තථාගත සම්මා
සම්බුදුරජාණන් වහන්සේ සියලු සත්වයන් කෙරෙහි පතලා වූ මහා කරුණාවෙන් යුතුව ලෝ වැසියා
දුකින් එතෙර කරවනු වස් අකුරු අටකින් හා පද තුනකින් යුතු ධර්මයක් දේශනා කරන සේක. එය
ත්‍රිලක්ෂණය නම් වේ. එකී ත්‍රිලක්ෂණයෙන් දක්වනුයේ සංඛත ධර්මයන්ගේ යථාවයි. එනම්
අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය යන ලක්ෂණ තුනයි.
ඒ දේශනාව
බුද්ධ කාලයේ පටන් මේ වනතුරු නිර්මලව පැවතින. ඒ ධර්මය අනුව පිළිපදින ලද අනන්ත
අපරිමාණ සත්වයෝ සසරින් එතෙර විය. අදටද එතෙර වන්නාහුය.
එනමුත් අද
ඊයේ පහළවුණු අක්මුල් සිඳුණු ඇතැමෙක් “ත්‍රිලක්ෂණය යනු අනිත්‍ය දුක්ඛ අනත්ත නොවේ.
කැමති සේ නොපවත්නා භාවය වේ.”යැයි අමුතු බණක් දෙසනු පෙනෙයි. ඔවුනට අනුව අටුවාචාරින්
වහන්සේ හිතා මතා ත්‍රිලක්ෂණය විකෘති කොට ඇත. ධර්මය බමුණු මත වලින් වසා දමා ඇත. ලාභ
ලෝභ වෙනුවෙන් විකෘති කොට ඇත.
එකී නවතම
සොයාගැනීම පිළිපදින්නා වූ බොහෝ ගිහියන් මගපල ලාභීන් වී ඇත. ධර්මයෙහි සැනසිල්ල
විදිමින් කම්සුව විඳින්නෝ වී ඇත.
කම් නැත.
කිසිවකු හෝ නිවන් දක්නේ නම් සාධු කියා අනුමෝදන් වන්නෙමු. එනමුත් නිර්මල ධර්මය
විකෘති කිරීම වනාහි අධම ක්‍රියාවකි. එබැවින් මෙසේ පවසමු. සාධු සිතින් විමසත්වා.
“යදනිච්චං තං දුක්ඛං යං දුක්ඛං තදනත්තා යදනත්තං තං
නේතං මම නේසෝ හමස්මි නමෙසෝ අත්තා”
(යං අනිච්චං
තං දුක්ඛං, යං දුක්ඛං තං අනත්තා, යං අනත්තං තං න ඒතං මම, න ඒසෝ අහං අස්මි, න ඒසෝ
මේ අත්තා )
යමක් අනිත්‍ය
වන්නේ නම් එය දුක්ඛ වන්නේය.
යමක් දුක්ඛ වන්නේ නම් එය අනාත්ම වන්නේය. යමක් අනාත්ම වන්නේ නම් එය මගේ නොවේය. මම නොවෙමි.
එය මාගේ ආත්මය නොවන්නේය.
කුමක් අනිත්‍ය
වන්නනේද? කුමක් දුක්ඛ වන්නේද? කුමක්
අනාත්ම වන්නේද?
සබ්බේ
සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්ඛා, සබ්බේ ධම්මා අනත්තා - සියලු සංස්කාරයෝ අනිත්‍යයෝය, සියලු සංස්කාරයෝ
දුක්ඛයෝය, සියලු ධර්මයෝ අනාත්මයෝය.
එහි සියලු සංස්කාරයෝ යනු පංච උපාදනස්ඛන්ධයයි. සියලු
ධර්මයෝ යනු චිත්ත චෛතසික රූප ප්‍රධාන සියලු ධර්මතාවෝය.
මෙහිදී පළමු
කොටම අනිත්‍ය දුක්ඛ අනත්ත යන ධර්මතාවන් යනු කවරේද යැයි අවබෝධ කරගෙන සිටිය යුතුය.කුමක් හෙයින්ද යත් ත්‍රිලක්ෂණය වරදවා ගත හොත් නිර්වාණයද
අතහැරි යන බැවිනි.එබැවින් ත්‍රිලක්ෂණය විමසා සිටිමු.
අනිච්ච-අනිත්‍ය.
අනිච්ච යනු
අනිත්‍යතාවය නොහොත් වෙනස්වන ස්වභාවය ඇතිව නැතිව යන ස්වාභාවය කැඩෙන බිදෙන ස්වාභාවය
පලුදුවන ස්වාභාවය නිත්‍ය නොවන ස්වාභාවය වේ.
අනිච්ච යනු අනිච්ඡ
නොවන බව පසුව පෙන්වා දෙන්නෙමු.
දුක්ඛ -පීඩාව.
දුක්ඛ යනු
දුක නොවේ. සෝක පරිදේවද නොවේ. වේදනාවද නොවේ. දුක්ඛ යනු
පිඩාවයි. එනම් සංස්කාරයන් පැවතීම යනු ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපයාසයන්
පැවතීමයි. ඒවා පැවතීම යනු විදීමක් නොවේය. එනමුත් පිඩාවක් එහි ඇත. එබැවින් දුක්ඛාර්ය
සත්‍යයෙහි පීඩාව ගෙන දෙන්නේ යන අර්ථයෙන් සංඛිත්තේන පන්චුපාදක්ඛන්දා දුක්ඛ යනුවෙන්
දක්වනු ලබයි.
අනත්ත - අනාත්මතාවය,
හරයක් නොමැති ස්වාභාවය,
වසගයේ පැවතිය නොහැකි ස්වාභාවය.
අනත්තය යනු
සංස්කාරයන්ගේ හරයක් නොමැති ස්වභාවයත් පංච උපාදාන්ස්ඛන්ධය තුල සත්වයෙක් පුද්ගලයෙක්
නොමැති ස්වභාවයත් කසිදු ධර්මතාවයක් වසගයේ පැවැත්විය නොමැති ස්වභාවයත් වේ.
ත්‍රිලක්ෂණය
මෙසේ දත යුතුය. එය තවදුරටත් විමසා බලමු.
පංච
උපාදාන්ස්ඛන්ධය අනිත්‍ය වන්නේ කෙසේද යත්?
රූප, වේදනා
සඤ්ඤා සංඛාර විඤ්ඤාණ ස්ථිර ස්වාභාවයකින් පවතින්නේ නැති බැවිනි. එසේම ඒවා
නිරන්තරයෙන්ම වෙනස් ස්වභාවයන්ට පත් වේ. තවද චිත්ත චෛතසික රූපයෝ ක්ෂණයක් ක්ෂණයක්
පාසා ඇතිව නැතිව යන බැවිනි.
දුක්ඛ වන්නේ
කෙස්ද යත්?
පංච
උපාදානස්කන්ධය නිසා ජරාමරණ ආදී පිඩාවන්ට පත්වන බැවිනි. එනම් ජරාමරණ හටගන්නේ පංච උපාදනස්ක්න්ධය
තුලයි. ඉන් පරිබාහිරව නොවේ. නොඑසේනම් පංච උපාදානස්කන්ධයක් නැති තැනක ජරාමරණයක් නැත.
ජරාමරණ නැති තැනක පංච උපාදනස්කන්ධයද නැත. ඒ අනුව ජරාමරණයෝ පංච උපාදානස්කන්ධය
තුලින්ම හටගන්නෝය. එබැවින් පංච උපාදානස්කන්ධය පැවතීම ජරාමරණයන්ගේ පැවතීමයි. එනම්
පංච උපාදානස්කන්ධයේ පැවතීම යනු දුකෙහි පැවතීමයි. ඒ අනුව පංච උපාදානස්කන්ධය යනු
දුකයි. නොහොත් පිඩාවයි.
පංච
උපාදානස්කන්ධය අනාත්ම වන්නේ කෙසේද යත්?
පංච
උපාදානස්කන්ධය හරසුන්ය. රූප හෝ වේදනා හෝ සඤ්ඤා හෝ සංස්කාර හෝ විඤ්ඤාණ හෝ මගින්
සදාකාලික සැනසීමක් ලැබෙන්නේ නැත. පංච උපාදානස්කන්ධය පවත්වාගනිමින් ජරාමරණ වලින්
මිදීමක් ලැබිය නොහැක. හරසුන් වූ ආස්වාදයන් සේම ආදීනව බහුල වූ ජරාමරණයන්ද හට ගන්නේ
පංච උපාදානස්කන්ධය තුලින්ම වේ. මේ අල්පාශ්වද ජනක බවත් ආදීනව බහුල බවත් හර සුන් බවේ
ප්‍රධාන ලක්ෂණයයි. හරවත් වූ නිර්වාණය ශාක්ෂාත් කරනු වස් පංච උපාදානස්කන්ධය
මුලිනුපුටා දැමිය යුතුය. යම්කිසි අයුරකින් යම්කිසි හෝ හරයක් ඒ තුල තිබේ නම් නිර්වාණ ශාක්ෂාත් කරනයේදී පංච
උපාදානස්කන්ධය මුලිනුපුටා දැමීමට සිදු නොවනු ඇත. එහි ලා හරයක් නොමැති බැවින්ම මුලුනුපුටා
දැමිය යුතු වේ.
පංච
උපාදානස්කන්ධය අනිත්‍යතාවයට දුක්ඛතාවයට ලක්වන කල එය පාලනය කල නොහැක. එනම් ජාරව නැවතිය නොහැක. මරණය නැවතිය නොහැක. ඒ නොහැකියාව යනු
වසගයේ පැවැත්විය නොහැකි භාවයයි.
පංච
උපාදානස්කන්ධය තුල භවයෙන් භවයට ගමන් ගන්න
වූ සදාකාලික ආත්ම භාවයක් හෝ විභව වශයෙන්
මේ භවයෙන් අනතුරුව කෙලවර වන්නා වූ තාවකාලික ආත්ම භාවයක් හෝ නැත. ඒවා සත්ව
පුද්ගලයෝද නොවේ. හුදෙක් හේතුන් නිසා හටගත් හේතු පැවතීම නිසා පවතින හේතු නැතිවීමෙන්
විනාස වී යන ධර්මයෝ පමණකි. එය අනාත්ම භාවයයි.
උදාහරණයක්
වශයෙන් ගන්නවානම් ඇස කුඩා කාලයේ පටන් මරණය දක්වා ක්‍රමක්‍රමයෙන් මේරීමට ලක් වෙමින්
දුබල තාවයට පත්වේ. ඒ මේරීමද දුබල වීමද යනු ඇසේ ජාරවයි. එනම් නිත්‍ය නොවන
ස්වාභාවයයි. වෙනස් වන ස්වභාවයයි. එසේම නිරෝගී වූ ඇසක් රෝගී බාවයටද පත් වෙයි. ඒ
රෝගී භාවය යනු ඇසෙහි තිබුනා වූ නිරෝගී රූප කලාප දුර්වල රූප කලාප බවට පත් වීමයි. එනම්
වෙනස්වීමයි. තවද පුද්ගලයා ජීවත්ව සිටියදිම ඇස අන්ධ වී යැයි. එයම ඇසේ අනිත්‍ය
තාවයයි. නිත්‍ය නොවන ස්වභාවයයි. මෙසේ ජාරවට ව්‍යාධියට මරණයට පත්වීම ඇසෙහි අනිත්‍ය
ස්වභාවයයි. නිත්‍ය නොවන ස්වභාවයයි. වෙනස් වන ස්වභාවයයි.
මෙසේ ඇස
අනිත්‍ය තාවයට ලක් වන කල පිඩාවක් හටගනී. එනම් සාමන්‍ය පරිදී වූ ඇස දුබල වී යන විට
පිඩාවක් ගෙන දෙයි. එය විදීමක් නොවේ. බාධාවක්
පමණකි. අවශ්‍ය නම් තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ප්‍රපංච ගොඩ නගාගෙන සෝකපරිදේවදුක්ඛදොමනස්සුපායාස
පහල කර ගත හැක. අවශ්‍ය නම් පහල නොකරගෙන සිටීමටද හැක. මෙසේ පිඩාවක් හෝ සෝකපරිදේවදුක්ඛදොමනස්සුපායාසන්
ගෙන දෙන්නේ ඇසක් පවතින නිසාවෙනි. එනම් ඇසෙහි පැවතිමම පීඩාව වේ. එනම් ඇස යනු
පිඩාවයි. පීඩාව යනු ඇසයි.
මෙසේ ඇස
නිත්‍ය නොවීම හේතුවෙන් හා වෙනස් වීම හේතුවෙන් වසගයේ පැවැත්විය නොහැක්කකි. පීඩාවන් ගෙන දෙන
බැවින් හරසුන් වූවෙකි. සත්වයෙන් පුද්ගලයෙක් නොමැති භාවයෙන් අනාත්ම වූවෙකි.
මෙසේම කන
නාසය දිව කය මනස යනායතනද අනිත්‍ය දුක්ඛ අනත්ත වේ.
වේදනාව
අනිත්‍ය දුක්ඛ අනත්ත වන්නේ කෙසේද යත්?
වේදනා
චෛතසිකය ඇති වී නැතිව යන බැවින් ද සුඛ වේදනාව දුක්ඛ වේදනාව වශයෙන් වෙනස් වන
බැවින්ද අනිත්‍ය වේ.
එසේ සුඛ
දුක්ඛ වේදනාවන් ගෙන දෙමින් චිත්තයා පිඩාවට ලක් කරන්නේ වේදනා චෛතසිකයයි. සුඛ වේදනාව
කෙරෙහි තෘෂ්ණාවද දුක්ඛ වේදනාව කෙරෙහි ද්වේෂයද උපේක්ඛා වේදනාව කෙරෙහි මෝහයද යානාදී
ලෙස බොහෝ පීඩාවන් ඇතිකිරීමේ මුලික කාරණාව වේදනා චෛතසිකයේ පැවතීමයි. එනම් පීඩාව යනු
වේදනාඋපාදානස්කන්ධයයි.
වේදනා
චෛතසිකය හරසුන් බැවින් ද වසගයේ පැවත්විය නොහැකි බැවින්ද සත්ව පුද්ගල නොවන බැවින්ද
අනාත්ම වේ.
සඤ්ඤා
චෛතසිකය ඇතිව නැතිව යන බැවින් අනිත්‍ය වේ. එහි පැවතීම නිසාම රාග ද්වේශ මෝහාදී
පීඩාවන් හට ගනී. එය වසගයේ පැවත්විය නොහැකි බැවින් හර සුන් බැවින් සත්වයෙක් පුද්ගලයෙක්
නොවන බැවින් අනාත්ම වේ.
සංස්කාර අනිත්‍ය දුක්ඛ අනත්ත වන්නේ කෙසේද යත්?
සංස්කාර අනිත්‍ය වනුයේ විපාක දීම් වශයෙන් හෝ
අහෝසි කර්ම ලෙස ක්‍ශයවීම් වශයෙන් හෝ වේ. එනම් යම්කිසි කුසලයක් හෝ අකුසලයක් විපාක
දීමෙන් අනතුරුව ඒ සංස්කාර ස්කන්ධය ගෙවී අවසන් වී යයි. එනම් සංස්කාර ස්කන්ධය නිත්‍ය
නොවේ .එසේම විපාක දීමට අවස්ථාව නොලැබී ගිය හොත් අහෝසි වී යන්නේ වේ. එසේද අනිත්‍ය
වන්නේ වේ.
සංස්කාර ස්කන්ධය පවතින තාක්කල් ජරාමරණ ආදී දුක්ඛස්කන්ධය
පවතී. එනම් සංස්කාරයන්ගේ පවතිමම දුක්ඛස්කන්ධයේ පැවතීමයි. එනම් දුක යනු සංස්කාර
ස්කන්ධයයි.
සංස්කාරයෝ වසගයේ පැවැත්වි නොහැක. හර සුන්ය. සත්ව
පුද්ගල නොවන්නේය. එබැවින් අනාත්ම වේ.
විඤ්ඤාණය අනිත්‍ය දුක්ඛ අනත්ත වන්නේ කෙසේද යත්?
විඤ්ඤාණය මොහොතක් පාසා වෙනස් වන බැවින්ද ඇතිව
නැතිව යන බැවින්ද අනිත්‍ය වේ. විඤ්ඤාණ පැවතීම නිසාම සකල දුක්ඛස්කන්ධයම පවතී.
එබැවින් දුක යනු විඤ්ඤාණයම වේ. විඤ්ඤාණය හරසුන් බැවින්, වසගයේ පැවැත්විය නොහැකි
බැවින්, සත්වයෙක් පුද්ගලයෙක් නොවන බැවින් අනාත්ම වේ.
මෙසේ රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ කෙරෙහි
වෙන වෙනම ත්‍රිලක්ෂණය විමසා බැලිය යුතුය. එයම නිවන් මග වෙයි. එය වඩා දුකින්
මිදෙත්වා.
“අනිච්ච යනු අනිත්‍ය නොවේය. කැමති සේ නොපවත්නා බව
වේ.” යැයි කියන්නා වූ පුද්ගලයන්ට පිළිතුරු.
බුද්ධ දේශනාව ස්වාක්ඛාතය. මනාව දේශනා කර ඇත යනු
අර්ථයයි. ඒ මනාව දේශනා කර ඇති ධර්මය සියලු තැන්හිම එක හා සමානව අර්ථ නැංවේ. එනම්
යමක් යම් ආකාරයකට යම් තැනකදී අර්ථ
දක්වන්නේද එය ඒ ආකාරයෙන්ම අන්තැනකදීද අර්ථ දැක්වේ.
උදාහරණයක් ලෙස රූපය අනිත්‍ය යැයි යම් තැනකදී
දේශනා කරන ලද්දේද එය සැම තැනකදීම අනිත්‍යම
වේ. යම් තැනකදී දුක්ඛය දේශනා කරන ලද්දේද ඒ සෑම තැනකදීම දුකම වේ. යම් තැනකදී අනාත්ම
යැයි දේශනා කරන ලද්දේ වේද ඒ සෑම තැනකදීම අනාත්ම වේ.
එනමුත් එයට පටහැනි මතය ප්‍රකාශ කරන පුද්ගලයින්
දරන අදහස නම් මෙබන්දකි. එනම් ඒ ඔවුන් පවසන පරිදි පංච උපාදානස්කන්ධය තමන් කැමති සේ
නොපවතින නිසාවෙන් දුක හටගනී. එබැවින් අනිත්‍ය යනු කැමති සේ නොපවතින ස්වභාවයයි.
නොඑසේ නම් ප්‍රිය අප්‍රිය වස්තු තමන් කැමති සේ පැවැත්විය නොහැක. ඒවා කැමති සේ නැතිවන
කල දුක් දොම්නස් හටගනී. එබැවින් කැමති සේ නොපැවතීම අනිච්ච යැයි ඔවුන් පවසයි.
ඔවුන්ට අනුව දුක්ඛ ආර්ය සත්‍යයෙහි පෙන්වා දෙනුයේ
දුක් දොම්නස් පිලිබඳවය. එනම් ජාතිය දුක් දොම්නස් ගෙන දෙන්නකි. ජරාව දුක් දොම්නස්
ගෙන දෙන්නකි. මරණය දුක් දොම්නස් ගෙන දෙන්නකි. එසේ දුක්ඛ ආර්ය සත්‍යයෙහි දුක්
දොම්නස් ගැන පවසන බව ඔවුන්ගේ මතයි.
එනමුත් එය එසේ නොවේමය. දුක් දොම්නස් යනු
දුක්ඛාර්ය සත්‍යයෙහි කොටසක් පමණකි. සම්පූර්ණ දුක්ඛ ආර්ය සත්‍ය නොවේමය. සම්පූර්ණ
දුක්ඛ ආර්ය සත්‍යයෙන් ප්‍රකාශ කරන්නේ ස්කන්ධ පරම්පරාව පැවතීම නිසාවෙන් ඇතිවන පීඩාව
පිළිබඳවයි.
ඒ දුක්ඛ ආර්ය සත්‍ය කොටස් තුනක එකතුවකි. දුක්ඛ
දුක, විපරිනාම දුක හා සංඛාර දුක වේ. දුක්ඛ දුක යනු වේදනාවයි. දුක් දොම්නස් වේ.
විපරිනාම දුක යනු අනිත්‍යතාවය වෙනස්වීම නිසා ඇතිවන පීඩාවයි. නොඑසේ නම් ජරා ව්‍යාධි
නිසා පෙලෙන ස්වභාවයයි. සංඛාර දුක යනු පංච උපාදානස්කන්ධය පැවතීම යන පීඩාවයි.
එකී පුද්ගලයින් මෙකී දුක්ඛ ආර්ය සත්‍යයෙහි දුක්
දොම්නස් යන කොටස පමණක් ප්‍රකට කරමින් දුක්ඛ ආර්ය සත්‍ය පටලවාගෙන සිටීම අනුවන කම
විදහා පෑමකි.
දුක් දොම්නස් නියත නැත. පෘතජ්ජන වුවද නුවණැත්තාට දුක්
දොම්නස් නැත. කෙසේද යත් “සුඛස්සච පහාණා දුක්ඛස්සච පහාණා පුබ්බේව සොමනස්සදෝමනස්සං
අත්ථංගමා අදුක්ඛමසුඛං උපේක්ඛා සති පාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති”
යන්නට අනුව චතුර්ථ ධ්‍යාන ලාභී උතුමන් හට දුක් දොම්නස් නැත. එනම් ඉහත පුද්ගලයින්ගේ
න්‍යාය අනුව ඔවුනට දුක්ඛ ආර්ය සත්‍යය නොමැත.
මුලාවක තරම පෙනේද?
තවද ප්‍රිය අප්‍රිය වස්තු නිසා සම්පූර්ණ දුක්ඛ
ආර්ය සත්‍යය ඇති නොවෙයි. එනම් ජරා මරණයෝ හට ගනුයේ ප්‍රිය වස්තුන් නිසා නොවේය. අප්‍රිය
වස්තුන් නිසා නොවේය. ප්‍රිය අප්‍රිය දේ කැමති සේ පැවැත්විය නොහැකි නිසාද නොවේය.
ඒවාගේ ස්වභාවය අනිත්‍යතාවය බැවිනි.
ඒ මෙසේයි.
“පියජාතිකා සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා
පියප්පභාවිකා.” (පියජාතික සුත්‍රය, ම.නි.) සෝකපරිදේවදුක්ඛදෝමනස්සඋපායාසයෝ ප්‍රිය
වස්තු නිසා හටගන්නෝය. ප්‍රිය වස්තු ප්‍රභව කොට පවතින්නෝය.
ඉහත බුද්ධ දේශනාව අනුව පැහැදිලිවන කරුණ නම් ප්‍රිය
වස්තු නිසා හටගන්නේ දුක් දොම්නස් පමණක් බවයි. එසේනම් ප්‍රිය අප්‍රිය වස්තු කැමති
සේ පැවැත්විය නොහැකි නිසා දුක් දොම්නස් පමණක් හට ගනී. ජරා මරණයෝ හට නොගනී. එනම් ප්‍රිය
වස්තු අදාළ වන්නේ දුක්ඛ ආර්ය සත්‍යයෙහි කොටසකට පමණි. ඒ අනුව ඔවුන්ගේ ප්‍රකාශය
නැවතද සාවද්‍ය වේ.
එසේම ඉහත කී “අනිච්ච යනු අනිත්‍ය නොවන්නේය. කැමති
සේ නොපවත්නා භාවය වේ.” යන ප්‍රකාශය සෑම තැනකදීම එක හා සමානව යෙදෙන්නක් නොවේ. උදාහරණයක්
ලෙස “රූපය කැමති සේ නොපවත්නා බැවින්
අනිච්ඡ වේ” යන ප්‍රකාශය සියලු තැන්හිදිම එක හා සමානව නොයෙදේ. කෙසේද යත් අභිඤ්ඤා ලාභී උතුමන් වහන්සේලා ස්වකිය
රුපස්කන්ධය කැමති සේ පවත්වයි. ඒ උතුමන් වහන්සේලා අහසේ සක්මන් කිරීම්, ශරීරයෙන්
රැස් විහිදවීම් ආදී වූ විවිධ වූ ප්‍රාතිහාරයන් පාන්නේ රුපස්කන්ධය තම වසගයේ පවතින
බැවිනි. එකරුනෙහි ලා යට කී කතාව සාවද්‍ය වේ.
වේදනාව කැමති සේ පැවතීමට උදාහරණයක් නම් ප්‍රථම
දුතිය තතිය චතුත්ථ ධ්‍යාන ලාභී උතුමන්වහන්සේලා වේදනාව තමා කැමති සේ පවත්වයි. එබැවින් යට කි කතාව මෙහිදීද සාවද්‍ය වේ.
සඤ්ඤාවද තමන් කැමති සේ පැවැත්විය හැකිය. එ කෙසේද යත් පිළිකුල් සහගත නොවන්නා වූ ආහාරයන්
කෙරෙහි පටික්කුල සඤ්ඤාව පැවැත්විය හැකිය. එසේම පටික්කුල වස්තුන් කෙරේ අපටික්කුල
සඤ්ඤා පැවැත්විය හැකිය. තවද පටික්කුල අපටික්කුල දෙකම කෙරෙහි උපේක්ෂා සහගතව ද වාසය
කල හැකිය. මෙලෙසට සඤ්ඤාවන්ද තමන් කැමති සේ පැවැත්විය හැකිය.
සංස්කාරයන්ද තමන් කැමති සේ පැවැත්විය හැකිය.
කෙසේද යත් ධ්‍යානයකට සමවදින උතුමන් වහන්සේ සංස්කාරයන් පවත්වන්නේ තමන්ට කැමති පරිදි වේ. එසේ
තමන් කැමති පරිදි සංස්කාරයන් පවත්වා කැමති කැමති උප්පත්ති ලබාගැනීමේ හැකියාවද ඇත. මෙසේ
සංස්කාරයන්ද තමන් කැමති සේ පැවැත්විය හැකි වේ.
විඤ්ඤාණය තමන් කැමති සේ පවත්වන්නේ කෙසේද යත් ධ්‍යානාදී
උපදවන කල්හි විඤ්ඤාණ ස්කන්ධය තමන් කැමති සේ පැවැත්වීමේ හැකියාව තිබේ.
මෙසේ විවිධාකාරයෙන් පංච උපාදානස්කන්ධය තමන් කැමති
සේ පැවැත්වීමේ හැකියාව තිබේ. ඒ අනුව එකී පුද්ගලයින්ගේ එම ප්‍රකාශ පරමාර්ථය හමුවේ
අර්ථ ශුන්‍ය වේ. සාවද්‍ය වේ. එනම් එය මනාවූ දේශනාවක් නොවේ. දුරක්ඛාතයක්වේ.
එනමුත් පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනත්ත වේ
යන්න සියලු තැන් හිදී එක හා සමානවම අර්ථ නැංවෙන අතර කිසිදු තැනකදී වෙනසකට ලක්
නොවේ. එබැවින් නිවැරදි අර්ථය නම් අනිත්‍ය දුක්ඛ අනත්ත යන්න මිසෙක කැමති සේ
නොපවත්නා කතාවක් නොවේමය.
එබැවින් බුද්ධ කාලයෙහි පටන් නිර්මලව පැවති ත්‍රිලක්ෂණය
විකෘතිකර ධර්මය විනාශ කිරීමට ගන්නා වූ ලාමක හීන ක්‍රියා මහත් පිළිකුලෙන් යුතුව
හෙලා දකිමින් ධර්මය අවබෝධ කොට සසර දුකින් මිදෙනු වස් පෙළ අටුවා තුල දැක්වෙන අර්ථ
ව්‍යංජනම භාවිතා කරන මෙන් දන්වා සිටිමු. තෙරුවන් සරණයි...!!!