Monday, May 23, 2016

මෛත්‍රිය සහ සහජීවනය.





“මෙත්තාය භික්ඛවේ චේතෝ විමුත්තියා ආසේවිතාය භාවිතය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය එකා දසානිසංසා පාටිකංකාති.”
මහණෙනි මෛත්‍රී චේතෝ විමුක්තිය ආසේවනය කිරීමෙන් භාවිතා කිරීමෙන් බහුලකර ගැනීමෙන් යානයක් සේ කර ගැනීමෙන් භූමියක් සේ කර ගැනීමෙන් එළඹ සිටින සේ කර ගැනීමෙන් ප්‍රගුණ කර ගැනීමෙන් මනාව මනාව ආරම්භ කර ගැනීමෙන් එකොලොස් ආනිසංසයක් කැමති විය යුත්තේය.
එනම් මෛත්‍රී ධ්‍යානය උපදවා ගත් තැනැත්තා එය මනාකොට වශීකෘත කරගැනීමෙන් ආනිශංස එකොළසක් ලබාගත හැකිය. නොඑසේ නම් මෛත්‍රී ධ්‍යාන බහුල කොට භාවිතා කිරීමෙන් ආනිශංස එකොළසක් ලැබේ. ඒවා නම්,
1.      සුඛං සුපති. - සුවසේ නින්ද යන්නේ වෙයි.
ලෝභ දෝස මෝහ වලින් පිරුණු මනසකින් යුතු පුද්ගලයාට සුවසේ නින්ද නොයන්නේ වෙයි. ඔහුට කාම, ව්‍යාපාද, විහිංසා විතර්කයෝ පීඩා කරනු ලබයි. එවිට සිත තැන්පත් නොමැති බැවින් සුවසේ නින්ද නොයන්නේ වෙයි. එනමුත් මෛත්‍රී ධ්‍යාන වැඩූ තැනැත්තාට එබඳු විතර්කයෝ පීඩා නොකරන බැවින් නින්දට බාධාවක් නැත. එබැවින් ඔහු සුවසේ නිදයි.


2.      සුඛං පටිබුජ්ඣති. - සුවසේ අවදි වෙයි.
කෙසේද යත්, සුවසේ නින්දට වැටුණු කල පුර්වාරම්මණය මෛත්‍රිය බැවින් අවදි වන කල අරමුණද මෛත්‍රියම වන්නේ වෙයි. (ඇතැම් විට වෙනස් විය හැක්කේය. ) එවිට සිත ප්‍රබෝධමත් බැවින් හා කාය දරථ සංසිදී ඇති බැවින් ඇඟ මැලි කැඩීම් ආදියෙන් තොරව සුවසේ අවදි විය හැකිය.

3.      න පාපකං සුපිනං පස්සති. - නපුරු සිහින නොපෙනෙයි.
අකුසල විතර්ක නොමැති බැවින් ධාතුක්ශෝභ, අනුභූත පූර්වාරම්මණ, දේවතෝපසංහාර හා පූර්වනිමිති වශයෙන් දකිනු ලබන සිහිනයන් හිදී නපුරු සිහින නොපෙනෙයි. කුසල් කෙරෙහිම සිත හැසිරෙන බැවින් වන්දනාමාන පූජා ආදී කුසල් සිහිනම පෙනෙන්නේ වෙයි.

4.      මනුස්සානං පියෝ හෝති. - මිනිසුනට ප්‍රිය වෙයි.
මෛත්‍රී අදහස් බහුල බැවින් හා ව්‍යාපාද විතර්ක නොමැති බැවින් සියලු මනුෂ්‍යයන්ට ප්‍රිය මනාප වන්නේ වෙයි. රහසිගතව හෝ ද්වේශයක් සිතෙහි නූපදනා බැවිනි.

5.      අමනුස්සානං පියෝ හෝති. - අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙයි.
මනුෂ්‍යයන්ට සේම අමනුෂ්‍යයන් කෙරෙහිද පැතිර පවතින්නා වූ මෛත්‍රිය නිසාවෙන් අමනුෂයන් හට ප්‍රිය වන්නේ වෙයි.

6.      දේවතා රක්ඛන්ති. - දෙවියන්ගේ ආරක්ෂාව ලැබේ.
කරණීය මෙත්ත සුත්‍රාන්ත නිදාන කතාවෙහි දැක්වෙන පරිද්දෙන් දෙවියන්ගේ ආරක්ෂාව ලැබේ. දෙවියන් කුසලයට මනාප බැවින් හා මෛත්‍රිය මගින් සුවයක් ලැබෙන බැවිනි.

7.      නාස්ස අග්ගි වා විසං වා සත්ථං වා කමති. - ගිනි හෝ විෂ හෝ ආයුධ හෝ නොපිවිසෙන්නේ වෙයි.
මෙය මෛත්‍රියෙහි විශේෂ බලයෙකි. බලවත් මෛත්‍රී සහගත සිතක් පවතින කල ඒ පුද්ගලයාගේ සිරුරට ගිනි විෂ ආයුධ ආදියෙන් හාවී වන්නේ නැත. මනුෂ්‍යයන්ගේ පමණක් නොව තිරිසනුන්ගේ ද බලවත් මෛත්‍රිය ඇති කල විපත් නොවන බව දැක්වේ.
එක් ගවදෙනක් තම වසුපැටවාට  කිරිදෙමින් සිටින කල වැද්දකු විසින් දමා ගසන ලද හෙල්ලය සිරුරෙහි හැපී තල්පතක් සේ බිම වැටුණු බව ද එය අන් කිසිවක් නිසා නොව කිරිදෙමින් සිටින කල පැටවා කෙරෙහි පවතින අප්‍රමාණ මෛත්‍රී සහගත සිත නිසා බව අටුවාවෙහි දැක්වේ. එසේම සිංහබාහු කතාවෙහිද සිංහබාහු කුමරා විසින් සිංහයාට විද්දේ ද තම පුත්‍රයා කෙරෙහි තිබුණා වූ මහත් වූ මෛත්‍රිය නිසාවෙන් පළමු හී පහර දෙකම නොවැදී තෙවන හී පහර කෝපය හටගැනීම හේතුවෙන් වැදුන බව දැක්වේ. එසේම සාම දේවියගේ කතාවෙන් ද ඒ බව ප්‍රකට වේ.
එසේ මනාවූ මෛත්‍රිය නිසාවෙන් වස විස ගිනි ආයුධ ආදියෙන් උපද්‍රව සිදු නොවන්නේ වේ.

8.      තුවටං චිත්තං සමාධියති. - සිත වහා සමාධිගත වේ.
මෛත්‍රියෙන් වාසය කරන්නහුගේ සිත වහා සමාධිමත් වන්නේ වෙයි. ප්‍රමාද විමෙක් ඔහුට නැත.

9.      මුඛ වණ්ණෝ විප්පසීදති. - මුව වර්ණය විශේෂයෙන් පැහැපත් වේ.
මෛත්‍රී චිත්තජ රූප කලාපයෝ බහුල කොට පහල වන බැවින් මුව වර්ණය විශේෂයෙන් පැහැපත් වේ. සියලුම භාවනා තුලින් වර්ණය පැහැපත් වන්නේ නමුදු මෛත්‍රිය තුල සියලු සත්වයන් කෙරෙහි පවතින මිත්‍රත්වය නිසාවෙන් විශේෂ පැහැදීමක් ඇතිවන්නේ වෙයි.

10.  අසම්මූල්හෝ කාලං කරෝති. - මුලා නොවී කලුරිය කරයි.
මෛත්‍රිය වඩන්නා හට සිහිමුලා වූ මරණයක් වන්නේ නොවෙයි. නිතර භාවිතා කරන ඔහු නින්දට වැටෙන්න්නා සේ මරණයට පත්වෙයි.

11.  උත්තරීං අප්පටිවිජ්ඣන්තෝ බ්‍රහ්මලොකූපගෝ හෝති. - මත්තෙහි අරිහත්වය ප්‍රත්‍යක්ෂ නොකරන්නහු බ්‍රහ්මලෝක පරායන වන්නේ වෙයි.
මෙහි මෛත්‍රිය නිසාවෙන් රහත් වනවා හෝ සෙසු මග ඵල ලබනවා නොව මෛත්‍රී ධ්‍යාන පාදක කරගනිමින් විදසුන් වඩා ඵලයන්ට පත්වන්නේ වෙයි. ඒ කෙසේ හෝ අරිහත් නොවුයේ නම් මෛත්‍රී ධ්‍යාන හේතුවෙන් බ්‍රහ්ම ලෝක උප්පත්තිය සිදු වන්නේ වෙයි.
මෙසේ මෛත්‍රී ධ්‍යාන නිතර නිතර මනාව භාවිතා කිරීම හේතුවෙන් ඉහත ආනිසංශ නියතවම ලබාගත හැකි වන්නේමය.
එනමුත් අද බොහෝ දෙනෙකු නොවඩන භාවනාවක් බවටද පත් වෙමින් පවතින්නකි. එනමුත් වඩන්නේ නම් නියතවම මහත් ඵල මහානිසංස වන භාවනාවෙකි.
කෙසේ නමුදු මේ මෛත්‍රිය යැයි සිත සිත මුලා වන බරපතල අනතුරක් ද ඇතිබව සියලු බෞද්ධයෝ වටහා ගත යුතුව ඇත. එයනම් සහජීවනය යන මුලාවයි.
සහජීවනය යන වදනම දේශපාලනික වී තිබේ. සර්වාගමික සහජීවනය, ජාතින් අතර සංහිදියාව යනාදී සුන්දර වදන් දේශපාලකයන් භාවිතා කරනු ලැබේ. ඔවුන් කුමක් කෙසේ භාවිතා කලද අපට කම් නොවේ. නමුදු පල නොකියා පලා බෙදීම සිදු වන්නේ නම් බුදු දහමට අනතුරක් සිදුවන්නේ සැලකිලිමත් විය යුතුය. නොමැතිව කවරෙකුගේ හෝ දේශපාලනයකින් අපට පලක් නැත.
ඉහත කරුණ දෙස විමසුම් ඇසෙන් බලන නුවණැත්තෙකුට වටහාගත හැකි කරුණ නම් එකී සහජීවනය උගන්වන්නේ සිංහල බෞද්ධයාට පමණක්ය යන්නයි. සිංහලයා අන්‍ය ජාතින් සමග සහජීවනයෙන් සිටිය යුතුය, බෞද්ධයා අන්‍ය ආගමිකයන් සමග සහජීවනයෙන් සිටිය යුතුය, සහජීවනය ඉගැන්විය යුත්තේ උතුරට නොව දකුණටය යනාදී කතා අපට අසන්නට ලැබේ. එසේම සියලු ආගම් වල උගන් වන්නේ එකම දහමය යනුවෙන් මුසා ඇද බාමින් සහජීවන ආගම උගන්වන්නේ ද බෞද්ධයාටමය.
කුමන හෝ ආකාරයකින් කුමන ආකාරයක හෝ ගැටුමක් ඇතිවූ කල සහජීවනය විනාශ වන බැවින් ඒ පිලිබඳ අදහස් ප්‍රකාශ නොකළ යුතු බවට සමාජ ගත වී තිබෙන තිත්ත ඇත්තකි.
කුමක් හෝ සිදුවීමක් සිදු වුවද අවසන් වරද කරු වන්නේ සිංහල බෞද්ධයා බව ප්‍රසිද්ධ රහසෙකි.
එනමුත් සිංහල බෞද්ධයාට අමුතු සහජීවන බණක් අවැසි වන්නේ නොවෙයි. කිමද යත් එකී සහජීවන බණ දෙසන්නෝ තවම ජීවතුන් අතර සිට ඒ බණ දෙසන්නේම සිංහල ජාතියේ සහජීවන යහපත් බැවිනි.
තථාගත සම්මා සම්බුදු රජාණන්වහන්සේ සැබෑම සහජීවනය ධර්මය තුලින්ම පෙන්වා දී ඇත. නිඝන්ට සරණ ගිය උපාලි ගෘහපති පැමිණ බුදුන් සරණ යන කල ඔහුට දේශනා කර වදාළේ නුවණැත්තකු සේ වැඩ කරන ලෙසයි. ප්‍රසිද්ධ වූ, බොහෝ දෙනෙකු දන්නා හඳුනන පුද්ගලයකු වූ ඔබ විමසා බලා කටයුතු කිරීම යහපත් බව, බුදුරජාණන්වහන්සේ එදා දේශනා කර වදාළ බව සිහපත් කරගත යුතුය.
එසේම ඔහු දන් දෙන කල නිඝන්ටයන්ගේ දන්වැට නොසිඳින ලෙස උපදෙස් දුන්නේ ද බුදුරජාණන් වහන්සේමය.
එසේ වූ බුදුරජාණන්වහන්සේ සරණ ගිය පුද්ගලයන්ට අලුත් සහජීවන බණ දෙසිය යුතු නැත.
එසේම සහජීවන කියා වැඳ වැටෙන්නට ද නිවට වන්නට ද උගන්වා නොමැති බව වටහා ගත යුතුය. වරක් නිඝන්ටයින් කොසොල් රජුට අල්ලස් දී ජේතවනාරාමය අසලින් නිඝන්ටාරාමයක් සෑදීමට යන කල එය වූ කලී විවේකයට බාධාවක් බැවින් නොකළ යුත්තක් බව රජුද දන්වා සිටයේ ද බුදුරජාණන් වහන්සේමය.  එසේ උ බැවින් සහජීවනය කියා පන්සලට එහා වත්තේ පල්ලි ගැසීම යනු අහක යන සරපයින් වස්ත්‍රය ඇතුලට දමාගනිමක් මිස අනෙකක් නොවේය.
එබැවින් සහජීවන කියා අමුතු බණක් සිංහලයාට දෙසා සිංහලයාගේ කොඳු බිඳ දැමීමට සැරසීම නම් මෛත්‍රිය නොවන බව සියල්ලන්ම වටහා ගත යුතුය. මෛත්‍රිය නම් සියලු සත්වයින් කෙරෙහි එකසේ පතලා වූ මිතුරු බවයි. එය අප විසින් නොපිරිහෙලා ඉටුකළ යුත්තෙකි.
එනමුත් සහජීවනය යනු සිංහලයා විසින් පමණක් සිදුකල යුතු අනෙකා නොකළ යුතු අමුතු බණක් බව ගංවතුරෙන් ද උගන්වා හමාරය.
ඒ හේතුවෙන් සියල්ලෝම එක්වී මෛත්‍රී ධ්‍යාන වැඩීම මිසෙක සහජීවන වැදි බණ ක්‍රියාත්මක කිරීම නොකළ යුතු බව සිහිපත් කරමු. අවසාන සම්බුදු සසුන සුරකිමින් නිවනට පත්විමටම ඒ මෛත්‍රිය උපකාර වේවා කියා ද අධිෂ්ඨාන කරමු. ඔබ සැමට තෙරුවන් සරණයි....!!!!

Thursday, May 5, 2016

බුදු දහමේ යථාර්ථය





බුදු දහමේ යථාර්ථය දැකීමට, බුදු දහම යනු කුමක්ද? එහි අන්තර්ගතය කුමක්ද? එහි පරමාර්ථය කුමක්ද? ඒ පරමාර්ථය ළඟාකර ගන්නේ කෙසේද? යන මේ පැනයන්ට පිළිතුරු සැපයීම හරහා හැකිවන්නේය.

කුමක් හේතුවෙන් අපි බුදු දහමේ යථාර්ථය අවබෝධ කරගනිමුද?  

සත්‍ය වශයෙන්ම ගත්කල වර්තමානයේ ජිවත්වන බොහෝ දෙනාට බුදු දහම පිලිබඳ හෝ එහි හරය පිළිබඳව නිසි අවබෝධයක් නොමැත.ඒ අවබෝධයක් නොමැතිකම හේතුවෙන්ම ගතානුගතිකව දුවන්නන් වාලේ දුවන්නන් බවට පත්ව සිටිනවා නොවේද? අරමුණක් ඔස්සේ නිසි මඟ යෑමට දන්නේ කීයෙන් කීදෙනෙක්ද? ඔබත් දුවන්නන් වාලේ දුවනවාද නැතිනම් යථාර්ථය අවබෝධ කරගන්නවාද යන්න මදක් හෝ සිතා බලන්න.

බුදු දහම යනු කුමක්ද යන පැනයට සරලම පිළිතුර වනුයේ “බුදු දහම යනු සත්‍යය” යන්නයි.කුමක් පිලිබඳ සත්‍යයද?ලෝකය හා ලෝකයෙන් එතෙරවීම පිලිබඳ සත්‍යයයි.

ලෝකය යනු සිත,සිතුවිලි හා රූපයන්ගෙන් සැදුණා වූ එකතුවකි.රූප ගත්කල ඒවා ජීවී, අජීවී යැයි බටහිර (අ)විද්‍යාවෙන් වෙන්කෙරේ.බුදු දහම තුලින් ගත්කල රූප යනු ජීවයක් නොමැති හුදු භෞතිකමය ශක්ති එකතුවකි.ඒ රූප බෙදා වෙන්කළ විට එහි ශක්තිය පවතින ආකාර හතරක් තිබේ.එනම් තද ස්වභාවය, බැඳෙන ස්වභාවය, උෂ්ණ ස්වභාවය හා චලනය වන ස්වභාවය යන ආකාර හතරයි. ඒ ස්වභාවයන් හතරද එක්ව පවතිනු පිණිස ඒ ස්වභාව හතරම වෙනස්වීම හේතුවෙන් හටගත් උපාදාය රූප නම් වූ රූප කොටස් හතරක් එක්කර ගනී.ඒ වර්ණය, ගන්ධය, රසය හා ඕජාව හෙවත් ආහාර ශක්තිය යන හතරයි.

මේ උපාදාය නම් වූ රුප කොටස් හතර හා ඒ තුලම පිහිටි මූලික ස්වභාව හතර යන කොටස් අට රූපයේ මුලික තැනුම් ඒකකයයි.මෙය බුදු දහම තුල ශුද්ධාෂ්ටක කලාපය ලෙස හඳුන්වයි. එය තව දුරටත් වෙන්කොට තැබිය නොහැකි සියුම්ම වූ රූප කලාපයයි.මෙම ශුද්ධාෂ්ටකය සමඟ මුලික ආකාර හතරෙන් හටගත් තවත් උපාදාය රූප එක්වීමෙන් ශරීරයක් ගොඩනැගේ.ඒ මෙසේය.

ශුද්ධාෂ්ටක කලාප එක්වීමෙන් විද්‍යාවෙන් තවමත් සොයාගෙන නොමැති රූප කලාපයන් බිහිවේ.ඒවා බොහෝ එක්වීම තුලින් ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන, මිසෝන ආදිය සකස්වී පරමාණු සකස් වේ.පරමාණු එක්වී අණු සකස් වේ.අණු එක්වී සංයෝග සකස් වේ.සංයෝග එක්වී ඉන්ද්‍රිකා සකස් වේ.ඉන්ද්‍රිකා එක්වී සෛල සකස් වේ.සෛල එක්වී පටක සකස් වේ.පටක එක්වී පද්ධති සකස් වේ.පද්ධති එක්වී ශරීරය සකස් වේ.කෙටියෙන් මෙසේය.

සතර මහා භූත රූප - ශුද්ධාෂ්ටක - පරමාණු - අණු - සංයෝග - ඉන්ද්‍රිකා - සෛල - පටක - පද්ධති - ශරීරය. ශරීරය යනු සතර මහා භූත රූප යන කාරණාව වත්මන් අවිද්‍යාව මගින්ද ඔප්පු වන්නේමය.
මෙලෙස සකස් වන්නේ කර්මානුකූලවය.එහෙත් මේ ශරීරය ක්‍රියාකරනුයේ කෙසේද යන්න ගැටලුවක් වනු ඇත.එය විසඳීම  සදහා පළමුව භූත රූප හා උපාදාය රූප සලකා බලමු.

1.      පඨවි - තද ස්වභාවය.
2.      ආපෝ - බැඳෙන ස්වභාවය.
3.      තේජෝ - උණුසුම් ස්වභාවය.
4.      වායෝ - චලනය වන ස්වභාවය.
5.      චක්ඛු - වර්ණ ප්‍රතිග්‍රහණය.
6.      සොත - ශබ්ද ප්‍රතිග්‍රහණය.
7.      ඝාණ - ගන්ධ ප්‍රතිග්‍රහණය.
8.      ජිව්හා - රස ප්‍රතිග්‍රහණය.
9.      කාය - ස්පර්ශ ප්‍රතිග්‍රහණය.
1.     වණ්ණ - වර්ණ ප්‍රකට කිරීම.
1.     සද්ද - ශබ්ද ප්‍රකට කිරීම.
1.     ගන්ධ - ගන්ධ ප්‍රකට කිරීම.
1.     රස - රස ප්‍රකට කිරීම.
1.     පුරිසින්ද්‍රිය - පුරුෂ ලක්ෂණ ප්‍රකට කිරීම.
1.    ඉත්ථින්ද්‍රිය - ස්ත්‍රී ලක්ෂණ ප්‍රකට කිරීම.
1.    ජිවිතින්ද්‍රිය - ජිවය පවත්වා ගැනීම.
1.    කාය විඤ්ඤත්ති - කය ක්‍රියා කරවීම.
1.    වචී විඤ්ඤත්ති - වචන ක්‍රියා කරවීම.
1.    ලහුතා - සැහැල්ලු බව.
2.    මුදුතා - මෘදු බව.
2.    කම්මඤ්ඤතා - කර්මණ්‍ය බව.
2.    උපචය - පළමුව ඇතිවීම.
2.    සන්තිති - ඇතිවී පැවතීම.
2.    ජරතා - දිරීම ප්‍රකට කිරීම.
2.    අනිච්චතා - වෙනස්වීම ප්‍රකට කිරීම.
2.    ආකාස - අවකාශය වෙන් කිරීම.
2.    ආහාර - ශක්තිය ලබාදීම.

මේ කියන ලද්දා වූ රූප කලාප විවිධ ආකාර වශයෙන් එක්වී ශරීරය සකස් වේ. එනම් ශුද්ධාෂ්ටක කලාපයක් හා චක්ඛුප්‍රසාදය එක්වී චක්ඛුප්‍රාසාද නවකය නම්වූ රූප කලාපයක් ඇතිවේ. එය හා ජිවිතින්ද්‍රිය එක්වී දසක කලාප ඇතිවේ. මෙලෙසට ඇස කන නාසය දිව කය යන ආයතන පහටම මේ ජිවිතින්ද්‍රිය පවතී.එය පැවතීම නිසා නැවත නැවත රූප කලාප ඇතිවේ.ආයුෂ හා උෂ්ණය පවතින තාක් ජිවිතින්ද්‍රිය පවතී.

මේ ශරීරය පාලනය කිරීමට වැදගත්ම වූ රූප කොටස වූ ජිවිතින්ද්‍රිය නම් වූ රූප කලාප පවතිනතාක් කල්ම සෙසු සියලුම රූප කලාප පවතී. චක්ඛු ආදී ඉන්ද්‍රිය සකස් වීමේදී නියතවම මෙම ජිවිතින්ද්‍රිය පවතින බව පැවසුවෙමු. එම ජිවිතින්ද්‍රිය මතම වීඤ්ඤාණය පහල වීම සිදුවේ.එනම් කයෙහි යමක් ස්පර්ශ වනවිට එය දැනගැනීම උදෙසා පහළවන සිත ඒ කායප්‍රසාදය හා බැඳී පවතින ජිවිතින්ද්‍රිය මත පහල වේ.ඒ පහළවන සිතින් අරමුණු විශ්ලේෂණය කිරීම සිදු කරයි.කෙස් ආදියට නොදැනෙන්නේ එහි ජිවිතින්ද්‍රිය නොමැති බැවිනි. ඒ සිතේ ක්‍රියාව විමසා බැලීම තුලින් මෙය වඩාත් පැහැදිලි වේ.

සිත ස්වභාවයෙන්ම පවතිනුයේ භවංග ගතවය.එනම් යම් ජීවිතයකදී මුල්ම සිත පහල වී නිරුද්ධ වූ පසුව ඒ සිතෙහි තිබු අරමුණු ඔස්සේ පහළවන ඇතිව පැවතී නැතිවන සිත් පරම්පරවෙහිය.යම් විටෙක කයෙහි යමක් ස්පර්ශ වූ විට භවංග ගතවී ඇති සිත දෙවරක් චලනය වේ. ඉන් පසුව පහළවන සිත ඉහත ස්පර්ශ වූ තැන පහලවේ.එය ආවජ්ජන නමින් හඳුන්වයි. එය නිරුද්ධ වූ පසුව පහළවන්නා වූ සිත, මේ සිත පහළවී ඇත්තේ කයෙහිය යන සඤ්ඤාව සමග පහල වේ. සඤ්ඤාව ගනු ලබන්නේ ඊට පළමු සිත ඉතිරිකර තැබූ සංස්කාර විශ්ලේෂණය තුළිනි.එසේ පහල වූ සිත කාය විඤ්ඤාණය නමින් හඳුන්වයි.එය නිරුද්ධ වූ පසුව ඒ ස්පර්ශය මැනවින් පිළිගන්නා සම්පටිච්චන නම් සිත පහල වේ. ඒ සිතින් සිදුවූ ස්පර්ශයේ ස්වභාවය විශ්ලේෂණය කරයි.ඒ සිත විශ්ලේෂණය අවසානයේ තබා යන්නා වූ සංස්කාර ඔස්සේ සන්තීරණ නම් සිත පහලවේ. ඒ සිතින් මෙය මෙබඳු ආකාර ස්පර්ශයක් යැයි තීරණය කරයි.එනම් රළු/මෘදු ආදී ලෙසය. එය නිරුද්ධ වූ පසුව මේ ස්පර්ශය කෙරෙහි මෙබඳු ආකාරයකින් ක්‍රියා කල යුතුයැයි තීරණය කරන්නා වූ වොත්තපන නම් සිත පහල වේ.එහිදී ප්‍රතිචාරය තීරණය වේ. එය නිරුද්ධ වූ පසුව තීරණය කල ආකාරයට ප්‍රතිචාර දක්වමින් සිත් හතක් දක්වා එකදිගට සිත් පහලවේ.ඉන් අනතුරුවද අරමුණු ඇති තාක් සිත් පහල වේ. වොත්තපන චිත්තය හරහා ගන්නා වූ තීරණ අනුව පහල වන්නා වූ සිත කුසල හෝ අකුසල හෝ ක්‍රියා සිත් හෝ වේ. එම තීරණ මත පහළවන සිත් මගින් කාය විඤ්ඤත්ති රූප හරහා කයද වචී විඤ්ඤත්ති රූප හරහා වචනද හසුරුවයි.

ඔබට ගමනක් යෑමට අවශ්‍ය නම් ඒ අරමුණ සිතට ආ විට ඉහත පරිදි ආවජ්ජන, විඤ්ඤාණ, සම්පටිච්චන, සංතීරණ, වොත්තපන ඔස්සේ තීරණ වලට එළඹ විඤ්ඤත්ති රූප හරහා කය හසුරුවා ගමන් කරයි.යම් රූපයක් බැලීමට, ශබ්දයක් ඇසීමට, ආදී ලෙස ඒ ඒ දෙයට යොමුවන්නේ ඉහත පරිදි තීරණය කිරීමෙනි.එසේ කරනු ලබන්නේ සිතිවිලි වලිනි.

සෑම සිතකම ස්පර්ශය, වේදනා, සඤ්ඤා, චේතනා, අරමුණෙහි එකඟ බව, සිතෙහි පැවැත්ම, මෙනෙහි කිරීම යන සිතිවිලි පවතී.ඒවාට අමතරව ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල් මූල හෝ අලෝභ, අදෝස, අමෝහ යන කුසල් මූල සිතිවිලි යෙදේ.

පෘතජ්ජන ස්වභාවයේ පවතින සිතක් නිරතුරුවම අකුසලයට බරවේ.පුරුදු කරන ලද්දා වූ සිතක් පමණක් කුසලයට බරවේ. ඒ ඒ සිතෙහි පහළවන සිතිවිලි ඒ ඒ සිතුවිලි වලට අදාළ කෘත්‍ය කර ඒවායේ තීරණ ඉතිරිකර නිරුද්ධ වේ. ඒ අරමුණ ඔස්සේ අනෙක් සිත පහල වේ.එයද තීරණ තබා නිරුද්ධ වූ පසුව තවත් සිතක් පහල වේ.මේ ලෙසට ඇසිපිය හෙලන මොහොතකට කෝටි සියයකටද වඩා සිත් ඇතිව පැවතී නැතිවී යයි. ඒ සිතේ ස්වභාවයයි. ඒ ලෙසට සිත හා සිතිවිලි හරහා රූපයන්ගෙන් සැදුම්ලත් මේ කය හැසිරවීම සිදුකරවයි.

මෙලෙසට කය පාලනය කරන්නාවූ සිත ස්වභාවයෙන්ම බරව පවත්නා අරමුණු ලබාගනු වස් ඇස, කන, නාසය, දිව, කය යන අරමුණු ලබා ගන්නා ස්ථාන හසුරුවයි. එනම් ලෝභ මූලික අකුසල සිත් පහල කර ගැනීමට ඇස කන නාසය ආදී ඉන්ද්‍රිය හසුරුවයි.එසේම ද්වේශ සහගත අරමුණු ලබා ගැනීමටද ඉන්ද්‍රිය හසුරුවයි. කලාතුරකින් කුසල් අරමුණක් සදහා ඉන්ද්‍රිය හසුරුවයි. එසේ කරනු ලබන්නේ සත්වයකු හෝ පුද්ගලයකු නොවන්නේය. දීර්ඝ කාලයක පටන් සිදුවන්නා වූ පුරුද්ද හරහාය. ඒ තුලින්ම අනිත්‍ය දෙය නිත්‍ය ලෙසටද දුක්ඛ දෙය සුඛ ලෙසටද අනාත්ම දෙය ආත්ම ලෙසටද අරමුණු කරයි. ඒ සසර පුරුද්දයි

මේ  චිත්ත චෛතසික රූපයෝ ලෝක තල 26 ක ප්‍රතිසන්ධි ගනී. චිත්ත චෛතසික පමණක් තල 4 ද එක තලයක රූප පමණක්ද ප්‍රතිසන්ධි ගනී.එසේ ඒ ඒ ලෝක තල 31 හි ප්‍රතිසන්ධි ගැනීමට ඒවායේ උප්පත්තියට හේතුවන කුසලාකුසල කර්ම කල යුතුය.ඒවායේ විපාක ලෙස ප්‍රතිසන්ධි විඤ්ඤාණය පහල වේ. ඒ පහල වන විඤ්ඤාණ නිසා නාම රූප වෙන්වේ. එම නාම රූපයෝ ඒ හේතුවෙන් පහළවන ආයතන හරහා ගනු ලබන අරමුණු කෙරෙහි විවිධ මනසිකාර ගොඩනගා ගනී.සචිත්තක රූපයෝ සත්වයන් ලෙසද අචිත්තක රූපයෝ ද්‍රව්‍ය ලෙසද අරමුණු කරයි. ඒ සත්ව පුද්ගලයින් හා ද්‍රව්‍යයන් හඳුනාගැනීමට පහසු වීම සඳහා සඤ්ඤා යොදා ගනී. උදාහරණයක් ගතහොත් පොල් ගෙඩියක් ගත්විට එයට “පොල්” යන නම මුලින්ම කීවේ කවරෙක්ද? කුමක් නිසා එයට “පොල්” යැයි කීවේද? එයට “කොස්” යන නම මුලින්ම කිවේ නම් අද පොල් ගෙඩියට “පොල්” යන නම නොකියා “කොස්” යන නමින් අමතනු ඇත. එවිට කොස් ලෙලි ගසන්නටද, කොස් ගාන්නටද, කොස් සම්බල් හදන්නටද සිදුවේ.ඔබට “කොස්” වලින් තෙල් ද ගත හැක.කොස් අතු වියා වහලයටද දැමිය හැක.මේ සියල්ලම පුහු සඤ්ඤා හැර අන් කවරක්ද?

මේ ලෙසට චිත්ත චෛතසික යන ක්‍රියාවන් ඒවා තුලින්ම ඒවා මතම විවිධ වූ සඤ්ඤා මනසිකාරයන් ගොඩනගා ගනී. විවිධ වූ සම්මුතියන් නිර්මාණය කරයි. එබඳු සම්මුති රාශියක එකතුවට ලෝකය යැයි නමක් තබයි. ඉර, හඳ, තාරකා, ගහකොළ, යාන වාහන, තිරිසන් සතුන්, මිනිසුන්, දෙවියන් ආදී ලෙස විවිධ සම්මුති ගොඩනගා ගනී. සම්මුති ගොඩනගා එම සම්මුති තුලම සිරවී එයින් මිදෙනු නොහැකිව හඬා වැළපෙයි. ආපසු හැරී බලන විට පෙනෙනුයේ සත්‍ය ලෙසම ඇති චිත්ත චෛතසික රූප කෙරෙහි විවිධ වූ සඤ්ඤා මනසිකාර හරහා සම්මුති ගොඩනංවා, ඒ කරන ලද්දාවූ වරද වටහා ගත නොහැකිව එකිනෙකාට දොස් පවරාගනිමින් පැටලුනාවූ නූල් රෝදයේ ගැට ලිහාගැනීමට නොහැකිව දඟලන චිත්ත චෛතසික රූප එකතුවක් පමණි. ලෝකය පිලිබඳ හරය මෙපමණය.ඒ හරය අවුරා ව්‍යංජන බහුල කරගැනීම මත වටහා ගැනීම දුෂ්කර වී ඇත.
බුදු දහම යනු සත්‍යමය යන්න සදහන් කර ලෝක සත්‍ය කෙටියෙන් දැක්වීමු.(නිවන පිලිබඳ අර්ථකථන මෙතැනගෙනහැර දැක්වීමට බලාපොරොත්තු නොවෙමු.) 

බුදු දහමෙහි අන්තර්ගතය වන්නේ චිත්ත චෛතසික රූපයන්ගේ යථා ස්වභාවය හා ඒවායින් මිදීම නම් වූ නිවන පිළිබඳවයි. එනම් චිත්ත චෛතසික රූප යන ක්‍රියාවල ස්වභාවය කුමක්ද? ඒවා කුමක් නිසා නැවත නැවත ඇතිවේද? එහි නැවතීම කුමක්ද? එයට මාර්ගය කුමක්ද යන කරුණුය.

චිත්ත චෛතසික හා රූපයන්ගේ ස්වභාවය නම් අනිත්‍ය දුක්ඛ අනත්ත යන ලක්ෂණ වලින් යුක්ත වීමයි. ඇතිවී නැතිවී යන බැවින්ද වෙනස් වන බැවින්ද අනිත්‍ය වේ. පීඩාකාරී බැවින් දුක්ඛ වේ.හරයක් නොමැති බැවින් අනාත්ම වේ.

මේ චිත්ත චෛතසික රූපයන් කුසල් අකුසල් නැතහොත් පින් පව් නිසා නැවත නැවත හටගනී. එනම් සිත යම් අරමුණක් ගනීද එය කුසල් හෝ අකුසල් හෝ වූ විට ඒවායේ විපාක ලැබීම් වශයෙන් නැවත චිත්ත චෛතසික රූප පහල වේ. එහි නැවතීම නම් කුසල් හෝ අකුසල් සිදු නොවන අවස්ථාව නම් වූ නිවනයි. එනම් අරිහත් ඵලයෙන් නිර්වාණාවබෝධය කිරීමේදී කුසල් හෝ අකුසල් සිදු නොවන නිසා නැවත නාම රූප පහලවීමක් සිදු නොවේ. එනම් ලෝකයක් නැත. එවිට දුක නැත.

ඒ නිවනට පත්වීමට ඇත්තේ එකම එක මගකි. එනම් සතිපට්ඨානය වැඩිම නම්වූ සීල, සමාධි, ප්‍රඥා වැඩීමයි.මේ ලෝකය, ලෝක සමුදය, ලෝක නිරෝධය, ලෝක නිරෝධ ගාමිණී පටිපදාව බුදු දහමේ ප්‍රධානතම අන්තර්ගතයයි. අමතරව ගුණධර්ම හා ධාර්මික දිවිපෙවතකට අවශ්‍ය කරුණු දැක්වුවද, ඒවාද සීල, සමාධි, ප්‍රඥා යටතට යන්නාවූ කරුණුමය.

දැන් අපි බුදු දහමේ පරමාර්ථය කුමක්ද යන්න විමසා බලමු. බුදු දහමේ පරමාර්ථය නම් ලෝකය නැතිකිරීමයි. එනම් චිත්ත චෛතසික රූපයන් නැවත නැවත පහළවීම නැවත දැමීමයි.සරලව කිවහොත් නිවීමයි.

චිත්ත චෛතසික රූප පිලිබඳ අවබෝධයක් නොමැති අශ්‍රැතවත් පෘතජ්ජනයා හෙවත් අඥානයා ඒවා නිත්‍ය සුව ආත්ම ලෙස ගනී. ඒවා තුලින් ආශ්වාද විදියි. සිත යනු තමන් යයි දෘෂ්ටිගතිකව ඒ සිත ගනු ලබන අරමුණු තුලින් වින්දනයක් ලබමින් ඒ වින්දනය, ඒ ආශ්වාදය ලෝභයෙන් ගෙන එහිම ඇලී සිටින පුද්ගලයා ඒ ආශ්වාදය ගෙනදෙන නාමරූප ධර්මයන් නැතිවී යාම සැනසීමක් ලෙස කිසිම දිනක කිසිම විටක ඒකාන්ත වශයෙන්ම නොදකී. එය ඒ අශ්‍රැතවන්තයාගේ වරදක් මිස ධර්මයෙහි වරදක් නොවේ. අපගේ ශාස්තෘන් වහන්සේගේ වරදක්ද නොවේ.ශ්‍රාවක මහා සඟරුවනගේ වරදක්ද නොවේ.

නාම රූප පවතිනතාක් දුක පවතී.එය නැතිවීම සැනසීමක් නොවන්නේ කෙසේද? මෙය සිතන්න. ඔබට රූප වලින් සැදුනු ශරීරයක් ඇත.ඒ ශරීරයේ තැනුම් ඒකකය වූ රූප කලාපයන්ගේ වෙනස් වීම මත ඔබ රෝගී වේ. රෝගී වුයේ කුමක්ද? කයයි. එනම් ඔබගේ ශරීරයයි. ඔබට ශරීරයක් තිබූ නිසා නොවේද ඔබ රෝගී වුයේ? ශරීරයක් නොතිබුනා නම් රෝගී වන්නේ කුමක්ද? එසේ නම් කය යනු දුක් ගෙනදෙන්නක් බැවින් කය යනු දුකකි. කය යනු රූප කලාප එකතුවක් බැවින් රූප යනු දුකකි. රූප යනු දුකයි. දුක යනු රූපයයි. එය එසේමය. එසේ නම් දුක පවතිනුයේ රූප පවතින බැවිනි. ඉදින් රූප නැතිවීම සැපක් නොවන්නේ කෙසේද?

චිත්ත චෛතසික ගනිමු. සිත අරමුණු පසුපස දුවයි. අරමුණු කොතැනද සිත එතැනය. එයද විටෙක සන්සුන්ය. විටෙක කලබලය. විටෙක ශාන්තය. විටෙක ඕලාරිකය.මේ ලෙසට වරින් වර වෙනස් වීම පීඩාවක් නොවේද? විටෙක පැණිරසක් ඉල්වයි. විටෙක සැර දෙයක් ඉල්වයි. විටෙක සුවදක් ඉල්වයි. විටෙක ශබ්දයක් ඉල්වයි. මෙලෙස ආශ්වාද විඳීම පිණිස ඒ ඒ අරමුණු ගවේෂණය කිරීම ඒ අරමුණු නොලැබෙන විට තැවුලට පත්වීම පිඩාවක් බව යථාර්ථය දකින්නකුට වැටහෙන්නේමය. අඥානයා ඉල්වන ඉල්වන ඒ ඒ සෑම අරමුණක්ම ලබාදීමට වෙහෙස වනු ඇත.ඒ අඥානකමේ ස්වභාවයයි. ඥානවන්තයා අරමුණු ලබා දීමට පීඩාකාරී වූ සිත දමනයට උත්සහ කරයි. මෙලෙසට පීඩාකාරී වූ චිත්ත චෛතසික නැතිවීම සැපක් මිස දුකක් ලෙස කවර නම් නුවනැත්තෙකු දකීද?

ඒ නාම රූප නැතිවීම නම් වූ සැනසීම ලබා ගැනීම බුදු දහමේ පරමාර්ථයයි. ඉදින් යම් පරමාර්ථයක් ඇත්තේ නම් එය ලබාගැනීමට මාර්ගයක්ද තිබිය යුතුමය. එබැවින් නිවන නම් වූ පරමාර්ථමය පරමාර්ථය සාක්ෂාත් කරගැනීමටද ඒකායන මාර්ගයක් තිබිය යුතුය.

ඒ නිවනට පැමිණීමට තොටුපළ රාශියකි. සෑම තොටුපලකින්ම එකම දොරටුවකට පැමිණේ. දොරටුව නම් සතර සතිපට්ඨානයයි. සතර සතිපට්ඨානය යනු සීල සමාධි ප්‍රඥා වැඩීමයි.

සීලය යනු චිත්ත චෛතසික ධර්මයන් වරදින් මිදවිමයි. සමාධිය යනු චිත්තය එක්තැන් කරවීමයි. ප්‍රඥා යනු යථාර්ථය දැකීමයි.එය දුටු විට විමුක්තිය හා විමුක්ති ඥාන දර්ශනය පහලවේ.ඒ මෙසේයි. චිත්ත චෛතසික ධර්ම ගත්කල ස්වභාවයෙන්ම ඉදිරියෙන් සිටිනුයේ අකුසල චෛතසිකයි. ඒවා කලහකාරීය. තැන්පත්කමක් නැත. සීලයෙන් සිදුකරනුයේ ඒ කලහකාරී චෛතසික වටකොට ආවරණයක් තැනීමයි.එවිට ඒ චෛතසික ඒ ආවරණය තුලම කළහ කලේද ඉන් එලියට නොයෙයි.ඒ හරහා කය වචනය දෙක සංවර වේ.එසේ කය වචනය දෙක සංවර වූ විට සිත එක්තැන් කල හැක. එලෙස සිත එක්තැන් වූ විට ඒ තැන්පත් භාවයට සමාධිය යැයි කියු ලැබේ. ඒ සමාධිමත් සිතට ඇත්ත ඇති සැටියෙන් වැටහෙයි. “සමාහිතත්තා යථාභූතං පජානාති ” යනුවෙන් දේශනා කලේ එයයි. එනම් සමාහිත වූ සිත අකුසලය පසුකර කුසල පක්‍ෂයෙහි යෙදෙන බැවින් කුසලය හා  අකුසලය මැනවින් හඳුනා ගනී. කුසලයෙහි හා අකුසලයෙහි ස්වභාවය නිවැරදිව දන්නා බැවිනි.ඒ කුසල සිතට චිත්ත චෛතසික රූපයන්ගේ අනිත්‍ය බව, දුක්ඛ බව, අනත්ත බව මනාව වැටහේ. එය යථාර්තය දැකීමයි. ඒ යථාර්ථය දැකීම ප්‍රඥාවයි. ඒ යථාර්ථය දකින කල ලෝකය (චිත්ත චෛතසික රූප ) කෙරෙහි කලකිරීම ඇතිවේ.කලකිරීම නිසා නොඇලේ. නොඇලෙන කල සිත විමුක්තිය නම් වූ නිවනට පත්වේ. ඒ විමුක්තිය නම් නැවත නූපදිමයි.එනම් දුක නැතිකිරීමයි.

මේ බුදු දහමේ යථාර්ථය පිලිබඳව කෙටි දැක්වීමකි.මෙයට ළඟාවීම අතිශයින්ම දුෂ්කර කර්තව්‍යයකි.කෙසේ නමුදු යථාර්ථය නම් මෙයමය.