනදී අග්ග යනුවෙන් හඳුන්වන්නේ අග, කෙළවර යන්නයි.

ඒ ඔවුන් එතැනදී අග කියන අර්ථය ගෙන පසුව නාසිකාග්ග යන තැනදී අර්ථය විකෘති කිරීම මෙසේ සිදු කරයි. නාසිකාග්ග = නු ආසිතු අග්ග.
මේ විදිහට අර්ථ ගන්වනවා කියන්නේ විහිළුවක්. මේකට ප්‍රධාන හේතුව ව්‍යාකරණ නොදන්නා කම.

කෙසේ නමුත් ඔවුන් මෙතනදී පවසන්නේ ලෝකය ප්‍රිය මධුර වශයෙන් අග්‍ර කර නොගෙන නිවන අරමුණු කර භාවනා කල යුතුයි කියන කාරණාවයි.

එහිදීත් පෙර ගත් අග කියන අර්ථය අතහැර අග්‍ර කියන අර්ථයට පැමිණීම තුලින් ඔවුන් පැවසීමට උත්සහ කරන අර්ථය ඔවුන්ම යටපත් කිරීම සිදු කරයි. ඉදින් අනමතග්ග යන තැන අග්ග යනු අග නම් නාසිකාග්ග යන තැනද අග්ග විය යුතුය. ඒ මෙසේයි.

අනමතග්ග යන්න විසන්ධි කල යුත්තේ අනු + අ + මත + අග්ග = අනමතග්ග යනුවෙන්. එහි අර්ථය නම් අනවරාග්‍ර නොහොත් කෙළවරක් නැති, අගක් නැති අර්ථයයි.

මෙසේ ඔවුන් තම ප්‍රකාශයන්ටම ප්‍රතිවිරුද්ධ මත ප්‍රකාශ කරමින් ආනාපානසතිය යනු ආශ්වාස ප්‍රශ්වාස ඇසුරු කර කරනු ලබන භාවනාවක් නොවන බව පැවසීමට මහත් වෙහෙසක් ගනු ලබයි. එනමුත් එය ඔවුන් විසින්ම නිෂ්ප්‍රභා කරන ලද බව ලිපිය අවධානයෙන් බලන්නකුට වැටහෙනු ඇතැයි සිතේ.

එසේම ආනාපානසතිය යනු ආශ්වාස ප්‍රශ්වාස අරමුණු කර නිමිති උපදවා එය භාවිතා කොට බහුලීකත කොට එමගින් නීවරණ දුරු කර සමත ලෙස ධ්‍යාන ද විදර්ශනා ලෙස නිවන ද ලැබිය හැක්කක් බව නොබියව බුද්ධ ආඥාවෙන් බල ගන්වා පවසා සිටිමු. සියල්ලෝම නුවණින් විමසත්වා. තෙරුවන් සරණයි...!!!